ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කෙසේද?

ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කෙසේද

ප්‍රතිශක්තිය යනු ශරීරයේ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් හානිකර විෂබීජ වලට එරෙහිව සටන් කිරීමේ හැකියාවයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රධාන වශයෙන් සුදු රුධිරාණු (White blood cells) විශාල ප්‍රමාණයකින් සමන්විත වන අතර, එය ඔබේ දරුවා විවිධ රෝග වලින් සහ ආසාදන වලින් ආරක්ෂා කරයි. ශරීරයට හානිකර විෂබීජ සහ රසායන ද්‍රව්‍ය, ශරීරයට බාහිරින් පැමිණ හානිකරන දේවල් ලෙස හඳුනාගෙන, ඒවා ශරීරයෙන් ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාව ඇත. නමුත්, වැඩිහිටියන්ට වඩා ආසාදන ඇතිවීමේ අවදානමක් කුඩා දරුවන්ට පවතී. එයට හේතුව, දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙමින් පැවතීමයි. ඔබේ දරුවා කලින් නිරාවරණය වී ඇති හානිකර විෂබීජ සහ රසායන ද්‍රව්‍ය මතක තබාගැනීමට හැකියාවක් ප්‍රතිශක්තිකරණ පද්ධතියට පවතී. එමනිසා, ඔබේ දරුවා පෙර නිරාවරණය වූ විෂබීජයකට හෝ රසායන ද්‍රව්‍යයකට නැවත නිරාවරණය වුවහොත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය පෙරටත් වඩා දැඩිව ප්‍රතික්‍රියා කර එය විනාශ කිරීමට හෝ ශරීරයෙන් පලවාහැරීමට කටයුතු කරයි. කාලය ගතවන විට, ඔබේ දරුවා ක්‍රමයෙන් විවිධ රෝගකාරක වලට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරගනී. එමනිසා, දරුවා වයසින් වැඩිවන විට, රෝග වලට ගොදුරුවන ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවේ. කෙසේ වුවත්, සමහර සරළ පුරුදු ඇතිකර ගැනීමෙන්, ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය තවදුරටත් වැඩි කරගැනීමට පුලුවන්.

අත් සේදීම

බොහොමයක් ආසාදන වලට එරෙහිව කල හැකි බොහොම සරළ මෙන්ම, වඩාත් ශක්තිමත්ම ක්‍රියාමාර්ගය අත් සේදීමයි. විෂබීජ තැවරුණු දෑත් එම රෝගකාරක වලට පහසුවෙන්ම ඔබේ දරුවාගේ ශරීරයට ඇතුළු වීමට ඉඩ සලසයි. එමනිසා, නිතර ඔබේ දරුවාගේ අත් සබන් සහ ජලය ආධාරයෙන් සෝදාගන්නා ආකාරය පෙන්වා දී, ඔවුන්ට හොඳින් පුරුදු කරන්න. විශේෂයෙන්, ආහාර ගැනීමට පෙර, වැසිකිලි, කැසිකිලි භාවිතයෙන් පසු, සහ කුණු, දූවිලි, සතුන් ආදිය ඇල්ලීමෙන් පසු අත් සේදීමට ඔබේ දරුවා යොමු කරන්න. ඔබගේ පවුළේ සාමාජිකයන්, දරුවාට සාත්තු කරන්නන්, සහ අමුත්තන් හටද අත් සේදීමට අනුබල දෙන්න. එමගින්, ඔබේ දරුවා රෝගකාරක වලට නිරාවරණය වීම තවදුරටත් අඩු කරගන්න පුලුවන්.

සෙල්ලම් කිරීම සහ ව්‍යායාම කිරීම

ඔබේ දරුවා ප්‍රමාණවත් තරම් සෙල්ලම් කිරීමට සහ ව්‍යායාම කිරීමට යොමු කරන්න. නිතර ශාරීරික ක්‍රියාකාරකම් කිරීමෙන් ඔබේ දරුවා තරබාරු වීමෙන් වැලකේ. තරබාරුකම දරුවාගේ ප්‍රතිශක්තිය පහත හෙලයි. එමෙන්ම, ශාරීරික ක්‍රියාකාරකම් මගින් ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇතුළු අනෙකුත් අවයව පද්ධති ශක්තිමත් හා නිරෝගී වේ. නිතර ව්‍යායාම කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සුදු රුධිරාණු වල, රෝගකාරක වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩිවන අතර, සුදු රුධිරාණු සංඛ්‍යාව ද ඉහළ යයි. හැකිනම්, ඔබේ දරුවා සමග ව්‍යායාම සහ සෙල්ලම් කරන්න. නිතර බයිසිකල් පැදීම, දිවීම, ඇවිදීම, පිහිනීම, සහ කඳු නැගීම ආදිය දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරයි.

එළවලු සහ පළතුරු

ශරීරයට හානිකර ආහාර ගැනීමට වඩා එළවලු සහ පළතුරු වැඩියෙන් ආහාරයට ගැනීමට ඔබේ දරුවා හුරුකරන්න. පළතුරු සහ එළවලු වල විටමින් (A, C, E, ෆෝලික් අම්ලය, සහ B6) සහ ඛණිජ ලවණ (සින්ක් සහ සෙලීනියම්) ඇතුළුව පෝෂ්‍ය පදාර්ථ රාශියක් පවතින අතර, ඒවා ප්‍රතිශක්තිය වැඩිකිරීමට ද දායක වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ වලින් ඇතැම් ඒවා මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක ලෙස ද ක්‍රියාකරයි. ඔබගේ දරුවාට නිවසේදීම ස්වභාවික පළතුරු යුෂ සහ එළවලු හෝ පළතුරු සැලඩ් සාදා දීම කල හැක. යෝගට් එකතු කිරීමෙන් දරුවා එයට දක්වන ප්‍රියතාවය වැඩි කරගැනීමට ද පුලුවන.

