කොරෝනා (Corona) ආසාදනය පිළිබඳ ඔබේ ගැටළු වලට පිළිතුරු

කොරෝනා (Corona)

කොරෝනා (Corona) වෛරසය යනු කුමක්ද?

කොරෝනා වෛරස යනු, සතුන්ට හා මිනිසුන්ට ආසාදන ඇතිකල හැකි වෛරස සමූහයක්. කොරෝනා වෛරස වලට මිනිසා තුළ සෙම්ප්‍රතිශ්‍යාව වැනි සරළ ආසාදනයක සිට උග්‍ර ආසාදනයක් දක්වා පරාසයක ආසාදන ඇතිකල හැකියි. මින් පෙර ලෝකයේ රටවල් ගණනාවක පැතිරුණු මැද පෙරදිග ශ්වසන සහලක්ෂණය (Middle East Respiratory Syndrome/MERS) සහ අධි තීව්‍ර ශ්වසන සහලක්ෂණය (Severe Acute Respiratory Syndrome/SARS) මෙන්ම, දැනට ලෝකයේ රටවල් බොහොමයක පැතිරෙමින් ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති COVID-19 නැමැති කොරෝනා ආසාදනය ද, මෙම වෛරස නිසා නිසා ඇතිවන උග්‍ර ආසාදන ලෙස දැක්විය හැක.

COVID-19 කොරෝනා ආසාදනය නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

COVID-19 කොරෝනා ආසාදනය නිසා වඩාත් බහුලව ඇතිවන රෝග ලක්ෂණ ලෙස උණ, තෙහෙට්ටුව/මහන්සිය සහ වියළි කැස්ස දැක්විය හැක. ඇතැම් රෝගීන් තුළ ඇඟපත වේදනාව, නාසය අවහිර වීම, සොටු දියර ගැලීම, උගුරේ වේදනාව හෝ දියර ලෙස මළපහ පිටවීම ඇතිවිය හැක. මෙම රෝග ලක්ෂණ සියල්ල එකවර හටගන්නේ නැත. ඒවා ක්‍රම ක්‍රමයෙන් හටගනී. COVID-19 කොරෝනා ආසාදනය වූ ඇතැම් රෝගීන් තුළ කිසිඳු රෝග ලක්ෂණයක් හෝ අපහසුතාවයක් ඇති නොවන අවස්ථා ද දැකිය හැක. COVID-19 කොරෝනා ආසාදනය වන පුද්ගලයන්ගෙන් 80% කට පමණ විශේෂ ප්‍රතිකාරයක් නොමැතිව වුවද සුව වීම සිදුවේ. නමුත්, COVID-19 කොරෝනා ආසාදිතයන්ගෙන් සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙක් අසාධ්‍ය තත්ත්වයට පත්ව, හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවිය හැක. මහළු පුද්ගලයන්ට සහ අධි රුධිර පීඩනය, හදවත් රෝග, දියවැඩියාව, පිළිකා, පෙනහළු රෝග වැනි දිගු කාලීන රෝග ඇති පුද්ගලයන්ට COVID-19 කොරෝනා ආසාදනය වීමෙන් අසාධ්‍ය වීමට වැඩි අවදානමක් පවතී. සාමාන්‍යයෙන්, ළමුන්ට සහ තරුණ අයට වැළඳෙන ආසාදනය එතරම් උග්‍ර නොවේ. කෙසේ වුවත්, ඔබට උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම කල යුතුවේ.

COVID-19 කොරෝනා වෛරසය පැතිරෙන්නේ කොහොමද?

