අධිකව ඔසප් වීම සිදුවන්නේ ඇයි?

අධිකව ඔසප් වීම සිදුවන්නේ ඇයි?

සාමාන්‍යයෙන්, බොහොමයක් කාන්තාවන්ට තම ඔසප් වීම සිදුවීමේදී වැඩිපුර රුධිරය වහනය වීම සහ මද වේදනාවක් හටගැනීම සිදුවන දිනක් හෝ දින කිහිපයක් පවතිනු දැකිය හැක. නමුත්, අධිකව ඔසප් වීම (Menorrhagia) සුලබව හටගන්නා තත්ත්වයක් නොවේ. මෙම අධිකව ඔසප් වීම, ආර්තවරීතය හෙවත් ප්‍රදරය ලෙසද හඳුන්වනු ලැබේ.

ඔබටත් මෙම ගැටළුව පවතිනවා නම්, ඇතැම් විට පැයකට වරක් සනීපාරක්ෂක තුවායක් මාරු කිරීමට තරම් රුධිර වහනය අධිකව සිදුවන අවස්ථා ඇති බවට ඔබට අත්දැකීම් තිබිය හැක. ඇතැම් විටෙක, ඔබේ එදිනෙදා කටයුතු වලට බාධා වන තරම් වේදනාවක් ද ඒ සමග ඇතිවිය හැක. ඇතැම් සෞඛ්‍ය තත්ත්ව සහ රෝග හේතුවෙන් අධිකව ඔසප් වීම ඇතිවිය හැකි අතර, අධිකව ඔසප් වීම නිසාද සංකූලතා හටගැනීම සිදුවේ. කෙසේ වුවත්, ඔබට අධික ලෙස ඔසප් වීම පවතිනවා නම්, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ.

රෝග ලක්ෂණ

ඇතැම් කාන්තාවන්ට වැඩිවිය පැමිණීමෙන් පසුව සිදුවන සෑම ඔසප් වීමක්ම අධිකව සිදුවනු දැකිය හැක. සමහර අයට අධිකව ඔසප් වීම ආරම්භ වන්නේ වසර ගණනාවක්ම සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදුවූ පසුවය.

කෙසේ වුවත්, ඔබට අධිකව ඔසප් වීම ඇත්නම්, විශේෂයෙන්ම එම ගැටළුව හටගැනීම මෑතකදී සිදුවූයේ නම්, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීම කළ යුතුය. දිගු කලක් තිස්සේ අධික ලෙස ඔසප් වීම සිදුවීමෙන් රක්තහීනතාවය හටගැනීම සිදුවිය හැක. රක්තහීනතාවය හටගැනීමත් සමග ශරීරය දුර්වල වීම, වෙහෙසකර බව, ඉක්මනින් හති වැටීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.

අධික ලෙස ඔසප් වීමත් සමග පහත ලක්ෂණ ඇත්වීම දැකිය හැක.

  • දවස පුරා පැයකට වරක් සනීපාරක්ෂක තුවාය මාරු කිරීමට සිදුවීම හො නිතර එසේ කිරීමට සිදුවීම.
  • රාත්‍රිය මැද නින්දෙන් අවදි වී සනීපාරක්ෂක තුවාය මාරු කිරීමට සිදුවීම.
  • අධික ලෙස ඔසප් වීම හේතුවෙන් එකවර සනීපාරක්ෂක තුවා දෙකක් භාවිතා කිරීමට සිදුවීම.
  • වේදනාකාරී වීම සහ අධික ලෙස රුධිර වහනය වීම නිසාවෙන් එදිනෙදා වැඩ කටයුතු වලට බාධා සිදුවීම.
  • විශාල කැටි ලෙස රුධිරය වහනය වීම.
  • ඇතැම් විට, දින හතකට වඩා අධිකව රුධිරය වහනය වීම සිදුවිය හැක.
  • වෙහෙසකාරී බවක් දැනීම හෝ හුස්ම ගැනීමට අපහසු වීම.
  • ඔසප් චක්‍ර දෙකක් අතර රුධිර වහනය වීම.
  • ආර්තවාභාවයෙන් (Menopause) පසුව රුධිරය වහනය වීම.

