ඔබේ දරුවාගේ කන් කලාඳුරු ගැටළුවක් වී ඇතිද?

ඔබේ දරුවාගේ කන් කලාඳුරු ගැටළුවක් වී ඇතිද

බොහෝ නිවෙස් වල කොට්න් බඩ් (Cotton buds) දක්නට ලැබේ. බොහෝවිට, මේවා උපයෝගී කරගන්නේ කන් කලාඳුරු ඉවත්කිරීම සඳහායි. මෙය ඔබ නිතර භාවිතා කරන දෙයක් වුවත්, එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නම් නොවෙයි. ඒ, ඔබේ දරුවාගේ කන් කලාඳුරු ඉවත්කිරීමට කොට්න් බඩ් යොදාගැනීම, අනතුරුදායක දෙයක් බැවිනි. එබැවින්, කන් කලාඳුරු පිළිබඳව සහ ඒවාට කුමක් කල යුතුද යන්න මදක් විමසා බලමු.

සාමාන්‍යයෙන්, කන තුළ කන් කලාඳුරු සෑදෙන්නේ, කනට අවශ්‍ය ප්‍රමාණයටය. නමුත්, ඇතැම් අයගේ වැඩිපුර කන් කලාඳුරු සෑදෙන අවස්ථාද දක්නට ලැබේ. කුඩා දරුවන්ගේද, ඉතා කලාතුරකින් කන් කලාඳුරු වැඩියෙන් සෑදෙන අවස්ථා දැකිය හැක. ඒවා දරුවාගේ ඇසීමට බාධාවක් වන්නේ නම්, හෝ දරුවාට කනේ වේදනාවක් හෝ අපහසුතාවයක් ඇතිකරන්නේ නම්, වෛද්‍යවරයෙකු ලවා ඉවත්කර ගත යුතුවේ. නමුත්, කන් කලාඳුරු ඉවත්කිරීම සහ එම රෝග ලක්ෂණ වලට හේතුවිය හැකි වෙනත් හේතු සෙවීම තීරණය කල යුත්තේ වෛද්‍යවරයෙකු විසින් පමණි.

එමනිසා, දෙමව්පියන් හෝ දරුවන් කිසිවිටෙකවත් නිවසේදී, කන් කලාඳුරු ඉවත්කිරීමට උත්සාහ නොකල යුතුවේ. ජනමාධ්‍ය ඔස්සේ, ඇතැම් ප්‍රතිකර්ම සහ උපකරණ ආරක්ෂිත සහ ඵලදායී ලෙස ප්‍රචාරය කලත්, ඒවා කන් කලාඳුරු ඉවත්කිරීමට යොදාගැනීම කිසිසේත්ම අනුමත කල නොහැක. මක්නිසාද, එසේ කිරීම ඔබේ දරුවාගේ බාහිර ශ්‍රවණ නාලයට, කන් බෙරයට, සහ ඇසීමට හානිවීමට හේතුවිය හැක.

 

කන් කලාඳුරු සෑදෙන්නේ ඇයි?

කන් කලාඳුරු සෑදෙන්නේ බාහිර ශ්‍රවණ නාලය තුළය. ඒවා කන ආරක්ෂා කිරීම සඳහා සැලකිය යුතු මෙහෙවරක් කරයි. එය, කන තුළ ජල ප්‍රතිරෝධී (Waterproof) ආස්තරණයක් සාදයි. එමගින්, බාහිර ශ්‍රවණ නාලය සහ කන් බෙරය වියලිව පවත්වා ගැනීම නිසා, විෂබීජ මගින් ආසාදනය වීම වැළකේ. එමෙන්ම, කන් කලාඳුරු වල අපද්‍රව්‍ය, දූවිලි, සහ කුඩා සතුන් ආදිය රැඳෙන බැවින්, කන් බෙරයට හානිවීමද වැළකේ. එවන් ද්‍රව්‍ය කන් බෙරයේ වැදීමෙන් අපහසුතා ඇතිවීමද අවම කරයි.

