වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) ගැන දැනගනිමු.

වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) ගැන දැනගනිමු

ඔසප්වීමට වහාම පෙර සහ ඔසප්වීම සිදුවන අතරතුර යටිබඩෙහි වේදනාවක් හටගැනීම වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) නම් වේ. මෙය බොහොමයක් කාන්තාවන් අත්දකින තත්ත්වයක් ලෙස හැඳින්විය හැක. ඇතැම් කාන්තාවන්ට මෙය සුළු පීඩාවක් පමණක් වුවද, ඇතැම් අයට සෑම මසකටම දින කිහිපයක් එදිනෙදා කාර්යයන් කිරීමට පවා අපහසු කරන තත්ත්වයක් විය හැක.

ඇතැම් විට වේදනාකාරී ඔසප්වීම, එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) නම්වූ ගර්භාෂය ආශ්‍රිත තත්ත්වයක් හෝ තන්ත්වාභ හෙවත් ෆයිබ්‍රොයිඩ් (Fibroid) නම්වූ ගර්භාෂයේ ඇතිවන ගෙඩි විශේෂයක් වැනි හඳුනාගත හැකි හේතූන් නිසා ඇතිවිය හැක. හඳුනාගත හැකි අභ්‍යන්තර හේතූන් නිසා ඇතිවන වේදනාකාරී ඔසප්වීම, ද්විතීයික වේදනාකාරී ඔසප්වීම (Secondary dysmenorrhoea) ලෙස හැඳින්වේ. එවැනි හඳුනාගත හැකි තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර කිරීම මගින් වේදනාකාරී ඔසප්වීමට නැවතීමේ තිත තැබිය හැක. සාමාන්‍යයෙන්, එවැනි අභ්‍යන්තර හේතුවක් නිසා ඇති නොවන වේදනාකාරී ඔසප්වීම, ක්‍රමයෙන් වයසින් වැඩිවත්ම අඩුවන අතර, බොහෝවිට දරු උපතකට පසුව සමනය වනු දැකිය හැක. ඔසප්වීම මුලින්ම ආරම්භ වී වසර කිහිපයක් යනතුරු මෙම තත්ත්වය දැකිය හැකි අතර, මෙය ප්‍රාථමික වේදනාකාරී ඔසප්වීම (Primary dysmenorrhoea) ලෙස හැඳින්වේ.

 

වේදනාකාරී ඔසප්වීමෙහි ඇති රෝග ලක්ෂණ මොනවාද?

මෙහිදී, ඔසප්වීමට වහාම පෙර අවදියේදී සහ ඔසප්වීම සිදුවන අතරතුර පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක.

  • රිද්මයානුකූලව හෝ මස් පෙරලෙන්නාක් මෙන් වේදනාවක් යටිබඩෙහි ඇතිවේ. මෙය, දැඩි වේදනාවක් විය හැක.
  • වේදනාව දිගටම එකම ආකාරයකට පැවතිය හැක.
  • වේදනාව, කොන්දෙහි පහළ ප්‍රදේශය සහ කලවා දෙසට පැතිරිය හැක.

ඇතැම් කාන්තාවන්ට පහත රෝග ලක්ෂණද ඇතිවිය හැක.

  • ඔක්කාරය.
  • දියර ලෙස මළපහ පිටවීම.
  • හිසරදය.
  • කරකැවිල්ල.

 

ඔබ වෛද්‍යවරයෙකු හමුවිය යුතුද?

ඔබගේ ඔසප්වීම ආරම්භ වී ගතවී ඇත්තේ වසර කිහිපයක් නම් සහ ඔබට වේදනාකාරී ඔසප්වීම ඇත්නම්, බොහෝවිට එය සැලකිය යුතු තත්ත්වයක් නොවීමට ඉඩ ඇත. කෙසේ වුවත්, වේදනාකාරීව ඔසප්වීම නිසා සෑම මාසයකම ඔබේ එදිනෙදා කාර්යයන්ට බාධාවක් වේ නම්, ඔබගේ රෝග ලක්ෂණ කාලයත් සමග ක්‍රමයෙන් වර්ධනය වේ නම්, හෝ ඔබට වයස 25 ක් ගතවූ පසු වේදනාකාරී ඔසප්වීම ආරම්භ වූයේ නම්, ඔබේ වෛද්‍යවරයා මුණගැසීම කල යුතුය.

 

වේදනාකාරී ඔසප්වීම ඇතිවීමට හේතු මොනවාද?

ඔසප්වීමේදී ඔබගේ ගර්භාෂයේ අභ්‍යන්තර ආස්තරය (Lining) බිඳවැටීම නිසා රුධිරය සමග බිඳීගිය ආස්තරයේ කොටස් යෝනි මාර්ගයෙන් පිටවීම සිදුවේ. එම ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ගර්භාෂයේ මාංශ පේශි වරින් වර සංකෝචනය වන අතර, එසේ සංකෝචනය වීම උද්දීපනය කරන්නේ වේදනාව සහ ප්‍රදාහය (Pain and inflammation) ඇතිකිරීමට හේතුවන හෝමෝනයක් වැනි ප්‍රොස්ටග්ලැන්ඩින් (Prostaglandins) නම්වූ රසායනික ද්‍රව්‍යයන් ය. ප්‍රොස්ටග්ලැන්ඩින් වල සාන්ද්‍රණය වැඩිවූ විට, ගර්භාෂයේ මාංශ පේශි තදින් සංකෝචනය වන බැවින් වේදනාකාරී ඔසප්වීම ඇතිවේ. මෙසේ ගර්භාෂයේ මාංශ පේශි තදින් සංකෝචනය වනවිට, එය තුළ ඇති රුධිර වාහිනී හැකිලී අවහිර වීම නිසා ගර්භාෂයේ මාංශ පේශි වලට සහ අනෙකුත් පටක වලට රුධිරය සංසරණය වීම අඩාල වේ. එවිට, එම පටක වලට රුධිරය ඔස්සේ ලැබෙන ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය අඩුවීම මගින් වේදනාවක් හටගනී.