අධිකව ඔසප් වීම සිදුවීමට හේතු

අධික ලෙස ඔසප් වීම සඳහා හේතු ගණනාවක් පවතී. ඒ අතරින් බහුලව දක්නට ලැබෙන හේතූන් පහත පරිදි දැක්විය හැක.

  • හෝමෝන අසමතුලිතතා

සාමාන්‍යයෙන්, සෑම මාසයකදීම ගර්භාෂයේ ඇතුළත ආස්තරය (Endometrium) වර්ධනය වන අතර, ඉන්පසුව ඔසප් වීමේදී බිඳ වැටී රුධිරය සමග ගලායාම සිදුවේ. ඔබේ සිරුරේ හෝමෝන අසමතුලිත වුවහොත්, මෙම ආස්තරය පමණට වඩා ඝනකම් වීමෙන්, ඔසප් වීම සමග අධිකව රුධිර වහනය වීම සිදුවිය හැක. එමෙන්ම, ඔබගේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මෝචනය (Ovulation) සිදු නොවේ නම්, හෝමෝන අසමතුලිතතා ඇතිවිය හැකි අතර, එමගින් ද ගර්භාෂ ආස්තරය අසාමාන්‍ය ලෙස ඝනකම් වී අධික ලෙස ඔසප් වීම සිදුවිය හැක.

  • ගර්භාෂයේ ගැටිති හෝ ගෙඩි වර්ධනය වීම

ගර්භාෂ ආස්තරය තුළ polyp නැමැති වර්ධනය වීම් ඇතිවිය හැක. එමෙන්ම, ගර්භාෂයේ තන්ත්වාභ හෙවත් ෆයිබ්‍රොයිඩ් (Fibroid) නැමැති පිළිකාමය නොවන ගෙඩි හටගැනීම සිදුවන අවස්ථා පවතී. මෙම අවස්ථා දෙකෙහි දීම අධිකව ඔසප් වීම සිදුවන අතර, වැඩි දින ගණනක් ඔසප් වීම ද සිදුවිය හැක.

  • අන්තර් ගර්භාෂිත තැන්පතුව (Intra-uterine contraceptive device or IUCD) හෙවත් ලූපය

පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස භාවිතා කරන අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය නිසා ද අධික ලෙස ඔසප් වීම සිදුවිය හැක. විශේෂයෙන්, හෝමෝන අන්තර්ගත වන ලූපයන් නිසා අධිකව ඔසප් වීම සිදුවීමට වැඩි හැකියාවක් පවතී.

  • ගර්භණීභාවය ආශ්‍රිත ගැටළු

කලාතුරකින්, ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වීමෙන් හටගන්නා යුක්තාණුව සාමාන්‍ය පරිදි ගර්භාෂ කුහරය තුළ රෝපණය නොවී ඉන් පිටත රෝපණය වීම (Implantation) සිදුවිය හැක. මෙය ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමක් (Ectopic pregnancy) ලෙස හඳුන්වනු ලැබේ. මෙම තත්ත්වය නිසා කිසි විටෙක සජීවී ගැබ් ගැනීමක් සිදුවීමට නොහැකි අතර, බරපතළ සංකූලතා ඇතිවිය හැක. ඉන් එක සංකූලතාවයක් ලෙස යෝනි මාර්ගයෙන් අධික ලෙස රුධිර වහනය වීම සිදුවිය හැකි අතර, එය අධිකව ඔසප් වීමක් ලෙස වරදවා වටහා ගැනීමට ඉඩ ඇත. එමෙන්ම, ගබ්සා වීමකදී ද අධික ව රුධිර වහනය වීම සිදුවිය හැක.

