දහඩිය ගඳ ඔබටත් ගැටළුවක්ද?

දහඩිය ගඳ ඔබටත් ගැටළුවක්ද?

ශරීරයෙන් පිටවන ගන්ධයන් අතරින්, දහඩිය ගඳ ප්‍රමුඛ ස්ථානයක් ගනී. එය ප්‍රධාන වශයෙන් කිහිලි සහ ඉකිලි වලින් පිටවන අතර, සමේ අනෙකුත් ස්ථාන වලින් ද මද වශයෙන් පිටවේ. නමුත්, සමාජයේ බහුලවම ගැටළුකාරී වන්නේ කිහිලි වලින් පිටවන දහඩිය ගන්ධයයි. මක්නිසාද, එය ඔබව සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්කිරීමට සමත් වේ.

මිනිස් සමෙහි දහඩිය හෙවත් ස්වේද ග්‍රන්ථි වර්ග දෙකක් පවතී.

මීරොක්‍රයින් ග්‍රන්ථි (Merocrine/Eccrine glands)
බොහොමයක් ස්වේද ග්‍රන්ථි මෙම වර්ගයට අයත් වේ. මෙම ග්‍රන්ථි වලින් ජලය සහ ලුණු සහිත දහඩිය පිටකරන අතර, දේහයේ උෂ්ණත්වය පාලනයට වැදගත් වේ.

ඇපෝක්‍රයින් ග්‍රන්ථි (Apocrine glands)
මෙම ග්‍රන්ථි හිසේ සම, කිහිලි, ඉකිලි, පියයුරු වල තන පුඩුව අවට (ඇරියෝලාව/Areola), සහ නාභිය අවට බහුලව ඇත. ඇපෝක්‍රයින් ග්‍රන්ථි වලින් දහඩිය සමග ස්නෙහය (Sebum) ශ්‍රාවය කෙරේ.

සාමාන්‍යයෙන්, දහඩිය ගන්ධයකින් තොරය. නමුත්, සම මත සිටින බැක්ටීරියා දහඩිය වල ඇති ප්‍රෝටීන් සහ මේදය රසායනිකව බිඳ දමමින් ගන්ධය ඇතිකරයි.

 

දහඩිය ගඳ ඇතිවීමට හේතු

බැක්ටීරියා
සම මත ජීවත් වන Corynebacterium, Staphylococcus epidermidis, සහ Propionibacteria දහඩිය ගඳ ඇතිකිරීමට ප්‍රධාන වශයෙන් හේතුවේ.

ආහාර පාන
සුදුලූණු, දුරු, ලූණු, මාළු, මත්පැන්, කෝපි සහ කැෆේන් (Caffaine) අඩංගු වෙනත් පාන වර්ග, තුන පහ, වෙනත් කුළුබඩු වර්ග, බදින ලද ආහාර, සහ පුලුස්සන ලද (Baked) ආහාර ආදිය දහඩිය ගඳ වැඩිකිරීමට හේතුවේ.

ජාන
ජපාන, චීන, සහ කොරියානු ජාතිකයන් වැනි පෙරදිග ආසියානුවන්ගේ සමෙහි ඇපෝක්‍රයින් ග්‍රන්ථි සංඛ්‍යාව අඩුය. එමනිසා, ඔවුන්ගේ දහඩිය ගඳ පිටවීම අඩුවේ. කිහිලි වල දහඩිය ගඳ ඇතිවීම ABCC11 නැමැති ජානයකින් තීරණය වේ. ඔබගේ කණෙහි වියලි ඉටි (Dry wax) ඇතිවන්නේ නම්, ඔබට කිහිලි වල දහඩිය ගඳ ඇතිවීමට ඇති ඉඩකඩ අඩුවේ. මක්නිසාද, කණෙහි වියලි ඉටි ඇතිවීමට ද ABCC11 ජානය හේතුවේ. ජානමය රෝගයක් වන ට්‍රයිමෙතිල්ඇමයින්යූරියා (Trimethylaminuria) තත්ත්වය ඇති අයගෙන් දහඩිය ගන්ධය වැඩියෙන් පිටවේ. ඒ මෙම රෝගය නිසා ශරීරය තුළ ට්‍රයිමෙතිල්ඇමයින් (Trimethylamine) බිඳ දැමීමට නොහැකිවීම නිසාවෙනි. එමනිසා, මුත්‍රා සමග ට්‍රයිමෙතිල්ඇමයින් පිටවීම ද සිදුවේ.

