දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් කුමක් කළ යුතුද?

දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් කුමක් කළ යුතුද?

මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවීම විවිධ හේතූන් මත සිදුවිය හැක. එවැනි හේතූන් අතර මුත්‍රල පද්ධතියේ ආසාදන (Urinary tract infections or UTIs), ජනනේන්ද්‍රිය ආශ්‍රිත උද්දීපනය වීමක් (Irritation) , තුවාළයක්, හෝ අනතුරක්, හෝ මුත්‍රා ගල් ආදිය පැවතිය හැක. කෙසේ වුවත්, මුත්‍රා කරන විට වේදනාවක් හටගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ මුත්‍රල පද්ධතියේ හටගන්නා ආසාදනයන්ය. සැබැවින්ම, ඔබේ දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් ඔබ කුමක් කළ යුතුද?

රෝග ලක්ෂණ

  • මුත්‍රා පිටකරන විට දැවිල්ලක් හෝ වේදනාවක් ඇතිවීම.
  • වෙනදාට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීම.
  • දැඩි ගන්ධයක් සමග, රුධිරය මුසුවූ, හෝ තද පැහැති මුත්‍රා පිටවීම.
  • උණ හෝ වෙව්ලීම හටගැනීම.
  • ආහාර රුචිය අඩුවීම හෝ දරුවාගේ ක්‍රියාකාරීත්වය අඩුවීම.
  • නොරුස්සනා සුළු ස්වභාවයකින් පසුවීම.
  • ඔක්කාරය හෝ වමනය.
  • කොන්දේ පහළ ප්‍රදේශයේ වේදනාවක් ඇතිවීම.
  • උදරයේ වේදනාවක් හටගැනීම.
  • හොඳින් වැසිකිලි සහ කැසිකිලි භාවිතයට හුරුවූ දරුවෙක් ඇඳ තෙමීම හෝ ඇඳුම් වල මුත්‍රා පහකර ගැනීම.
  • වචන ප්‍රකාශ කිරීමට නොහැකි තරමේ කුඩා දරුවන් මුත්‍රා පිටකරන විට හැඬීම හෝ කෙඳිරිගෑම.

ඔබ කළ යුත්තේ කුමක්ද?

ඔබේ දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවේ නම් හෝ මුත්‍රා පිටකිරීමට නොහැකි නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කළ යුතුය. මක්නිසාද, දරුවෙකුට මුත්‍රා ආසාදනයක් හටගන්නා සෑම අවස්ථාවක්ම නිසි ලෙස පරීක්ෂා කර, නිසි ලෙස පරීක්ෂණ පවත්වා, නිසි ලෙස ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. සැමවිටම, ඔබේ වෛද්‍යවරයා ලබාදෙන උපදෙස් සහ ප්‍රතිකාර නිවැරදිව අනුගමනය කරන්න. ඔබේ දරුවා වැඩිපුර ජලය සහ වෙනත් දියර වර්ග පානය කිරීම සඳහා උනන්දු කරවන්න. දරුවාගේ අපහසුතාවය සහ වේදනාව සමනය කිරීම සඳහා පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් නියමිත මාත්‍රාවෙන් ලබාදිය හැක.

වළක්වා ගැනීම සඳහා කුමක් කළ යුතුද?

දරුවාගේ ජනනේන්ද්‍රිය ආශ්‍රිත ප්‍රදේශය සේදීම සඳහා රෙදි සෝදන සබන් හෝ වැඩිපුර සුවඳ ගල්වන ලද සබන් වර්ග භාවිතා කිරීමෙන් වළකින්න. ඒ සඳහා බේබි සබන් වැනි මෘදු සබන් වර්ගයක් සහ මද උණුසුම් ජලය භාවිතා කරන්න. හැකිතරම්, දරුවාට ඩයපර් (Diapers) අන්දවන අවස්ථා අවම කරන්න. ඔබේ දරුවාට ඩයපර් අන්දවනවා නම්, එය වැඩි වේලාවක් අන්දවා තබන්න එපා. දරුවා මුත්‍රා හෝ මළපහ පිටකලහොත් වහාම ඩයපරය ඉවත් කර, ජනනේන්ද්‍රිය ආශ්‍රිත ප්‍රදේශය සහ අධෝමාර්ගය ආශ්‍රිත ප්‍රදේශය හොඳින් සෝදා පිසදමන්න. ඇතැම් දරුවන් මුත්‍රා පහකිරීමට අවශ්‍යතාවයක් ඇතිවන අවස්ථා වලදී ද, මුත්‍රා කිරීම ප්‍රමාද කරමින් ඔවුන්ගේ කාර්යයන්හි නියැලෙනු දැකිය හැක. ඔබේ දරුවාත් එවන් දරුවෙක් නම්, වරින් වර දරුවාට මුත්‍රා කළ යුතු බව මතක් කරන්න. ගැහැණු දරුවෙකුගේ අධෝමාර්ගය සෝදන විට සැමවිටම ඉදිරිපස සිට පසුපසට සේදීමට කටයුතු කළ යුතුවේ. ඔබේ ගැහැණු දරුවා තනිවම වැසිකිලිය භාවිතා කරන්නේ නම්, එසේ සේදීමට හුරුකරන්න සහ උපදෙස් ලබාදෙන්න.

(ඡායාරූප අනුග්‍රහය: alex yosifov)

සබැඳි ලිපි:

ඔබේ දරුවාත් නින්දෙන් ඇඳ තෙමනවාද?
නැපි කුෂ්ඨ (Nappy Rash) ඔබේ දරුවාටත් කරදරයක්ද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් කුමක් කළ යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*