  • ඇතැම් පිළිකා

කලාතුරකින්, ගර්භාෂයේ, ගැබ්ගෙලෙහි, හෝ ඩිම්බ කෝෂ වල හටගන්නා ඇතැම් පිළිකා හේතුවෙන් ද අධික ලෙස රුධිර වහනය වීම සිදුවේ. එවන් අවස්ථා වලදී ද අධික ලෙස ඔසප් වන ආකාරයට රුධිරය ගැලීම දැකිය හැක.

  • රුධිර වහන රෝග (Bleeding disorders)

කලාතුරකින්, පරම්පරාවෙන් පරම්පරාවට හටගන්නා රුධිර වහන රෝග හේතුවෙන් කුඩා තුවාළයක් හෝ කැපුමක් සිදුවුවද, රුධිරය ගැලීම නතර කිරීම අපහසු වනු දැකිය හැක. එවැනි රෝග පවතින කාන්තාවන්ට, අධික ලෙස ඔසප් වීම සහ වැඩි දින ගණනාවක් ඔසප් වීම ඇතිවේ.

  • ඇතැම් ඖෂධ

රුධිරය කැටි ගැසීම අඩුකිරීම සඳහා ලබාදෙන ඇස්පිරින් (Aspirin), ක්ලොපිඩොග්‍රල් (Clopidogrel) වැනි ඖෂධ නිතිපතා භාවිතා කරන අයට ද අධිකව ඔසප් වීම ඇතිවිය හැක. එමෙන්ම, ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (Non-steroidal anti-inflammatory drugs or NSAIDs) ගන්නා විටද අධික ලෙස ඔසප් වීම සිදුවිය හැක.

  • ඇතැම් රෝග

පහත දැක්වෙන රෝග පවතින කාන්තාවන්ට අධික ලෙස ඔසප් වීම හටගැනීම සිදුවිය හැක.

රෝග නිර්ණය කරන්නේ කෙසේද?

ඔබේ වෛද්‍යවරයා රෝග ඉතිහාසය පිළිබඳව විමසනු ඇත. මෙහිදී, ඔබට පවතින රෝග ලක්ෂණ විස්තරාත්මකව පැවසීමට අවශ්‍ය වේ. ඉන් අනතුරුව, ඔබේ වෛද්‍යවරයා ශාරීරික පරීක්ෂාවක් සිදුකරන අතර, අතිධ්වනි තරංග ස්කෑන් පරීක්ෂාවක් (Ultrasound scan), පැප් පරීක්ෂාවක් (PAP smear test), සහ රුධිර පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට නිර්දේශ කරනු ඇත. ඇතැම් අවස්ථා වලදී ඔබේ ගර්භාෂ ආස්තරයෙන් කුඩා පටක කැබැල්ලක් ගෙන පරීක්ෂාවක් සිදුකිරීමට ද නිර්දේශ කෙරේ. මෙසේ වෙනත් රෝග තත්ත්වයන් පවතිනවා දැයි එකින් එක පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ඔබේ වෛද්‍යවරයාට අධික ලෙස ඔසප් වීමට හේතුව හඳුනා ගැනීමට හැකියාව ලැබේ.

අධික ලෙස ඔසප් වීම සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?

ඔබේ වෛද්‍යවරයා අධික ලෙස ඔසප් වීම සුව කිරීම සඳහා පහත සඳහන් ප්‍රතිකාර ක්‍රම යොදාගනු ඇත.

  • පවුල් සැලසුම් ක්‍රම

පවුල් සැලසුම් පෙති ගැනීමෙන් සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකි අතර, එමගින් අධික ලෙස ඔසප් වීම වැළකේ. ඇතැම් විට, හෝමෝන නිකුත් කරන අන්තර් ගර්භාෂිත තැන්පතුවක් හෝ ලූපයක් තැන්පත් කිරීමෙන් ද අධිකව ඔසප් වීම සමනය වේ.

  • ඖෂධ

ඇතැම් විට, ඔබේ වෛද්‍යවරයා ඔසප් වීමේදී රුධිරය වහනය වීම අඩුකිරීම සඳහා ඖෂධ නිර්දේශ කරනු ඇත. මෙම ඖෂධ ලබාගත යුත්තේ ඔසප් වීම සිදුවන කාලය තුළදී පමණි.

