අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ඉඟි 32 ක්

අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ඉඟි 32 ක්

අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම යනු සැබැවින්ම අභියෝගයක්. ඒ නිසාවෙන්ම, බොහොමයක් දෙමව්පියන්, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළම තලයකට ගෙන ඒමට විශාල වෙහෙසක් ගන්නා ආකාරය දකින්නට පුළුවන්. අධ්‍යාපන කටයුතු වල සැලකිය යුතු සාර්ථකත්වයක් ඇතිකරගැනීමට පහතින් දක්වා ඇති ඉඟි අනුගමනය කිරීම ඉවහල් වියහැකි අතර, ඒවා ක්‍රමානුකූලව තම අධ්‍යාපන රටාවට එකතුකර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවනු නිසැකය.

  • මුළින්ම, හොඳ කාලසටහනක් සාදාගන්න.
  • සැමවිටම, පාඩම් කිරීම සඳහා ඔබේ මනස අවදියෙන් සිටින වෙලාවක් තෝරාගන්න.
  • පාඩම් කරන කාලය වැඩිවූ පමණින්, අධ්‍යාපන කටයුතු සාර්ථක වේයැයි සිතන්න එපා. ඔබ පාඩම් කරන කාලය තුළ ඔබගේ කාර්යක්ෂමතාවය, අධ්‍යාපන කටයුතු වල සාර්ථකභාවය තීරණය කරයි.
  • පාඩම් කිරීම සඳහා, බාධා අවම වන නිස්කලංක තැනක් තෝරාගන්න. එහි හොඳින් වාතාශ්‍රය පැවතීමද වැදගත් වේ.
  • ඔබේ පාඩම් කරන මේසය මත, පොත්පත් සහ වෙනත් භාණ්ඩ පුරවාගන්න එපා. එම අවස්ථාවේදී, පාඩම් කිරීමට අත්‍යාවශ්‍ය වන පොත්පත් සහ ලිපිද්‍රව්‍ය ප්‍රමාණය පමණක් මේසය මත තබාගන්න. නැතහොත්, එය මනසට පීඩාකාරී වියහැකි බැවින්, මානසික ආතතිය වැඩිවී මතක තබාගැනීමේ හැකියාව අඩුවේ.
  • ඔබ පාඩම් කරන පරිසරය තුළ හොඳින් ආලෝකය පැවතීම වැදගත් වේ. රාත්‍රී කාලයේ පාඩම් කරන විට, ඔබේ ඇසට අපහසුවක් ඇතිනොකරන වර්ණයක් සහ දීප්තියක් ඇති බල්බයක් භාවිතා කරන්න. මේ සඳහා හොඳින්ම ගැලපෙන්නේ, LED හෝ CFL බල්බ් ය. බල්බයෙන් නිකුත්වන වර්ණය, දීප්තිමත් සුදු පැහැයේ සිට ස්වභාවික දිවා ආලෝකය දක්වා පරාසය තෝරාගන්න. එහි වර්ණ පරාසය 4000K සිට 6500K (කෙල්වින් 4000-6500) දක්වා අගයක් ගනී. ඔබගේ ලිවීමට හුරු අතට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ආලෝකය පැමිණෙන සේ ආලෝක ප්‍රභවය සකස්කිරීමෙන්, අතේ සෙවනැල්ල පොත මත පතිතවීම වැළකේ.
  • පුටුව මත කොන්ද සෘජුව තබාගෙන ඉඳගන්න. ඉදිරියට නැවී හෝ පිටුපසට ඇලවී පාඩම් කිරීමෙන්, ශරීරයේ වේදනා හටගැනීම නිසා පාඩම් කිරීමට බාධා ඇතිවේ.
  • පාඩම් කරන විට, ඔබගේ සටහන් ඇසේ සිට අවම වශයෙන් සෙන්ටිමීටර් 25 ක් වත් දුරින් තබාගන්න. එමගින්, ඇස් විඩාවට පත්වීම අවම වන බැවින්, ඇස්වල වේදනාව හෝ හිසරදය ඇතිවීම අවම වේ.
  • සැමවිටම, හොඳ මානසික ඒකාග්‍රතාවයක් පවත්වා ගැනීම වැදගත් වේ.
  • මුළින්ම, ඔබේ සටහන් උඩින් පල්ලෙන් කියවා, දෙවනුව ගැඹුරින් අධ්‍යයනය කිරීම මගින්, මතකය වැඩිදියුණු වේ.
  • පාඩම් කරන අතර, තමාටම පමණක් ඇසෙන සේ සෙමෙන් කියවන්න.
  • සටහන් වල ඇති වැදගත් කරුණු යටින්, පැන්සලකින් ඉරි අඳින්න.
  • වැදගත් කරුණු කෙටි සටහන්, රූප සටහන්, වගු, සහ ප්‍රස්තාර ලෙස සුදු පැහැති කඩදාසි වල සටහන් කරගන්න. එම කඩදාසි වල පළල අඩුවන සේ සකස් කරගන්න. එමගින්, නැවත කෙටි සටහන් පාඩම් කිරීමේදී, ඇස එක පේලියක ගමන් කරන දුර අඩුවන බැවින්, ඔබේ ඇස් ඉක්මනින් විඩාවට පත්වීම අවම වේ.