COVID-19 කොරෝනා ආසාදනය ඇති පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ආසාදනය සම්ප්‍රේෂණය වීම සිදුවේ. ආසාදනය ඇති පුද්ගලයෙක් හුස්ම පිටකිරීමේදී, කිවිසීම සිදුකරන විට හෝ කහින විට මුඛයෙන් හා නාසයෙන් පිටවන ඇසට පෙනෙන, නොපෙනෙන සොටු, සෙම හෝ කෙළ බිඳිති වල වෛරස අඩංගු වේ. මෙම සියුම් බිඳිති රෝගියාගේ සිට වාතය ඔස්සේ ආසන්න වශයෙන් මීටර් 2 ක් (අඩි 6.5 ක්) දක්වා දුරකට පැතිරේ. රෝගියාගේ සිට මෙම දුර පරාසය තුළ තිබෙන උපකරණ, ද්‍රව්‍ය සහ මතුපිටවල් වල මෙම බිඳිති තැන්පත් වේ. COVID-19 කොරෝනා වෛරස අඩංගු බිඳිති තැවරුණු ද්‍රව්‍ය හෝ මතුපිටක් ස්පර්ශ කර එම අත් වලින් නාසය, මුඛය හෝ ඇස් ස්පර්ශ කලහොත් කොරෝනා වෛරසය නිරෝගී පුද්ගලයෙක්ට සම්ප්‍රේෂණය වීම සිදුවේ. මෙම දුර ප්‍රමාණය තුළ සිටින වෙනත් අයෙක් මෙම බිඳිති සහිත වාතය ආශ්වාස කල විට ද ආසාදනය වීම සිදුවිය හැක. එමනිසා, ආසාදිත පුදගලයෙකුගේ සිට අවම වශයෙන් මීටර් 3 ක් (අඩි 10 ක්) වත් ඈතින් සිටීම ඉතාම වැදගත් වේ.

කොරෝනා ආසාදනයෙන් ආරක්ෂා වන්නේ කොහොමද? රෝගය පැතිරීම වළක්වන්නේ කෙසේද?

  • නිතර හොඳින් අත් සේදීම ඉතාම වැදගත් ය. ඒ සඳහා සබන් හා ජලය යොදාගත හැක. නැතහොත්, ඇල්කොහොල් අඩංගු පිස දමන දියරයක් (Alcohol-based hand rub) යොදාගත හැක. අත් සේදීමේදී, අවම වශයෙන් තත්පර 20-30 ක් වත් සේදීම කල යුතුවේ. මේ ආකාරයට අත් සේදීමේදී කොරෝනා වෛරස විනාශ වේ.
  • පුද්ගලයෙක් කහින විට හෝ කිවිසුම් යවන විට, එම පුද්ගලයාගේ සිට අවම වශයෙන් මීටර් 2 ක් (අඩි 6.5 ක්) වත් ඈතින් සිටීම කල යුතුය. ඔබ එම පුද්ගලයාට වඩාත් ආසන්නයෙන් සිටියහොත්, ඔහුගෙන්/ඇයගෙන් පිටවන බිඳිති ආශ්වාස වීම සිදුවේ.
  • ඔබේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න.
  • අතට අත දී ආචාර කිරීමෙන්, සිප ගැනීමෙන් සහ වැළඳ ගැනීමෙන් වළකින්න. ශ්‍රී ලාංකීය ක්‍රමයට දෑත් එක් කර ආයුබෝවන් කීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත ය.
  • ඔබ හා ඔබ අවට සිටින අය යහපත් ශ්වසන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ දැයි විමසිලිමත් වන්න, ඒවා අනුගමනය කරන්න. කහින විට හෝ කිවිසුම් යවන විට නාසය හා මුඛය ඔබේ වැළමිට නවා එමගින් හෝ පිරිසිදු ටිෂූ කඩදාසියකින් හොඳින් ආවරණය කර ගන්න. එක් වරක් භාවිතා කල ටිෂූ කඩදාසියක් නැවත භාවිතා කිරීම හෝ ලේන්සුවක් භාවිතා කිරීම එතරම් සුදුසු නොවේ. එක් වරක් භාවිතා කල පසු ටිෂූ කඩදාසිය වහාම නිසි ආකාරයට බැහැර කරන්න.
  • ඔබට අපහසුතාවයක් හෝ අසනීප බවක් දැනෙන්නේ නම් නිවසට වී විවේකයෙන් සිටින්න. ඔබට උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.
  • හැකි සෑම විටෙකදීම, සෙනග ගැවසෙන ස්ථාන, උත්සව, වැඩසටහන් ආදියෙන් ඈත්ව සිටින්න.
  • හැකිනම්, ගමන් බිමන් යෑමෙන් වැළකී සිටින්න. ඔබ වයස්ගත අයෙක් නම් හෝ ඔබට අධි රුධිර පීඩනය, දියවැඩියාව, හදවත් රෝග, පිළිකා හෝ දිගුකාලීන පෙනහළු රෝගයක් ඇති අයෙක් නම්, මෙලෙස ප්‍රවේසම් වීම ඉතාම වැදගත් වේ.

