කොරෝනා එන්නත් පිළිබඳව අනියත බියක් ඇතිකරගත යුතු නැහැ

කොරෝනා එන්නත් පිළිබඳව අනියත බියක් ඇතිකරගත යුතු නැහැ

මේ වනවිට SARS-CoV-2 නැමැති වෛරසය මගින් ඇතිකරන Covid-19 නම් වූ කොරෝනා වසංගතය (Coronavirus Pandemic) ලොවම වෙලාගෙන අවසන් ය. දැන් ලෝකයේ සෑම රටකම පොදු සතුරා බවට පත්ව ඇත්තේ කොරෝනා වසංගතයයි. සෞඛ්‍ය සේවා හා සබැඳි සියළු දෙනා මහජනතාව කොරෝනා වසංගතයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම හා අවම කිරීම සඳහා සටන් වදිමින් සිටින අතරතුර, ලොව පුරා සිටින විද්‍යාඥයන් කොරෝනා වෛරසයට එරෙහිව භාවිතා කළ හැකි එන්නත් සහ ඖෂධ නිපදවීම සඳහා පර්යේෂණ සිදුකරමින් සිටියි. දැනටමත් රටවල් කිහිපයක පර්යේෂකයන් සාර්ථක ලෙස එන්නත් නිපදවා මහජනතාව තුළ කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය (Immunity) ගොඩනැංවීම සඳහා එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇත. තවත් රටවල් කිහිපයක්ම කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිපදවීමේ පර්යේෂණ වල අවසන් අදියර වෙත සාර්ථක ලෙස ළඟාවෙමින් සිටියි. මෙම එන්නත් කිරීමේ වැඩසටහන් පුළුල් ලෙස ලොව පුරා සියළු රටවල සිදුකළහොත්, ඉක්මනින්ම කොරෝනා වසංගතය ලොවෙන් තුරන් කිරීමට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ මෙන්ම, ලොව පුරා කොරෝනා වසංගතයට එරෙහිව දැඩි සටනක් කරමින් පවතින විට, ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ කොරෝනා එන්නත් සම්බන්ධයෙන් විවිධ මත සහ ප්‍රචාරයන් ව්‍යාප්ත වෙමින් තිබීම සැබැවින්ම ගැටළු සහගත තත්ත්වයකි. කොරෝනා එන්නත් පිළිබඳව මෙම වැරදි ප්‍රචාරයන් බොහොමයක් විවිධ හේතූන් මත සහ ඇතැම් අයගේ පටු අරමුණු මුදුන්පත් කරගැනීම උදෙසා සමාජගත වෙමින් හා සමාජගත කරමින් පවතී. එයින් සිදුවන්නේ මහජනතාව මුළා වීමෙන් කොරෝනා එන්නත් කෙරෙහි අනිසි බියක් ඇතිකර ගැනීමයි. කෙසේ වුවත්, කොරෝනා වසංගතය තුරන් කිරීම සඳහා දැනට පවතින ඵලදායීම ක්‍රමවේදයන් දෙක ලෙස සඳහන් කළහැකි වන්නේ නිසිලෙස, නිවැරදිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම සහ කොරෝනා එන්නත් මගින් ප්‍රතිශක්තිය (Immunity) වර්ධනය කරගැනීම පමණි. එබැවින්, දැනට සොයාගෙන ඇති කොරෝනා එන්නත් කිහිපයක විස්තර මදක් විමසා බලමු.

Pfizer/BioNTech එන්නත මාත්‍රා (doses) 2 කින් යුතු වන අතර, දැනට පවතින දත්ත සලකා බලන කළ දෙවන මාත්‍රාව ලබාදීමෙන් දින 7 කට පසුව කොරෝනා වෛරසයට එරෙහිව 95% ක සඵලතාවයක් (Efficacy) පෙන්වා ඇත. Moderna එන්නත ද මාත්‍රා 2 කින් යුතු වන අතර, දැනට පවතින දත්ත අනුව දෙවන මාත්‍රාව ලබාදීමෙන් දින 14 කට පසුව කොරෝනා වෛරසයට එරෙහිව 94.1% ක සඵලතාවයක් පෙන්වා ඇත. දැනට පවතින අතුරු දත්ත (Interim data) අනුව මාත්‍රා දෙකකින් යුතු Oxford Uni- AstraZeneca එන්නත පෙන්වා ඇත්තේ 70% ක සඵලතාවයක් වුවද, ඖෂධ මාත්‍රාව වෙනස්කර සකස් කිරීමෙන් සඵලතාවය 90% ක් දක්වා වැඩිකරගත හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි. රුසියාව විසින් නිපදවූ Sputnik V එන්නත ද මාත්‍රා 2 කින් යුතු වන අතර, කොරෝනා වෛරසයට එරෙහිව 92% – 95% ක සඵලතාවයක් පෙන්වන බව දැක්වේ. මෙම කොරෝනා එන්නත් සම්බන්ධයෙන් පවතින දත්ත වලින් පෙනෙන්නේ කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගීමේ සඵලතාවය ඉහළ අගයක් ගන්නා බවය.