පහත සඳහන් අභ්‍යන්තර තත්ත්ව වලදී ද්විතීයික වේදනාකාරී ඔසප්වීම ඇතිවිය හැක.

  • එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriyosis). මෙහිදී, ගර්භාෂයේ අභ්‍යන්තර ආස්තරයේ පටක, ෆැලෝපීය නාල (Fallopian tubes), ඩිම්බකෝෂ, ශ්‍රෝණියේ ආස්තරය වැනි ගර්භාෂයෙන් පිටත පටක මත වර්ධනය වීම සිදුවන අතර, ඔසප්වීමේදී එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇතිවූ පටක වලින්ද රුධිරය වහනය වේ.
  • තන්ත්වාභ හෙවත් ෆයිබ්‍රොයිඩ් (Fibroids). ගර්භාෂ බිත්තියේ වර්ධනය වන පිළිකාමය නොවන ගෙඩි විශේෂයක් ෆයිබ්‍රොයිඩ් ලෙස හැඳින්වේ.
  • ඇඩිනොමයෝසිස් (Adenomyosis). මෙම තත්ත්වයේදී, ගර්භාෂ ආස්තරයේ පටක, ගර්භාෂ බිත්තියේ මාංශ පේශි තුළට වර්ධනය වේ.
  • ශ්‍රෝණි ප්‍රදාහ රෝගය (Pelvic inflammatory disease or PID). කාන්තා ප්‍රජනක පද්ධතියේ අවයව වල ඇතිවන ආසාදනයකි. මෙම ආසාදනය, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (Sexually transmitted diseases or STDs) ඇතිකරන විෂබීජ මගින් මෙන්ම, වෙනත් විෂබීජ මගින්ද ඇතිවිය හැක.
  • ගැබ්ගෙල තානවය හෙවත් ගැබ්ගෙල පටුවීම (Cervical stenosis). මෙහිදී, ඔසප්වීමේදී පිටවන රුධිරයට සහ බිඳීගිය පටක කොටස් වලට ගර්භාෂයෙන් පිටවීමට බාධා ඇතිවන බැවින් ගර්භාෂය තුළ පීඩනය ඉහළ යාමෙන් වේදනාවක් හටගනී.

 

වේදනාකාරී ඔසප්වීම ඇතිවීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද?

  • වයස අවුරුදු 30 ට වඩා අඩු කාන්තාවන්ට.
  • වයස අවුරුදු 11 දී හෝ එයට පෙර වැඩිවිය පැමිණි කාන්තාවන්ට.
  • ඔසප්වීමේදී අධික ලෙස රුධිරය පිටවන කාන්තාවන්ට (Menorrhagia).
  • අක්‍රමවත් ඔසප්වීමක් ඇති කාන්තාවන්ට (Metrorrhagia).
  • දරු උපතක් සිදුකර නොමැති කාන්තාවන්ට.
  • වේදනාකාරී ඔසප්වීම ඇති පවුලේ සාමාජිකයන් සිටින කාන්තාවන්ට.
  • දුම්පානය කරන කාන්තාවන්ට.

 

වේදනාකාරී ඔසප්වීම නිසා ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

සාමාන්‍යයෙන්, වේදනාකාරීව ඔසප්වීම නිසා සංකූලතා ඇති නොවේ. නමුත්, එමගින් පාසලේ වැඩකටයුතු, රාජකාරී කටයුතු, සහ එදිනෙදා කාර්යයන් කරගැනීමට බාධා ඇතිවීම සිදුවිය හැක.

වේදනාකාරීව ඔසප්වීම ඇතිවීමට හේතුවන ඇතැම් අභ්‍යන්තර තත්ත්වයන් නිසා සංකූලතා ඇතිවීම සිදුවිය හැක. උදාහරණ වශයෙන්, එන්ඩොමෙට්‍රියෝසිස් නැමැති තත්ත්වය මගින් මදසරුභාවය ඇතිවිය හැකි අතර, ශ්‍රෝණි ප්‍රදාහ රෝගය නිසා ෆැලෝපීය නාල පළුදු වීම මගින් ගර්භාෂයෙන් පිටත ගැබ්ගැනීම් (Ectopic pregnancies) සිදුවීමට ඇති අවදානම ඉහළ යයි.

 

(ඡායාරූප අනුග්‍රහය: Robert McDonald)

 

සබැඳි ලිපි:

වේදනාකාරී ඔසප්වීමට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
ව්‍යායාම සහ ඔබේ ඔසප් චක්‍රය
අධිකව ඔසප් වීම සිදුවන්නේ ඇයි?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) ගැන දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*