ඔබ මෑතකදී (පසුගිය දින 14 තුළ) COVID-19 කොරෝනා ආසාදනය පැතිරෙන රටක හෝ ප්‍රදේශයක සිට පැමිණි අයෙක් නම් කුමක් කල යුතුද?

  • කොරෝනා ආසාදනයෙන් වැළකීම හා පැතිරීම වැළැක්වීම සඳහා ඉහත සඳහන් කල සියළු ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
  • ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ක්‍රියාවලියට අනිවාර්යයෙන් සහභාගි වන්න, එයට සහය දක්වන්න. එසේ නොකිරීමෙන් ඔබ, ඔබත් අන් අයත් අනතුරට ලක් කරන්නේ ය.
  • නිරෝධායන ක්‍රියාවලිය අවසන් වන තුරු ඔබේ මුඛය හා නාසය හොඳින් ආවරණය වන පරිදි මුහුණු ආවරණයක් (Face mask) පළඳින්න.
  • ඔබේ සිරුරට අපහසුතාවයක් දැනෙන්නේ නම්, උණ, කැස්ස, හිසරදය, හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතී නම්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

ඔබට කොරෝනා ආසාදනය වැළඳීමට කොතරම් අවදානමක් තිබෙනවාද?

බොහොමයක් පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වැළඳීම සඳහා පවතින්නේ අඩු අවදානමකි. නමුත්, ඇතැම් රටවල සහ ඇතැම් ප්‍රදේශ වල රෝගය වැළඳීමට වැඩි අවදානමක් පැවතිය හැක. ඔබ කොරෝනා රෝගය පැතිරෙන රටක හෝ ප්‍රදේශයක මෑතකදී සංචාරය කලේ නම්, ඔබ නොදැනුවත්ව රෝගය ඇති පුද්ගලයෙක් අසල ගැවසුනේ නම්, ඔබට කොරෝනා ආසාදනය වැළඳීමට වැඩි අවදානමක් පවතී.

කොරෝනා ආසාදනයෙන් අසාධ්‍ය විය හැක්කේ කවුරුන්ද?

  • ඔබ වයස්ගත පුද්ගලයෙක් නම්,
  • ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය, හදවත් රෝග, පිළිකා හෝ පෙනහළු රෝග වැනි දිගු කාලීන රෝගයක් පවතින අයෙක් නම්,

ඔබට කොරෝනා රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වීමට වැඩි අවදානමක් පවතී.

ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) කොරෝනා ආසාදනය සඳහා ප්‍රතිකාරයක්ද?

කොරෝනා ආසාදනය වැළඳෙන්නේ වෛරසයක් මගින් ය. ප්‍රතිජීවක ඖෂධ ක්‍රියා කරන්නේ බැක්ටීරියා වලට එරෙහිව පමණක් බැවින්, ප්‍රතිජීවක ඖෂධ කොරෝනා ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල නොහැක.

කොරෝනා ආසාදනය වැළැක්වීමට හෝ සුව කිරීමට ඖෂධ හෝ ප්‍රතිකර්ම තිබෙනවාද?

දැනට, කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා හෝ සුව කිරීම සඳහා භාවිතා කල හැකි ඖෂධයක් හෝ එන්නතක් ඇති බවට කිසිඳු පර්යේෂණාත්මක සාධකයක් නැත. නමුත්, ඇතැම් බටහිර හා දේශීය ප්‍රතිකර්ම, නිවසේදී සිදුකරන ඇතැම් ප්‍රතිකර්ම මගින් රෝගියාට පහසුවක් ඇති කිරීම සහ රෝග ලක්ෂණ සමනය කිරීම සිදුවිය හැක. දැනට සිදුකරන ප්‍රතිකාර මගින් සිදුවන්නේ තම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයෙන් රෝගියා සුව වනතෙක් ඒ සඳහා රෝගියාට සහය වීමයි. කෙසේ වුවත්, කොරෝනා ආසාදනය සඳහා තමා විසින් ඖෂධ හෝ ප්‍රතිකර්ම සිදුකර ගැනීම කිසි විටෙකවත් අනුමත කල නොහැක.