ඇතැම් කායික රෝග
පහත සඳහන් රෝග නිසා දහඩිය ගන්ධය වැඩියෙන් ඇතිවේ. ඒ දහඩිය පිටවීම වැඩිවන නිසාවෙනි.

  • බ්‍රොම්හයිඩ්‍රෝසිස් (Bromhidrosis) හෝ ඔස්මිඩ්‍රෝසිස් (Osmidrosis) – අධික ගන්ධයක් සහිතව දහඩිය වැඩියෙන් පිටවේ.
  • ඇපෝක්‍රයින් බ්‍රොම්හයිඩ්‍රෝසිස් (Apocrine Bromhidrosis) – ඇපෝක්‍රයින් ග්‍රන්ථි වලින් අධිකව දහඩිය පිටවේ.
  • මානසික ආතතිය සහ සාංකාව (අධික බිය)
  • දියවැඩියාව
  • තරබාරුකම
  • ශරීරය තුළ යූරික් අම්ලය බිඳ හෙලීමේ ක්‍රියාවලිය අකර්මණ්‍ය වීම නිසා ඇතිවන ගවුට් (Gout) නැමැති තත්ත්වය
  • ඇතැම් සන්ධි ප්‍රදාහ හෙවත් ආත්‍රයිටිස් (Arthritis)
  • අක්මා රෝගය
  • වකුගඩු රෝග
  • මළ බද්ධය (Constipation) වැනි ආහාර මාර්ගය ආශ්‍රිත රෝග
  • සින්ක් (Zinc) හෝ මැග්නීසියම් (Magnesium) ඌණතාවය
  • දිළීර ආසාදන
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය හෙවත් අධි තයිරොයිඩතාවය (Hyperthyroidism)

ඇතැම් ඖෂධ සහ රසායන ද්‍රව්‍ය

  • ටොපිරමේට් (Topiramate)
  • මෝෆීන් (Morphine)
  • පැරසිටමෝල් (Paracetamol)
  • පෙරිසයසින් (Pericyasine)
  • දුම්පානය

ස්ත්‍රී පුරුෂ භාවය
කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් සක්‍රීයව කටයුතු කරමින් දහඩිය වැඩියෙන් නිපදවීම නිසා, කාන්තාවන්ට වඩා පිරිමින් අතර දහඩිය ගන්ධය වැඩියෙන් පවතී. නමුත්, ආර්තවාභාවයෙන් (Menopause) පසුව කාන්තාවන්ට දහඩිය දැමීම වැඩිවන බැවින්, ආර්තවාභාවය සිදුවූ කාන්තාවන්ට දහඩිය ගඳ වැඩිපුර ඇතිවීම සිදුවේ.

ජීවන රටාව සහ සනීපාරක්ෂාව
ඔබ දිනපතා ස්නානය නොකරන්නේ නම්, දහඩිය සම මත එකතු වීම නිසා, වැඩිපුර දහඩිය ගඳ ඇතිවේ. කිළිටි ඇඳුම් හෝ වායු සංසරණය හොඳින් සිදුනොවන ඇඳුම් ඇඳීම ද දහඩිය ගඳ වැඩිකරයි.

 

දහඩිය ගඳෙන් ගැලවෙන්නේ කොහොමද?