සාමාන්‍යයෙන්, කන තුළ නිපදවෙන කන් කලාඳුරු සෙමෙන් බාහිර ශ්‍රවණ නාලය ඔස්සේ පිටතට පැමිණේ. එවිට, ඒවා එළියට වැටීම හෝ ස්නානය කරන විට ඉවත්වීම සිදුවේ. කන තුළ නිරන්තරයෙන් කන් කලාඳුරු සෑදෙන බැවින්, සැමවිටම ප්‍රමාණවත් කන් කලාඳුරු ප්‍රමාණයක් බාහිර ශ්‍රවණ නාලය තුළ පවතී. බොහෝවිට, දරුවන්ගේ කන් කලාඳුරු ඉවත්කිරීමට අවශ්‍ය නොවේ. සෞඛ්‍ය සම්පන්න මට්ටමට කන් කලාඳුරු ප්‍රමාණය පවත්වා ගැනීමට, නිතිපතා ස්නානය කිරීම පමණක් ප්‍රමාණවත් වේ.

 

නිවසේදී කල හැකි ප්‍රතිකර්ම මොනවාද?

ඔබේ දරුවා කනේ අපහසුතාවයක් ඇතැයි පවසනවා නම් සහ දරුවාගේ කනේ කලාඳුරු පෙනෙන්නට පවතී නම්, කනේ පිටතින් ඇති කන් කලාඳුරු රෙදි කඩකින් පිසදමා ඉවත්කිරීම කල හැක. නමුත්, කන් කලාඳුරු ඉවත්කිරීම සඳහා කොට්න් බඩ්, ඇඟිලි, හෝ වෙනත් කිසිම උපකරණයක් යොදාගැනීමෙන් වැළකිය යුතුවේ. එසේ කිරීම, ඔබේ දරුවාගේ මෘදු බාහිර ශ්‍රවණ නාලයට සහ කන් බෙරයට හානි කරන්නක් විය හැක. එපමණක් නොව, එමගින්, කන් කලාඳුරු කන තුළ තවත් තදවීම සහ ආසාදන ඇතිවීම සිදුවීමට ඉඩ ඇත.

ඔබේ දරුවාට කනේ වේදනාවක්, අපහසුතාවයක්, ඇසීමේ අපහසුතාවයක්, හෝ කන් අගුළු වැටුණු ස්වභාවයක් ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න. ළදරුවන් සහ කුඩා දරුවන්, තමන්ගේ කන නිතර ස්පර්ශ කරනවා නම් හෝ අදිනවා නම්, එය කනේ යම් ගැටළුවක් ඇතිබව හඟවන සලකුණකි. කන් කලාඳුරු ඉවත්කිරීමට යැයි පවසමින්, බොහෝ ප්‍රතිකර්ම, උපකරණ, සහ දියර වර්ග වෙළඳපොලේ ඇතිමුත්, වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව, එවන් කිසිවක් භාවිතාකිරීම නොකල යුතුය.

 

කන් කලාඳුරු ඉවත් කරන්නේ කෙසේද?

කන් කලාඳුරු, ඔබේ දරුවාගේ කනේ වේදනාවක්, අපහසුතාවයක්, හෝ ඇසීමේ ගැටළුවක් ඇතිකරන්නේ නම්, ඇතැම් විට, වෛද්‍යවරයා කන් කලාඳුරු ඉවත්කිරීමට කටයුතු කරනු ඇත. එසේ නැතහොත්, කනේ ගැටළුවකට පිළියම් යෙදීම සඳහා, කන හොඳින් පරීක්ෂා කිරීමට, වෛද්‍යවරයා කන් කලාඳුරු ඉවත්කරනු ඇත.