ඔබ මුහුණු ආවරණයක් (Face mask) පැළඳිය යුතුද?

ඔබ මුහුණු ආවරණයක් පැළඳිය යුත්තේ, ඔබට කොරෝනා ආසාදනයක රෝග ලක්ෂණ (විශේෂයෙන් කැස්ස) පවතී නම් හෝ ඔබ කොරෝනා ආසාදිතයෙක් රැක බලා ගන්නේ නම් පමණි. එසේ නැත්නම්, ඔබ මුහුණු ආවරණයක් භාවිතා කිරීමෙන් සිදුකරන්නේ තවත් මුහුණු ආවරණයක් නාස්ති කිරීම පමණි. ලොව පුරා මෙන්ම, ශ්‍රී ලංකාව තුළ ද මුහුණු ආවරණ හිඟයක් පවතින බැවින් මුහුණු ආවරණ භාවිතය බුද්ධිමත්ව කල යුතුය.

එමෙන්ම, භාවිතයෙන් පසු ඉවත ලන මුහුණු ආවරණ (Disposable face mask) නැවත නැවත භාවිතා කිරීම කිසිසේත්ම නොකල යුතු අතර, එක් වරක් භාවිතා කිරීමෙන් පසුව නිසි පරිදි ඉවත දැමිය යුතු ය. මුහුණු ආවරණයකින් නිසි ආරක්ෂාවක් ලැබීම සඳහා නිතර, නිසි පරිදි අත් සේදීම ඉතාම වැදගත් බව මතක තබා ගත යුතුවේ.

කොරෝනා ආසාදනයෙන් ආරක්ෂා වීම සඳහා වඩාත්ම වැදගත් වන්නේ, නිතර හොඳින් අත් සේදීම, කහින විට හෝ කිවිසුම් යවන විට ටිෂූ කඩදාසියකින් හෝ නවන ලද වැළමිටෙන් මුඛය හා නාසය ආවරණය කර ගැනීම, තම ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීම සහ කහින හෝ කිවිසුම් යවන පුද්ගලයෙකුගෙන් අවම වශයෙන් මීටර් 2 ක් (අඩි 6.5 ක්) වත් ඈත්ව සිටීම ය.

කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් පසුව රෝග ලක්ෂණ ඇති වීමට කොපමණ කාලයක් ගත වෙනවාද?

COVID-19 කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් පසුව රෝග ලක්ෂණ පහල වීමට දින 1-14 ක කාලයක් ගතවිය හැක. සාමාන්‍යයෙන් එම කාලය ආසන්න වශයෙන් දින 5 කි.

සතෙකුගෙන් ඔබට COVID-19 කොරෝනා ආසාදනය බෝවිය හැකිද?

කොරෝනා වෛරස පවුලේ ඇතැම් වෛරස සතුන් තුළද බහුලව හමුවේ. COVID-19 වෛරසය සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වූ අවස්ථා පිළිබඳ විද්‍යාත්මක සාධක දැනට නැතත්, මින් පෙර කොරෝනා වෛරස නිසා ලෝකයේ ඇතිවූ මැද පෙරදිග ශ්වසන සහලක්ෂණය (Middle East Respiratory Syndrome/MERS) ඔටුවන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වූ අවස්ථා ද, අධි තීව්‍ර ශ්වසන සහලක්ෂණය (Severe Acute Respiratory Syndrome/SARS) ඇතිකල වෛරසය උගුඩුවන් වැනි සතුන් තුළ හමුවූ අවස්ථා ද විය.

එමනිසා, සත්ත්ව ගොවිපළ නැරඹීමට යන අවස්ථා සහ සතුන් සමග ගැවසීම අවම කිරීම වැදගත් වේ. නොපිසින ලද මස් හා නැවුම් කිරි (Fresh milk) පරිහරණය කිරීමේදී, ප්‍රවේශමෙන් යහපත් ආහාරමය සෞඛ්‍ය පුරුදු අනුගමනය කල යුතුය. නොපිසින ලද හෝ අර්ධ වශයෙන් පිසින ලද සත්ත්වමය ආහාර අනුභව කිරීමෙන් වැළකිය යුතුය.

ඔබේ සුරතල් සත්ත්වයා COVID-19 කොරෝනා ආසාදනයට ලක්විය හැකිද?