  • දිනකට දෙවරක් ස්නානය කරන්න.
  • නාන ඔරුවක් හෙවත් බාත්ටබ් (Bathtub) එකක් ඇත්නම්, එයට උණුසුම් ජලය පුරවා තක්කාලි යුෂ කෝප්ප 3 ක් දමා එහි ගිලී සිටින්න. එය ඔබගේ සම මතුපිට සිටින බැක්ටීරියා මර්ධනය කිරීමට හේතුවේ. ඉන්පසුව, බැක්ටීරියා නාශක සබන් (Antibacterial soap) වර්ගයකින් ශරීරය සෝදා හරින්න.
  • ඉකිලි සහ කිහිලි සේදීමෙන් අනතුරුව, පිරිසිදු සහ වියලි තුවායකින් පිස දමන්න. තෙත තුවා භාවිතා කිරීමෙන් වලකින්න.
  • නින්දට යාමට පෙර ඔබගේ කිහිලි හොඳින් සෝදන්න.
  • ඔබගේ කිහිලි වල ඇති රෝම නිතර ඉවත් කරන්න. මක්නිසාද, රෝම මගින් දහඩිය වාෂ්ප වීම වලක්වාලයි.
  • බැක්ටීරියා නාශක (Antibacterial), දුර්ගන්ධ නාශකයක් හෙවත් ඩියොඩොරන්ට් (Deodourant) එකක් කිහිලි වල ආලේප කරන්න. බොහොමයක් ඩියොඩොරන්ට් සුවඳක් ද එක් කරයි.
  • දහඩිය පිටවීම වලකන ඩියොඩොරන්ට් වර්ගයක් (Antiperspirants) නින්දට යාමට පෙර කිහිලි වල ආලේප කරන්න. එවායේ දහඩිය පිටවීම වලකන ඇලුමිනියම් ලවණ (Aluminum salts) අඩංගු වේ. නමුත්, ඔබ භාවිතා කරන වර්ගයෙහි පැරබන් (Paraben) අඩංගු නොවන බව තහවුරු කරගන්න. මක්නිසාද, පැරබන් යනු පිළිකා කාරක රසායන ද්‍රව්‍යයකි.
  • උදෑසන ඔබ රාත්‍රියේ ආලේප කල ඩියොඩොරන්ට් ආලේපන සෝදා හරින්න. ඉන් අනතුරුව, ආසූත සුදු විනාකිරි (Distilled white vinegar), ඇපල් සයිඩර් විනාකිරි (Apple cider vinegar), හෝ විච් හැසල් (Witch hazel) ස්වල්පයක් කිහිලි වල ආලේප කර විනාඩි 3 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
  • ඉරිඟු පිටි (Corn flour or cornstarch) හෝ බේකින් සෝඩා (Baking soda) ස්වල්පයක් කිහිලි වලට ඉස, විනාඩි කිහිපයක් තිබෙන්නට හැර සෝදා හරින්න. ඒවා ගන්ධයට හේතුවන රසායන ද්‍රව්‍ය සහ තෙතමනය උරාගනී.
  • වතුර කෝප්පයකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් (Hydrogen peroxide) තේ හැන්දක් දමා, එයින් කිහිලි සෝදන්න.
  • ඔබේ සමට හානියක් නොවන බැක්ටීරියා නාශක සබන්, ඩියොඩොරන්ට්, සහ දහඩිය දැමීම වලකන ඩියොඩොරන්ට් තෝරා ගන්න.
  • නිතර පිරිසිදු, ඇඟට ලිහිල් වූ, කපු ඇඳුම් අඳින්න. ඒවා ඔබේ දහඩිය හොඳින් උරාගන්නා අතර, ශරීරය වටා හොඳ වායු සංසරණයක් පවත්වා ගනී.
  • ඔබගේ ඇඳුම් නිතර සෝදා පිරිසිදුව තබාගන්න. ඔබගේ ඇඳුම් වලින් දහඩිය ගඳ පිටවේ නම්, පැයක් පමණ බේකින් සෝඩා සමග පෙඟෙන්නට හැර සෝදාගන්න. තෙල් වැනි දහඩිය සහිත ඇඳුම් සඳහා, රෙදි සෝදන විට සුදු විනාකිරි (White vinegar) කෝප්පයක් එකතු කරන්න. සැමවිටම, ඇඳුම් එළිමහනේ වේලෙන්න හරින්න.
