දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද

කනේ වේදනාවන් ඇතිවීම දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මෙය, කන් බෙරයට පිටුපසින් දියර එකතුවීම, මැදකනේ ආසාදනයක් ඇතිවීම, හෝ බාහිර ශ්‍රවණ නාලයේ ආසාදනයක් ඇතිවීම නිසා ඇතිවිය හැක. විශේෂයෙන්, වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවෙකුට ශ්වසන පද්ධතියේ ඉහළ කොටස්වල ආසාදනයක් ඇතිවූ පසු, කනේ ආසාදනයක් ඇතිවීමට වැඩි අවදානමක් ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ, ඔබේ දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත්, කුමක් කලයුතුද යන්න පැහැදිලි කිරීමයි.

 

රෝග ලක්ෂණ හඳුනාගැනීම

කනේ ආසාදනයක් ඇතිවූ විට පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක.

  • කනේ වේදනාව. මෙය විශේෂයෙන්, සපන විට, කිරි හෝ වෙනත් දියරයක් උරා බොන විට, හෝ හාන්සි වී සිටින විට ඇතිවිය හැක.
  • කන් පෙත්තෙහි ඉදිමීමක් හෝ රතුවූ ස්වභාවයක් ඇතිවීම. වෛද්‍යවරයා කන පරීක්ෂා කරන විට, බාහිර ශ්‍රවණ නාලය හෝ කන් බෙරය රතුවී, ඉදිමී ඇතිබව නිරීක්ෂණය කරනු ඇත.
  • දරුවා නිතරම කන් පෙත්තෙන් ඇදීම හෝ ස්පර්ශ කිරීම.
  • කනෙන් දියරයක් ශ්‍රාවය වීම.
  • ඇසීම අඩුවීම.
  • කන අගුල් වැටුණු ස්වභාවයක් දැනීම.
  • දරුවා නොරුස්සන සුළුවීම.
  • වමනය.
  • හිසරදය.
  • උණ

 

දරුවාට කනේ වේදනාවක් ඇතිවූ විට කුමක් කල යුතුද?

  • වෛද්‍යවරයෙකු ලවා කන් පරීක්ෂා කරගන්න.
  • අවශ්‍ය වූ විට, වේදනාව අඩුකිරීම සඳහා නියමිත මාත්‍රාවට අනුව පැරසිටමෝල් ලබාදෙන්න.
  • ඔබේ වෛද්‍යවරයා, ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ලබාගැනීමට නියම කලහොත්, නියමිත උපදෙස් අනුව ඒවා අවසන් වනතෙක් ලබාදීමට කටයුතු කරන්න.

 

ඔබේ දරුවාට පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඇත්නම්, ඔබේ දරුවා වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුය.

  • ප්‍රතිජීවක ඖෂධ ගන්නා අතරතුරත්, දරුවා රෝගී ස්වභාවයකින් පසුවීම.
  • කනෙන් සැරව වැනි දියරයක් හෝ රුධිරය ගැලීම.
  • කනේ වේදනාව වැඩිවීම.
  • කනට පිටුපස ඉදිමීමක් සහ රතුවූ ස්වභාවයක් පැවතීම.
  • කන, හිසෙන් පිටතට නෙරා ඒම.

 

කනේ ආසාදන වළක්වා ගැනීම සඳහා කලහැක්කේ කුමක්ද?

  • නියමිත පරිදි දරුවා එන්නත් කරගැනීමට කටයුතු කරන්න. එමගින්, ආසාදන ඇතිවීමට ඇති ප්‍රවණතාවය අවම වේ.
  • කිසි විටෙක, කොට්න් බඩ්, කන් හැඳි, හෝ වෙනත් තියුණු උපකරණ යොදාගෙන කන් සුද්ද කරන්න එපා.
  • දරුවාට අක්‍රීය දුම්පානයට (Passive smoking) ලක්වීමට ඉඩදෙන්න එපා. සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් ශ්වසන ආසාදන ඇති අය අසල ගැවසීමට ඉඩදෙන්න එපා. එමගින්, කනේ ආසාදන ඇතිවීමට ඇති අවදානම වැඩිවේ.
  • ඔබේ දරුවා වැතිරී සිටින විට බෝතල් වලින් කිරි හෝ වෙනත් දියර පානය කිරීමට දෙන්න එපා.
  • ඔබේ දරුවා නිතර පිහිනන්නේ නම්, හොඳින් කන් ආවරණය වනසේ හිස්වැසුමක් හෝ කන්වැසුම් (Earplugs) භාවිතා කරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Tammra McCauley)

 

සබැඳි ලිපි:

ඔබේ දරුවාගේ කන් කලාඳුරු ගැටළුවක් වී ඇතිද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*