සුරතල් බල්ලෙකු COVID-19 කොරෝනා වෛරසයෙන් ආසාදනය වූ අවස්ථාවක් හොංකොං වලින් වාර්තා විය.

යම් බාහිර මතුපිටක COVID-19 කොරෝනා වෛරසය කොතරම් කාලයක් ක්‍රියාකාරීව පැවතිය හැකිද?

කොපමණ කාලයක් COVID-19 කොරෝනා වෛරසය මතුපිටක විනාශ නොවී පැවතිය හැකිද යන්නට දැනට නිශ්චිත පර්යේෂණාත්මක සාධක නොමැති නමුත්, එය අනෙක් කොරෝනා වෛරස මෙන් ක්‍රියා කරනු ඇතැයි පර්යේෂකයන් අනුමාන කරයි. එබැවින්, COVID-19 කොරෝනා වෛරසයද, අනෙක් කොරෝනා වෛරස මෙන් පැය කිහිපයක සිට දින කිහිපයක් දක්වා යම් මතුපිටක විනාශ නොවී පැවතිය හැක. මෙම කාල පරාසය මතුපිටෙහි ස්වභාවය, උෂ්ණත්වය සහ පරිසරයේ ආර්ද්‍රතාවය හෙවත් තෙතමනය වැනි සාධක ගණනාවක් මත රඳා පවතී.

ඔබට යම් මතුපිටක් වෛරසය අඩංගු බිඳිති වලින් අපිරිසිදුව පවතිනවා යැයි හැඟුන හොත්, සරළ විෂබීජ නාශක දියරයක් (Disinfectant) හෝ සබන් අඩංගු පිරිසිදු කරන දියරයක් භාවිතා කිරීමෙන් වෛරසය විනාශ කල හැක.

COVID-19 කොරෝනා ආසාධනය පවතින රටක හෝ ප්‍රදේශයක සිට පැමිණෙන පාර්සලයක් හෝ ලිපියක් ආරක්ෂිතද?

ආසාදිත අයෙකුගෙන් ඔබේ පාර්සලය හෝ ලිපිය කිලිටි වීමට ඇති අවස්ථාව අවම වේ. විවිධ පරිසර තත්ත්ව හා උෂ්ණත්වයන්ට නිරාවරණය වෙමින් පැමිණෙන එවැනි ලිපියක් හෝ පාර්සලයක් හරහා කොරෝනා වෛරසය ඔබ වෙත පැමිණීමට ඇත්තේ අවම හැකියාවකි.

ඔබ නොකල යුත්තේ මොනවාද?

දුම්පානය කිරීම, මුහුණු ආවරණ (Face mask) කිහිපයක් පැළඳීම හෝ ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ගැනීම වැනි ක්‍රියාකාරකම් මගින් COVID-19 කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකි බවට ඇතැම් අය සිතුවද, ඒවා ආරක්ෂාව කෙසේ නමුත්, වැඩි හානියක් සිදු කරන බව මතකයේ තබා ගන්න.

කොරෝනා ආසාදනය පිළිබඳ වැරදි මත මොනවාද?