  • දහඩිය ගන්ධය වැඩිකරන ආහාර පාන හඳුනාගෙන, හැකිතරම් ඒවා ආහාරයට ගැනීමෙන් වලකින්න. (සුදුලූණු, දුරු, ලූණු, මාළු, මත්පැන්, කෝපි සහ කැෆේන් (Caffaine) අඩංගු වෙනත් පාන වර්ග, තුන පහ, වෙනත් කුළුබඩු වර්ග, බදින ලද ආහාර, සහ පුලුස්සන ලද (Baked) ආහාර ආදිය)
  • දුම්පානය නතර කරන්න.
  • මානසික ආතතිය සහ සාංකාව හෙවත් අධික බිය පාලනය කරගන්න.
  • දහඩිය ගන්ධය වැඩිකරන රෝග වලට නිසි ප්‍රතිකාර ලබාගන්න.
  • දහඩිය ගඳ වැඩිකරන ඖෂධ සහ රසායන ද්‍රව්‍ය භාවිතය අවම කරන්න.
  • දිනපතා ප්‍රමාණවත් අයුරින් ජලය පානය කරන්න (දිනකට වතුර වීදුරු 8 ක් පමණ). මක්නිසාද, ජලය දහඩිය ගන්ධයට හේතුවන විෂ රසායන ද්‍රව්‍ය (Toxins) ශරීරයෙන් ඉවත්කිරීම පහසු කරවයි.
  • මෙම ක්‍රම අනුගමනය කිරීමෙන්, දහඩිය ගඳෙන් ගැලවීමට ඔබට නොහැකි නම්, ඔබේ වෛද්‍යවරයා හෝ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් (Dermatologist) හමුවන්න. ඔවුන් ප්‍රබල දහඩිය පිටවීම වලකන (Antiperspirant) ආලේපනයක් සහ/හෝ අධිකව දහඩිය පිටවීම වලකන ඖෂධ ඔබට නියම කරනු ඇත. ඇතැම්විට, අධි ක්‍රියාකාරී ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය වැලැක්වීමට බොටියුලින් නික්ෂේපන (Botulin injections) විදීම සිදුකල හැක. සමහරවිට, කිහිල්ලෙහි සම ජලයේ ගිල්වා එය හරහා කුඩා විද්‍යුත් ධාරාවක් යැවීමෙන් දහඩිය පිටවීම වැලැක්වීම ද සිදුකරනු ලැබේ. මෙම ක්‍රියාවලිය අයන්ටොපොරෙසිස් (Iontophoresis) ලෙස හැඳින්වේ. ඇතැම්විට, ඔබගේ වෛද්‍යවරයා ප්‍රතිජීවක.’>බැක්ටීරියා නාශක ඖෂධ (Antibiotics), ආලේපන හෝ බොන බෙහෙත් ලෙස නිර්දේශ කරනු ඇත. එමගින්, ඔබගේ කිහිලි වල බැක්ටීරියා වර්ධනය වීම අඩුවේ. ඔබට ඉතා අධිකව දහඩිය දැමීම (Severe hyperhidrosis) ඇත්නම්, ඔබගේ කිහිලි වල ඇති ස්වේද ග්‍රන්ථි සහ දහඩිය දැමීම උත්තේජනය කරන ස්නායු තන්තු කුඩා ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීම ද කල හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: Elvert Barnes)

 

සබැඳි ලිපි:

මුඛයෙන් දුගඳක් පිටවීම ඔබටත් ගැටළුවක්ද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දහඩිය ගඳ ඔබටත් ගැටළුවක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*