දැනට ඇති දත්ත අනුව Pfizer/BioNTech සහ Moderna යන එන්නත් ද්විත්වයේම දක්නට ලැබුණු අතුරු ඵල (side effects/adverse effects) ලෙස එන්නත ලබාදුන් ස්ථානයේ ඇතිවන මද වේදනාව, තෙහෙට්ටුව, හිසරදය, මස්පිඩු වේදනාව, සන්ධි වේදනාව දැක්විය හැක. ඇතැම් අයට මද උණ සෑදී තිබිණි. මෙම අතුරු ඵල වැඩිපුර දක්නට ලැබුණේ වයස්ගත අයට නොව ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබෙන තරුණ අයට ය. බොහෝවිට ඒවා ඇති වී තිබුණේ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් පසුව ය. තවද, මෙම අතුරු ඵල අසාමාන්‍ය ඒවා නොව, දැනටමත් විවිධ රෝග වළක්වා ගැනීම සඳහා ලබාදෙන එන්නත් බොහොමයක් සමග ඇතිවන අතුරු ඵලයන්ම ය. මෙම අතුරු ඵල ඇතිවීමෙන් දැක්වෙන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොරෝනා වලට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරගනිමින් සිටින බවය. මෙවැනි අතුරු ඵල ඇතිවීම මගින් මෙම එන්නත් ලබාගැනීම අනතුරුදායක හෝ අනාරක්ෂිත බවක් නොහැඟේ. දැනට පවතින දත්ත අනුව Pfizer/BioNTech කොරෝනා එන්නත ලබාදුන් දහස් ගණනක් අතරින් පුද්ගලයන් කිහිප දෙනෙකුට පමණක් අසංරක්ෂණත්වය (Anaphylaxis) නමින් වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන උග්‍ර ප්‍රතික්‍රියාවක් හටගෙන ඇති බවට වාර්තා වන අතර, එය දැනට සාමාන්‍යයෙන් භාවිතා වන ඕනෑම එන්නතක් සමග වුවද කලාතුරකින් ඇතිවිය හැකි තත්ත්වයකි.

Oxford Uni- AstraZeneca එන්නත මගින් ඇතිවී ඇති අතුරු ඵල ලෙස එන්නත ලබාදුන් ස්ථානය අවට වේදනාව, හිසරදය, මස්පිඩු වේදනාව, මද උණ දැක්විය හැක. Sputnik V එන්නත මගින් ඇතිවන අතුරු ඵල ලෙස හිසරදය, උණ වැනි සාමාන්‍ය අතුරු ඵල දක්වා ඇත.

එන්නත් ලබාදීම සමගම ඇතිවන ඉහත සඳහන් අතුරු ඵල දින කිහිපයක් ඇතුළත පහව යයි. එමෙන්ම, දැනට පවතින දත්ත අනුව කිසිඳු කොරෝනා එන්නතක් මගින් දිගුකාලීන බරපතළ සංකූලතාවයක් ඇතිකරන බව සොයාගෙන නොමැත. එමෙන්ම, පර්යේෂණ දත්ත සලකා බැලීමේදී මෙම එන්නත් වල ඉහළ සඵලතාවයක් (Efficacy) ඇති බව මෙන්ම, මිනිසුන්ට එන්නත් කිරීම සඳහා ආරක්ෂිත බව (Safe) පෙනී තිබෙන කාරණයකි.

අපට වඩාත් සුදුසු කොරෝනා එන්නත කුමක් විය හැකිද?

අපට වඩාත් සුදුසු කොරෝනා එන්නතක් තෝරාගැනීමේදී සැලකිය යුතු ප්‍රධාන සාධක තුනක් මෙලෙස දැක්විය හැක.

  • කොරෝනා වෛරසයට එරෙහිව සඵලතාවය (Efficacy)
  • ගබඩා පහසුකම්
  • මිළ

කොරෝනා එන්නත් වල සඵලතාවය (Efficacy), ගබඩා කළ යුතු උෂ්ණත්වය සහ වත්මන් ආසන්න මිළ මෙම වගුවෙන් දක්වා ඇත. (සැ.යු: මෙම මිළ ගණන් 2021 ජනවාරි මුල් සතිය වන විට දක්වා තිබුණු අගයන් බව කරුණාවෙන් සලකන්න.)