කන් කලාඳුරු ඉවත්කිරීම වේදනාවක් ඇති නොකලද, කන තුළ කිතිකැවීමක් වැනි අපහසුතාවයක් ඇතිකල හැක. ඇතැම් කුඩා දරුවන්, එම සංවේදනය සහ කන ස්පර්ශ කිරීම නිසා අපහසුතාවයට පත්විය හැක. ඉතාම කලාතුරකින්, කුඩා දරුවෙකු කන් කලාඳුරු ඉවත්කිරීමට නොසෙල්වී සිටීම හෝ සහය දැක්වීම ප්‍රතික්ෂේප කර, නොසන්සුන් විය හැක. එවිට, ශල්‍යාගාරයක් තුළදී, දරුවා සිහි නැතිකිරීමෙන් පසුව කන් කලාඳුරු ඉවත්කිරීමට සිදුවිය හැක.

වෛද්‍යවරුන් කන් කලාඳුරු ඉවත්කිරීමට විවිධ කුඩා උපකරණ භාවිතා කරයි. ඒ අතර, ආලෝක ධාරාවක් නිකුත්කරන, කනේ අභ්‍යන්තරය පිරික්සීමට භාවිතා කරන උපකරණ ද, පවතී. එවැනි උපකරණ භාවිතයෙන්, විනාඩි කිහිපයක් තුළ, වේදනාවක් ඇතිවීමකින් තොරව, කන් කලාඳුරු ඉවත්කිරීමට වෛද්‍යවරයෙකුට පුලුවන. බොහෝ විට, කන් කලාඳුරු ඉවත්කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර තවදුරටත් අවශ්‍ය නොවේ. කන් කලාඳුරු ඝනවී ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා කනට දැමීම සඳහා ඖෂධ දියර (Ear drops) නිර්දේශ කරනු ඇත. ඒවා, ඝනවූ කන් කලාඳුරු මෘදුකර, දියකරයි. එවිට, කන් කලාඳුරු ඉවත්කිරීම තවදුරටත් පහසු වේ.

කනේ ආසාදනයක් ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ගැනීමට නිර්දේශ කරනු ඇත. ඒවා අතර, කනට දමන ප්‍රතිජීවක දියර බිඳු (Antibiotic ear drops) ද, පැවතිය හැක. නමුත්, බොහොමයක් කන් කලාඳුරු ඉවත්කිරීම් වලට පසුව, නිවසේදී ප්‍රතිකර්ම කිරීම අවශ්‍ය නොවේ.

ඔබේ දරුවාගේ කනේ හෝ ඇසීමේ ඕනෑම ගැටළුවකදී, ඔබේ වෛද්‍යවරයා හමුවීමට මතක තබාගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Sham Hardy)

 

සබැඳි ලිපි:

කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?
දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "ඔබේ දරුවාගේ කන් කලාඳුරු ගැටළුවක් වී ඇතිද?"

  1. තිස්ස සේනානායක | September 9, 2016 at 1:55 am | Reply

    මෙවැනි තත්වයකදී කණට දැමිය හැකි දියර – ear drops වර්ග වල නම් මොනවාද?

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | September 9, 2016 at 12:07 pm | Reply

      ශ්‍රී ලංකාව තුළ, කන් කලාඳුරු ඉවත්කිරීම සඳහා භාවිතා කලහැකි සියළු Ear drops වර්ග වෛද්‍යවරයෙක් කන පරීක්ෂා කිරීමෙන් අනතුරුව පමණක් නිර්දේශ කරන ඒවා වේ. එමනිසා, ඔබට එවැනි ගැටළුවක් ඇත්නම්, ඔබ ප්‍රදේශයේ සිටින වෛද්‍යවරයෙක් හමුවී සාකච්ඡා කිරීම වඩා සුදුසු වේ. එමනිසා, කනට දමන Ear drops වර්ග පිළිබඳව මෙහි සඳහන් කල නොහැකි බව කරුණාවෙන් සලකන්න. ඔබගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙමි.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*