  • ශල්‍යකර්ම

ඔබගේ ගර්භාෂයේ polyp හෝ ෆයිබ්‍රොයිඩ් වැනි ගෙඩි පවතිනවා නම්, ශල්‍යකර්මයක් ආධාරයෙන් ඉවත් කිරීම හෝ ඒවා හැකිලීමට සැලැස්වීම සිදුකරනු ලැබේ. එමගින්, අධික ලෙස ඔසප් වීමට නැවතීමේ තිත තැබිය හැක.

  • ගර්භාෂ ආස්තරය ඉවත් කිරීම.

ගර්භාෂ ආස්තරය ඉවත් කිරීමට විවිධ ක්‍රම පවතී. එයින් සරළම ක්‍රමය වන්නේ ගැබ්ගෙල විස්තාරණය කර සිහින් උපකරණයක් අධාරයෙන් ගර්භාෂ ආස්තරය සූරා ඉවත් කිරීමයි (Dilation and curettage or D&C). මෙහිදී, ගර්භාෂ ආස්තරයේ පිටතින්ම පවතින පටක ස්ථර පමණක් ඉවත් කරන අතර, බොහෝ විට අධික ලෙස ඔසප් වීම නතර කිරීමට එය ප්‍රමාණවත් වේ. නමුත්, ඇතැම් කාන්තාවන්ට මෙම ක්‍රමවේදය එක් වතාවකට වැඩි වාර ගණනාවක් කිරීමට සිදුවන අවස්ථා පවතී.

ස්ථිර වශයෙන්ම ගර්භාෂ ආස්තරය ඉවත් කිරීම හෝ විනාශ කරන endometrial ablation සහ endometrial resection වැනි ක්‍රමවේදයන් ද පවතී. ඒවා සිදුකිරීමෙන් අනතුරුව අධික ලෙස ඔසප් වීම පහව යයි. නමුත්, මෙම ක්‍රමවේදයන්ට පසුව ගැබ්ගැනීමට උත්සාහ නොකළ යුතුවේ. එමෙන්ම, පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කිරීම ද කළ යුතුය.

  • ගර්භාෂය ඉවත් කිරීම

දරුණු ලෙස අධිකව ඔසප් වීම සිදුවන ඇතැම් අවස්ථා වලදී අවසන් උපක්‍රමය ලෙස ගර්භාෂය ඉවත් කිරීම සිදුකරයි. මෙය යෝනි මාර්ගය ඔස්සේ සිදුකරන සැත්කමක් ලෙසද කළ හැක. නමුත්, වර්තමානයේ විශාල කැපුමක් නොයොදා සිදුකළ හැකි ක්‍රමවේදයන් පවතින බැවින්, සංකූලතා අවම වන පරිදි, රෝහල්ගත වී සිටීමට අවශ්‍ය දින ගණන අවම වන පරිදි ගර්භාෂය ඉවත් කිරීමට හැකියාව ඇත. ඉන් එක් ක්‍රමයක් වන්නේ උදර බිත්තියේ ඉතා කුඩා සිදුරු 4 ක් ඔස්සේ සිහින් කැමරාවක් සහිත උපකරණ කිහිපයක් ඇතුළු කර ලැපරොස්කොපික් ක්‍රමයට (Laparoscopic hysterectomy) සිදුකිරීමයි. කෙසේ වුවත්, ගර්භාෂය ඉවත් කිරීමෙන් පසුව යලි ඔසප් වීම සිදුනොවන අතර, ගැබ්ගැනීමට ඇති හැකියාව අහිමි වේ.

(ඡායාරූප අනුග්‍රහය: Mislav Marohnić)

සබැඳි ලිපි:

වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) ගැන දැනගනිමු.
වේදනාකාරී ඔසප්වීමට ප්‍රතිකාර කරන්නේ කෙසේද?
ව්‍යායාම සහ ඔබේ ඔසප් චක්‍රය

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අධිකව ඔසප් වීම සිදුවන්නේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*