එන්නතෙහි නමසඵලතාවය (Efficacy)ගබඩා කල යුතු උෂ්ණත්වය (°C)එක් මාත්‍රාවක ආසන්න මිළ
Pfizer/BioNTech95%-70රු. 3670
Moderna94.1%-20රු. 6027 - 6970
Oxford Uni- AstraZeneca70% - 90%සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්ව පරාසයරු. 565 - 754
Sputnik V92% - 95%සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්ව පරාසයරු. 1884

අප භාවිතා කරන කොරෝනා එන්නතෙහි සඵලතාවය ඉහළ අගයක තිබිය යුතු බවට විවාදයක් නැත. සඵලතාවය සලකනවා නම්, අප Pfizer/BioNTech, Moderna සහ Sputnik V එන්නත් තෝරාගත යුතු අතර, එයින් Pfizer/BioNTech සහ Moderna එන්නත් ගබඩා කර තබාගැනීම සඳහා පිළිවෙලින් සෙල්සියස් අංශක -70 ක සහ -20 ක ඉතා පහළ උෂ්ණත්වයක් පවත්වා ගත යුතුය. එමනිසා, අපේ රටේ සෞඛ්‍ය සේවාව තුළ දැනට පවතින ශීතාගාර පහසුකම් යටතේ තබාගැනීමට හැක්කේ Oxford Uni- AstraZeneca සහ Sputnik V එන්නත් දෙක පමණක් විය හැක. Pfizer/BioNTech සහ Moderna එන්නත් දෙක ගෙන්වනවා නම්, විශාල පිරිවැයක් දරා නව ශීතාගාර පහසුකම් ගොඩනැගිය යුතු වන අතර, මෙම එන්නත් දෙක මෙහි සඳහන් එන්නත් වලින් මිළ වැඩිම එන්නත් දෙක ද වේ. එබැවින්, මිළ අඩුම එන්නත් දෙක සැලකූ කළ, සඵලතාවය ඉහළ අගයක් ගන්නා සහ සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්ව පරාසය තුළ ගබඩා කළ හැකි රුසියාව විසින් නිපදවන ලද Sputnik V අපට වඩාත්ම ගැළපෙන එන්නත ලෙස සැලකිය හැක. කෙසේ වුවත්, කොරෝනා එන්නතක් ගෙන්වන විට මෙහි සඳහන් කළ සාධක වලට අමතරව රටේ ආර්ථික තත්ත්වය, රාජ්‍ය හා සෞඛ්‍ය ප්‍රතිපත්ති, දේශපාලනික පසුබිම, එන්නත මිළදී ගැනීමට ඇති පහසුව (Availability) වැනි තවත් සාධක වල බලපෑම සිදුවේ. නමුත්, මුලින්ම කොරෝනා වෛරසයට නිරාවරණය වීමේ අවධානම වැඩි සෞඛ්‍ය සේවයේ සහ කොරෝනා මර්ධනය සඳහා වෙහෙසෙමින් කටයුතු කරන අනෙක් රාජ්‍ය සේවකයන් සඳහා සහ කොරෝනා රෝගයට ගොදුරු වීමට, කොරෝනා රෝගයෙන් අසාධ්‍ය වීමට, මිය යාමට වැඩි අවදානමක් ඇති වැඩිහිටියන්, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග, පෙනහළු රෝග, වකුගඩු රෝග, පිළිකා වැනි දිගුකාලීන රෝග සහිත පුද්ගලයන් සඳහා වත් ප්‍රමුඛතාවය ලබා දී කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කිරීම වඩා උචිත වේ. එය කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට මනා පිටුවහලක් වනු ඇත. මුලින්ම, ප්‍රමුඛතාවය ලබා දිය යුතු අයට එන්නත ලබාදීමෙන් අනතුරුව, සමාජයේ සිටින අනෙක් අයටද ක්‍රමයෙන් එන්නත ලබාදීමට ක්‍රමවේදයක් සකස් කළ හැක.

(ඡායාරූප අනුග්‍රහය: Baltimore County Government)

සබැඳි ලිපි:

කොරෝනා එන්නත සහ එහි වැදගත්කම ගැන දැනගනිමු.
කොරෝනා (Corona) ආසාදනය පිළිබඳ ඔබේ ගැටළු වලට පිළිතුරු

© 2021, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කොරෝනා එන්නත් පිළිබඳව අනියත බියක් ඇතිකරගත යුතු නැහැ" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*