ඔබේ දරුවාත් නින්දෙන් ඇඳ තෙමනවාද?

ඔබේ දරුවාත් නින්දෙන් ඇඳ තෙමනවාද?

දරුවන් නින්දෙන් ඇඳ තෙමීම (Bed-wetting or Nocturnal enuresis) බොහොමයක් පවුල් වල ඇතිවන ගැටළුවක්. මෙය කුඩා දරුවන් අතර ඉතා බහුලව ඇතිවන තත්ත්වයක් වේ. නින්දෙන් ඇඳ තෙමීම සිදුවීමට හේතු හෝ එය ක්‍රමයෙන් නතර වන්නේ කෙසේද යන්න වෛද්‍යවරුන් තවමත් සොයාගෙන නැහැ. එය දරුවාගේ වර්ධනය සිදුවන අතරතුර පසුකරන එක්තරා කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකියි. බොහෝ දරුවන් ක්‍රමයෙන් වර්ධනය වනවිට නින්දෙන් ඇඳ තෙමීමෙන් වලකිනවා. බොහෝවිට, කුඩා දරුවන් නින්දෙන් ඇඳ තෙමීම කායික හෝ මානසික ගැටළුවක් නොවේ. ඔබේ දරුවාත් නින්දෙන් ඇඳ තෙමනවාද?

නින්දෙන් ඇඳ තෙමීම යනු දරුවා මුත්‍රා පහකිරීම පාලනය කලහැකි වයසේදීත්, නින්දෙන් නොදැනුවත්වම මුත්‍රා පහවීමයි. මෙය වයස අවුරුදු 6 ට වඩා අඩු දරුවන් අතර බහුල වේ. වයස අවුරුදු 6 ක් වන දරුවන්ගෙන් 13% ක් පමණ නින්දෙන් ඇඳ තෙමීම සිදුකරන අතර, වයස අවුරුදු 10 ක් වන දරුවන්ගෙන් 5% ක් පමණ මෙම තත්ත්වයට ගොදුරු වෙනවා.

නින්දෙන් ඇඳ තෙමීම බොහෝවිට පරම්පරාවෙන් පරම්පරාවට ඇතිවන බව පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වය ඇති බොහොමයක් දරුවන්ට, කුඩා කල නින්දෙන් ඇඳ තෙමූ ඥාතියෙක් සිටී. දෙමව්පියන් දෙදෙනාම කුඩාකල නින්දෙන් ඇඳ තෙමුවේ නම්, ඔවුන්ගේ දරුවා නින්දෙන් ඇඳ තෙමීමට ඇති ඉඩකඩ ද වැඩිය.

නමුත්, නින්දෙන් ඇඳ තෙමීම පවුලේ සාමාජිකයන්ගේ මානසික ආතතිය වැඩිකරන්නක්. නින්දෙන් ඇඳ තෙමන දරුවා බොහෝවිට ලජ්ජාවට පත්වන අතර, ඒ පිළිබඳව වරදකාරී හැඟීමකින් ද පසුවීමට පුලුවන. එමනිසා, ඔහු හෝ ඇය නිවසෙන් පිට රාත්‍රියක් ගතකිරීමට බියක් දැක්විය හැකියි. බොහෝ දෙමව්පියන් ද මෙම තත්ත්වය නවත්වා ගැනීමට නොහැකිව අසරණ වේ.

නින්දෙන් ඇඳ තෙමීම යම් කාලයක් පැවතිය හැකියි. නමුත්, දරුවාට මානසිකව සහය වීම මගින්, ඔබේ දරුවා නින්දෙන් ඇඳ තෙමීම නවතන තුරු ඔහුට හෝ ඇයට සහනයක් ගෙනදීමට ඔබට හැකියාව තිබෙනවා. දරුවාට තරවටු කිරීමෙන් තත්ත්වය තවත් නරක අතට හැරීමට ද පුලුවන.

 

ඔබේ දරුවා නින්දෙන් ඇඳ තෙමන්නේ නම්, ඔබ කලයුත්තේ කුමක්ද?

සාමාන්‍යයෙන්, දරුවා ක්‍රමයෙන් වර්ධනය වනවිට නින්දෙන් ඇඳ තෙමීම නතර වේ. නමුත්, එය නතර වනතෙක් ඔබේ දරුවා ඒ පිළිබඳව ලජ්ජාවෙන් සහ අපහසුවෙන් පසුවිය හැක. එමනිසා, ඔබ දරුවාගේ මනසට සහනයක් ඇතිවන ආකාරයට කටයුතු කල යුතුවේ.

නින්දෙන් ඇඳ තෙමීම, දරුවාගේ වර්ධනයෙහි කොටසක් බව ඔහුට හෝ ඇයට වැටහෙන සේ සරළව, කරුණාවෙන් පහදන්න. එය සැමදා පවතින දෙයක් නොවන බව සහ අනාගතයේදී එය නතරවන බවද දරුවාට පවසන්න. පවුලේ අනෙක් සාමාජිකයන් ද කුඩා කලදී නින්දෙන් ඇඳ තෙමූ බව දරුවාට පැවසීමෙන්, දරුවාගේ සිතට සහනයක් ඇතිවේ.