  • උණුසුම හා තෙතමනය වැඩි රටවල හෝ සීතල හා හිම වැටෙන රටවල කොරෝනා වෛරස විනාශ වන බැවින් රෝග පැතිරීම අවම වන බවට මතයක් පවතී. එය සාවද්‍ය මතයක් වන අතර, ඕනෑම රටක හෝ ප්‍රදේශයක කොරෝනා වසංගතය පැතිරිය හැක.
  • උණු ජලයෙන් ස්නානය (Hot water bath) කිරීමෙන් කොරෝනා වෛරස විනාශ වන බවට මතයක් ඇතත්, උණු ජලය ස්නානය කිරීම මගින් කොරෝනා ආසාදනයෙන් වැළකීම සිදුකල නොහැක.
  • කොරෝනා වෛරසය මදුරුවන් මාර්ගයෙන් ද බෝවන බවට අදහසක් ඇත. නමුත්, කොරෝනා ආසාදනය මදුරුවන් මගින් බෝවන්නේ නැත.
  • අත් වියලන උපකරණයක් (Hand dryer) භාවිතා කිරීමෙන් දෑත් වියලා ගැනීම වෛරස විනාශ කිරීමට හොඳ ක්‍රමයක් බව ඇතැමුන් විශ්වාස කරන මුත්, අත් වියලන උපකරණයක් භාවිතා කිරීමෙන් කොරෝනා වෛරසය විනාශ නොවේ.
  • පාරජම්බුල පහන් (Ultraviolet/UV lamps) භාවිතා කිරීමෙන් දෑත් වල තිබෙන කොරෝනා වෛරස විනාශ වන බවට විශ්වාසයක් පවතින මුත්, එසේ කලහැකි බවට සාධක නැත. එමෙන්ම, පාරජම්බුල පහන් යොදාගෙන සමේ පවතින විෂබීජ විනාශ කිරීමට උත්සාහ කිරීම නිර්දේශිත ක්‍රමයක් නොවන අතර, එමගින් සමේ උද්දීපනයක් (Irritation) ද ඇතිවිය හැක.
  • ගුවන් තොටුපලේ භාවිතා කරන විශේෂ ස්කෑන් යන්ත්‍ර (Thermal scanners) මගින් කොරෝනා ආසාදිත රෝගීන් වෙන්කර හඳුනා ගත හැකි බවට ද විශ්වාසයක් පවතින මුත්, එම ස්කෑන් යන්ත්‍ර වලට හඳුනා ගත හැක්කේ උණ සෑදීම නිසා සිරුරේ උෂ්ණත්වය වැඩි වූ පුද්ගලයන් පමණි. කොරෝනා ආසාදිතයෙක් වුවද ස්කෑන් පරීක්ෂාව කරන අවස්ථාවේදී උණ නොතිබුනහොත් හෝ උණ බැස ගොස් තිබිණි නම්, රෝගියෙක් බවට හඳුනා ගැනීමට නොහැක.
  • සිරුර පුරා ඇල්කොහොල් හෝ ක්ලෝරීන් දියර ඉසීමෙන් (Spray) කොරෝනා වෛරස විනාශ කල හැකි බවට ඇතැමුන් විශ්වාස කරයි. නමුත්, එය වැරදි මතයකි. ඇල්කොහොල් හෝ ක්ලෝරීන් මගින් ඔබේ සිරුරට ඇතුළු වූ කොරෝනා වෛරස විනාශ නොවන අතර, ඇල්කොහොල් හෝ ක්ලෝරින් ඔබේ ඇඳුම් වල හෝ සිරුරේ ශ්ලේෂ්මල පටක වල තැවරීම හානිකර වේ.
  • ඇතැම් ඖෂධ හා එන්නත් වලින් කොරෝනා වෛරසයට එරෙහිව ආරක්ෂාවක් ලැබෙන බවට විශ්වාසයක් තිබෙන මුත්, දැනට කොරෝනා ආසාදනය වැළැක්විය හැකි හෝ සුවකල හැකි ඖෂධයක් හෝ එන්නතක් පිළිබඳ පර්යේෂණාත්මක සාධක නොමැත.
  • සේලයින් දියර මගින් නාසය පිරිසිදු කිරීමෙන් කොරෝනා ආසාදනයෙන් වැළකිය හැකි බවට ඇතැමුන් විශ්වාස කරන මුත්, එය සාවද්‍ය විශ්වාසයකි. සේලයින් දියර මගින් නාසය සේදීමෙන් ශ්වසන පද්ධතියේ ආසාදනයකදී රෝග ලක්ෂණ සමනය වීම සිදුවන මුත්, එයට ශ්වසන රෝග වැළැක්වීමට හැකියාවක් නැත.
  • සුදුලූණු ආහාරයට ගැනීමෙන් කොරෝනා ආසාදනය වළක්වා ගැනීමට උපකාරයක් ලැබෙන බව ඇතැමුන් විශ්වාස කරයි. සුදුලූණු වල විෂබීජ නාශක ගුණයක් පවතින මුත්, නව COVID-19 කොරෝනා ආසාදනයට එරෙහිව සුදුලූණු වල ක්‍රියාකාරීත්වයක් ඇති බවට පර්යේෂණාත්මක සාධක දැනට නැත.

(ඡායාරූප අනුග්‍රහය: Wikipedia)

සබැඳි ලිපි:

© 2020 – 2021, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කොරෝනා (Corona) ආසාදනය පිළිබඳ ඔබේ ගැටළු වලට පිළිතුරු" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*