නැපි කුෂ්ඨ (Nappy Rash) ඔබේ දරුවාටත් කරදරයක්ද?

නැපි කුෂ්ඨ (Nappy Rash) ඔබේ දරුවාටත් කරදරයක්ද

නැපි කුෂ්ඨ (Nappy rash) ඔබේ දරුවාටත් ගැටළුවක් වන්නට ඇති. නැපි කුෂ්ඨ කියන්නේ මොනවාද? එය සමේ ඇතිවන ස්පර්ශ ප්‍රදාහයක් (Contact dermatitis) වන අතර, කුඩා දරුවන්ට බහුලව සෑදේ. එය දිගුකාලීනව මළ ද්‍රව්‍ය හා මුත්‍රා සමේ ගැටී පැවතීම, සම වැඩිපුර තෙත්ව පැවතීම, ඇඳුම් සමග සමේ ඇතිවන ඝර්ෂණය, තෙත්වීම නිසා සම මෘදු වීම, සහ සමෙහි සබන්, ක්‍රීම්, හා ආලේපන ඉතිරිවීම ආදිය නිසා සමෙහි ඇතිවන ප්‍රතික්‍රියාවකි.

නැපි කුෂ්ඨ වල රෝග ලක්ෂණ මොනවාද?

නැපි කුෂ්ඨ කුඩා දරුවාගේ ඉණ, තට්ටම්, ඉකිලි, සහ ලිංගේන්ද්‍රිය අවට සෑදේ. එම ප්‍රදේශ වල සමෙහි පහත රෝග ලක්ෂණ පවතී නම්, ඔබේ දරුවාත් නැපි කුෂ්ඨ වලට ගොදුරු වී ඇත.

  • සම රතු වීම.
  • සමේ පොතු ගැලවී යාම.
  • රතු පැහැ බිබිළි හටගැනීම.
  • සම ඉරිතැලී යාම.
  • සම ගෙවී ගිය ස්වභාවයක් ගැනීම.
  • සමේ තැනින් තැන හෝ ඒකාකාරව ඉදිමීම.
  • සාමාන්‍යයෙන්, ඉකිලිය ප්‍රදේශයේ සමේ රැලි තුළ නැපි කුෂ්ඨය දක්නට නොලැබේ.
  • දිගුකාලීනව මතුපිට පැතලි වූ ගැටිති සමෙහි ඇතිවිය හැක.
  • පසුව යීස්ට් දිළීරය (Candida) මගින්, නැපි කුෂ්ඨය ආසාදනය විය හැක. මෙය බහුලව ඇතිවන තත්ත්වයක් වේ. කුෂ්ඨය වේදනාකාරී වන අතර, සම රතු හෝ රෝස පැහැති වේ. මෙහිදී, නැපි කුෂ්ඨයේ දාරය දිගේ මිලිමීටර් 1-2 ප්‍රමාණයේ බිබිලි සහ සැරව බිබිලි ඇතිවේ.
  • තීව්‍ර ප්‍රදාහයක් ඇතිවුවහොත්, දරුවාට අපහසුතාවයක්, නොරුස්සනා බවක් ඇතිවේ.

 

නැපි කුෂ්ඨය සඳහා කලහැකි ප්‍රතිකර්ම මොනවාද?

  • දරුවාගේ ඩයපරය හෝ නැපිය නිතර මාරු කිරීමෙන්, දිගටම සම තෙත්වී පැවතීම වලක්වා ගැනීමට හෝ අවම කරගැනීමට හැකිය. මෙහිදී, දරුවාගේ මළ ද්‍රව්‍ය සහ මුත්‍රා සමේ ගැටී පවතින කාලය ද අඩු වේ.
  • නැපි කුෂ්ඨය පවතින ප්‍රදේශය වැඩිපුර සේදීමෙන් ද වැලකිය යුතුවේ. එමගින්, සම ඉරිතැලීම සහ තත්ත්වය නරක අතට හැරීම වලක්වා ගතහැක.
  • සම වාතයට නිරාවරණය වනසේ තැබීම, තත්ත්වය සමනය වීමට ඉවහල් වේ.
  • ජලයට ඔරොත්තු දෙන (Water-proof), හිර යට කලිසම් දරුවාට ඇන්දවීමෙන් වලකින්න.
  • භාවිතයෙන් පසු ඉවත් කරන, හොදින් තෙතමනය උරාගන්නා නැපි හෝ කපු රෙදි වලින් මැසූ නැපි භාවිතා කරන්න.
  • සමට මෘදු, ආරක්ෂාකාරී පටලයක් (Protective barrier) සේ ක්‍රියාකරන, සින්ක් ඔක්සයිඩ් (Zinc Oxide) හෝ පෙට්‍රෝලේටම්/පෙට්‍රෝලියම් (Petrolatum/Petroleum jelly) ආලේපයක් සමේ ගල්වන්න.
  • සමේ යීස්ට් (Candida) දිළීර ආසාදනය ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා ක්ලොට්‍රිමසෝල් (Clotrimazole) වැනි දිළීර නාශක ඖෂධ ආලේපනයක් නිර්දේශ කරනු ඇත.
  • ඇතැම් විට, මධ්‍යම ප්‍රමාණයේ සිට උග්‍ර නැපි කුෂ්ඨයක් සඳහා ඔබේ වෛද්‍යවරයා 1% හයිඩ්‍රොකෝටිසෝන් (Hydrocortisone) වැනි මද ප්‍රබලතාවයකින් යුතු කෝටිකෝස්ටෙරොයිඩ් (Corticosteroid) ඖෂධ අඩංගු ආලේපනයක් නිර්දේශ කරනු ඇත. සාමාන්‍යයෙන්, මෙම ආලේපනය වයස අවුරුදු 1 කට වඩා අඩු දරුවන් සඳහා නිර්දේශ නොකෙරේ. ආරක්ෂාකාරී පටලයක් සේ ක්‍රියාකරන ආලේපන ගැල්විය යුත්තේ, හයිඩ්‍රොකෝටිසෝන් ආලේපනය ගැල්වීමෙන් අනතුරුවය. එමගින් තවදුරටත් සමට හානිවීම වැලකේ. සම ආසාදනය වී, ගෙවුණු ස්වභාවයක් සමග දැඩි ප්‍රදාහයක් පවතී නම්, ඔබේ වෛද්‍යවරයා දිළීර නාශක ඖෂධ සහ ප්‍රතිජීවක (Antibiotic) ආලේපනයන් සමග හයිඩ්‍රොකෝටිසෝන් ආලේපනයක් එකතු කර භාවිතා කරන මෙන් උපදෙස් දෙනු ඇත. හයිඩ්‍රොකෝටිසෝන් ආලේපන දින 7 කට වඩා භාවිතා නොකල යුතුය. නැතහොත්, සමේ ප්‍රදාහය සුව වූ වහාම නැවැත්වීම උචිත වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Julian Tysoe)

 

© 2016, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "නැපි කුෂ්ඨ (Nappy Rash) ඔබේ දරුවාටත් කරදරයක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*