දරුවාට දහවල් කාලයේදී වැඩිපුර දියර වර්ග පානය කිරීමට දීමත්, රාත්‍රිය වනවිට පානය කරන දියර ප්‍රමාණය අඩු කිරීමත් කලහැක. රාත්‍රියට, කැෆේන් (Caffeine) අඩංගු කෝපි, තේ, චොකලට්, සහ කෝලා බීම වර්ග දරුවාට දීමෙන් වලකින්න. සෑම දිනකම නින්දට යෑමට පෙර මුත්‍රා පහකරන ලෙස දරුවාට මතක් කරන්න. නින්දෙන් ඇඳ තෙමන්නේ නැතිව සිටීමට දරුවා උනන්දු කිරීම ද කලහැක. උදාහරණයක් වශයෙන්, ඔබේ දරුවා නින්දෙන් ඇඳ නොතෙමූ දිනකට ස්ටිකරයක් දෙන්න. එම ස්ටිකර් පොතක ඇලවීමට දරුවාට උපදෙස් දෙන්න. ඇලවූ ස්ටිකර් ගණන ගනන් කරමින්, ඒ හා සමාන දින ගණනක් ඔහු හෝ ඇය නින්දෙන් ඇඳ තෙමුවේ නැතැයි පවසමින් ප්‍රශංසා කරන්න. යම් ස්ටිකර් ගණනකට පසුව තෑග්ගක් දෙන බව පවසා කුඩා තෑග්ගක් ලබාදී දරුවා දිරිමත් කරන්න.

දරුවා නින්දෙන් ඇඳ තෙමූ කිසිවිටෙක, තරවටු කරන්න හෝ දඬුවම් කරන්න එපා. ඇඳ පිරිසිදු කිරීමට සහ නැවත සකස්කිරීමට දරුවාගේ සහාය ද ලබාගන්න. එය දඬුවමක් නොවන බව ද පවසා, එය නින්දෙන් ඇඳ තෙමූ විට අප කලයුතු දෙයක් බව වටහා දෙන්න. එවිට, නින්දෙන් ඇඳ තෙමූ පසු දෙමව්පියන් තමාට කාරුණිකව උදවු කරන බව දරුවාට වැටහෙන බැවින්, ඔහුගේ හෝ ඇයගේ සිතට සහනයක් ලැබේවි. දරුවා නින්දෙන් ඇඳ නොතෙමූ සෑම දිනකම ප්‍රශංසා කිරීමට අමතක කරන්න එපා.

 

ඔබේ දරුවා වෛද්‍යවරයෙකුට පෙන්විය යුතු අවස්ථා

ඔබේ දරුවා එකවරම නින්දෙන් ඇඳ තෙමීම ආරම්භ කලේ නම් හෝ නින්දෙන් ඇඳ තෙමීම සමග වෙනත් රෝග ලක්ෂණ පවතී නම්, ඔබේ වෛද්‍යවරයා හමුවීම කලයුතු වේ. එවිට, ඔබේ වෛද්‍යවරයා දරුවාට මුත්‍ර මාර්ගයේ ආසාදනයක්, මුත්‍රාශයේ ගැටළුවක්, දියවැඩියාව, හෝ දැඩි මානසික පීඩාවක් ඇතිදැයි පරීක්ෂා කර බලනු ඇත.

තනිවම මුත්‍රා පිටකිරීම පාලනය කිරීමට හැකියාව ඇතිවූ පසුත්, ඔබේ දරුවාට පහත සඳහන් ලක්ෂණ ඇතිවේ නම්, වෛද්‍යවරයා හමුවන්න.

  • දිවා කාලයේදීත් ඇඳුම් වල මුත්‍රා පහකර ගැනීම.
  • නින්දෙන් ඇඳ තෙමීම නතර වී මාස 6 කට වඩා ගතවූ පසු නැවත නින්දෙන් ඇඳ තෙමීම ආරම්භ කිරීම.
  • මුත්‍රා පහවන විට දැවිල්ලක් හෝ වේදනාවක් ඇතිවේ යැයි පැවසීම.
  • නින්දෙන් ගෙරවීම.
  • වෙනදාට වඩා මුත්‍රා පිටකරන වාර ගණන වැඩිවීම.
  • කකුල් හෝ වළලුකර ඉදිමීම.
  • අසාමාන්‍ය පරිදි ආහාර හෝ පානයන් වැඩිපුර ගැනීම.
  • වයස අවුරුදු 7 ක් හෝ එයට වැඩි දරුවන් නින්දෙන් ඇඳ තෙමීම.

ඔබේ දරුවා සහ ඔබ දැඩි මානසික පීඩාවකින් පසුවේ නම්, එයද ඔබේ වෛද්‍යවරයාට පැවසීමට අමතක නොකරන්න. ඔබේ සහය සහ ඉවසීම ඔබේ දරුවාට අවශ්‍ය වැදගත්ම දෙය බව මතකයේ තබාගන්න. ඔබගේ සහය නිසි අයුරින් සහ නොමදව දරුවාට ලැබේ නම්, දරුවා නින්දෙන් ඇඳ තෙමීම නතර කරන දිනය වැඩි ඈතක නොවන බව ද සිතට ගැනීම වැදගත් වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: peasap)

 

© 2016 – 2017, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ දරුවාත් නින්දෙන් ඇඳ තෙමනවාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*