සීනි භාවිතය අඩුකරන්න.

වැඩිපුර සීනි භාවිතය මගින් සුදු රුධිරාණු වල රෝගකාරක වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව පහත හෙලන බව කොලුම්බියා විශ්ව විද්‍යාලයේ (The Columbia University) පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන ඇත. සීනි ග්‍රෑම් 75-100 ක් පරිභෝජනය කිරීමෙන් ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය පැය 4 ක පමණ කාලයකට 40% කින් අඩුවන බව සොයාගෙන ඇත. ප්‍රතිශක්තිය උපරිම වශයෙන් පහත වැටෙන්නේ සීනී පරිභෝජනය කිරීමෙන් පැය 2 කට පසුවය. එමනිසා, ඔබේ දරුවාට සරළ සීනි අඩංගු ආහාර සහ පානයන් ලබාදීම අවම කරන්න. වැඩිපුර සීනි භාවිතය තරබාරුකමට හේතුවක් වන බැවින් ද, ප්‍රතිශක්තිය තවදුරටත් පහත දැමීමට එයට හැකියාව ඇත.

දුම්පානය නතර කරන්න.

ඔබේ දරුවා අක්‍රීය දුම්පානයට ගොදුරු වියහැකි බැවින්, දුම්පානය නතර කරන්න. සාමාන්‍යයෙන් දරුවෙක් විනාඩියකට හුස්ම ගන්නා වාර ගණන වැඩිහිටියෙකුට වඩා වැඩිය. එමනිසා, කුඩා දරුවන්ගේ පෙනහලු තුළට වාතයේ ඇති විෂ රසායන ද්‍රව්‍ය ඇතුළුවන ප්‍රමාණය වැඩිය. නමුත්, ඔබේ දරුවාට එම විෂ රසායන ද්‍රව්‍ය විනාශ කිරීමට හෝ ශරීරයෙන් ඉවත් කිරීමට ඇති හැකියාව අඩුය. මක්නිසාද, ඔවුන්ගේ ශරීරයේ විෂහරණ ක්‍රියාවලියන් හොඳින් වර්ධනය වී නොමැත. සිගරට් දුමට ඔබගේ දරුවාගේ ස්වාශ නාල වල ඇති පක්ෂ්ම විනාශ කිරීමට හැකියාව ඇති අතර, එමගින් පෙනහලු වල පක්ෂ්ම ක්‍රියාකාරීත්වය අඩුවේ. මේ නිසා, ඔබේ දරුවා නිතර ශ්වසන පද්ධතියේ ආසාදන වලට සහ බ්‍රොන්කයිටිස් හෙවත් ක්ලෝමදාහය ට ගොදුරු විය හැක. සිගරට් දුම් වල අඩංගු තාර සහ දුම් අංශු ස්වාශ නාල වල ඇති ප්‍රතිශක්ති සෛල (සුදු රුධිරාණු) වල ක්‍රියාකාරීත්වය ද අඩුකරන බැවින්, ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය තවදුරටත් පහත වැටේ. තවද, දුම්පානය කණේ ආසාදන, ඇදුම, බ්‍රොන්කයිටිස් හෙවත් ක්ලෝමදාහය, නියුමෝනියාව, සහ ක්ෂය රෝගය ඇතිකිරීමට ද හේතුවිය හැක.

මාළු ආහාරයට ගැනීම

ඔබේ දරුවා නිතර මාළු ආහාරයට ගැනීමට හුරු කරන්න. විශේෂයෙන් ඔමෙගා 3 මේද අම්ල (Omega 3 fatty acids) බහුල සාලයා, හුරුල්ලා, කුම්බලාවා, බලයා, සැමන්, බෝල්ලා, සහ තලපත් ආදී මාලු වර්ග ආහාරයට දෙන්න. ඉස්සන්, පොකිරිස්සන්, සහ දැල්ලන්ගේ ද ඔමෙගා 3 මේද අම්ල බහුලව ඇත. මෙම ඔමෙගා 3 මේද අම්ල, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය රසායනික ද්‍රව්‍ය වල නිෂ්පාදනයට උදවු කරයි. තද කොළ පැහැ පළා වර්ග, සෝයා තෙල්, සහ කැනෝලා තෙල් වල ද ඔමෙගා 3 මේද අම්ල බහුලව ඇතිබව සිතට ගන්න.

නින්ද

ඔබේ දරුවා ප්‍රමාණවත් සහ හොඳ නින්දක් ලබාගැනීම ද අත්‍යාවශ්‍ය වේ. මක්නිසාද, නින්දේදී ශරීරය තුළ ඉන්ටර්ලියුකින්-1 (Interleukin-1) නැමැති රසායන ද්‍රව්‍යයක් සෑදෙන අතර, එය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වීමට බලපායි. වැඩිමහල් දරුවන්ට දිනකට පැය 9 කට වඩා වැඩි නින්දක් අවශ්‍ය වන අතර, කුඩා දරුවන්ට පැය 10-12 ක නින්දක් දිනකට අවශ්‍ය වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Jay)

 

සබැඳි ලිපි:

කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?
ශ්වසන පද්ධතියේ ආසාදන වැලැක්වීමට උගුර සෝදමු!
ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*