  • කෙටි සටහන් ලිවීම සඳහා, වර්ණ කිහිපයක පෑන් භාවිතා කරන්න. එමගින්, නැවත සටහන් කියවීමේදී, ප්‍රියමනාප බවක් ඇතිවේ.
  • පාඩම් කරන අතරතුර, ප්‍රමාණවත් පරිදි විවේක ගන්න. සෑම පැයකටම වරක්, විනාඩි 5 ක කාලයක් දුරින් ඇති යමක් දෙස බලාසිටින්න. එමගින්, ඇස් විඩාවට පත්වීම අවම වේ.
  • පාඩම් කිරීමෙන් අනතුරුව, වැදගත් සෑම කරුණක්ම සටහන් වී ඇතිදැයි ඔබගේ කෙටි සටහන්, පොත් සමග පරීක්ෂා කරන්න. එසේ නැතහොත්, මගහැරී ඇති කරුණු නැවත සටහන් කරගන්න.
  • පාඩම් කරන කාලය තුළ, නිතර විෂයයන් වෙනස් කරමින් පාඩම් කරන්න. එමගින්, ඔබේ සිත විඩාවට පත්වීම අවම වේ.
  • ඔබේ කෙටි සටහන්, මාතෘකා සහ විෂයයන් අනුව වෙන්කර තබාගන්න.
  • එක් මාතෘකාව බැගින් තෝරාගෙන, එය යටතේ ඇති පසුගිය විභාග ප්‍රශ්න වලට හැකිතරම් පිළිතුරු සපයන්න. ඒවා නියමිත කාලය තුළ කිරීමට වගබලා ගන්න.
  • ප්‍රමාණවත් පරිදි ආහාර ගැනීම සහ ජලය පානය කිරීමද වැදගත් වේ.
  • නිතරම, ඔබගේ කෙටි සටහන් නැවත නැවත කියවන්න.
  • සැමවිටම, අලුතින් පාඩම් කරන කරුණු, පැරණි මතකය සමග සම්බන්ධ කරන්න.
  • ඔබගේ පාඩම් කරන ස්ථානයේ ඇති බිත්තියෙහි, නිතර දැකගැනීමට හැකිවන අයුරින් වැදගත් රූපසටහන්, සූත්‍ර, සහ නියමයන් අලවා තබන්න.
  • මතකය වැඩිදියුණු කරගැනීමට නම්, ප්‍රමාණවත් පරිදි නිදාගැනීමද ඉතා වැදගත් වේ. එමනිසා, දිනකට අවම වශයෙන් පැය හයක් වත් නිදාගන්න. දිනපතාම නිදාගැනීමට මොහොතකට පෙර, එදින පාඩම් කල වැදගත් කරුණු නැවත මෙනෙහි කරන්න. වැදගත් කරුණු, දිගුකාලීන මතකයට ඇතුළු වන්නේ, ඔබ නින්දෙහි පසුවන විටදී බැවින්, ප්‍රමාණවත් පරිදි නිදාගැනීම මෙන්ම, නින්දට මොහොතකට පෙර පාඩම් කල වැදගත් කරුණු නැවත මෙනෙහි කිරීමද ඉතා වැදගත් වේ.
  • විභාගය ආරම්භ වීමට සැලකිය යුතු කාලයකට පෙර, අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන්, මානසික ආතතිය අවම කරගත හැක.
  • වැදගත් පාඩම්, අන් අය සමග සාකච්ඡා කිරීමට හෝ අනෙක් අයට පැහැදිලි කිරීමට පසුබට වෙන්න එපා. එමගින්, ඔබේ මතකය වැඩිදියුණු වන බව මතකයේ තබාගන්න.
  • යම් ප්‍රමාණයකට මානසික ආතතිය පැවතීම, අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ඉවහල් වේ. නමුත්, අධික මානසික ආතතිය, ඔබේ මතකයට හානිකර වියහැක. එමනිසා, මානසික ආතතිය පාලනය කරගන්න.
  • වරින් වර, චෙස් හෝ සුදෝකු වැනි ක්‍රීඩාවක නියැලෙමින්, ඔබේ මනසටම අභියෝග කරගන්න.
  • සංගීතයට සවන්දීම, ඇවිදීම වැනි ඔබ කැමති ක්‍රියාකාරකමක නියැලෙමින් මනස සංසුන් කරගන්න.
  • පාඩම් කරන කාලය තුළ, මුළුගැන්වී සිටින්නට එපා. පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමග ගතකිරීමටත් වෙලාව වෙන්කර ගන්න.
  • හැකි සෑමවිටම, පරණ මතකයන් නැවත සිහියට ගන්න. එකම කාලයක මතකයට ඇතුළු වූ කරුණු තැන්පත් වන්නේ, ඔබේ මතකය තුළ ආසන්න ප්‍රදේශ වලය. එමනිසා, පැරණි මතකයන් නැවත සිහියට ගැනීමෙන්, එම කාලසීමාවේදී පාඩම් කල කරුණු, මතකයට නැගීම පහසු වේ.
  • සැමවිටම, ඔබේ ඉලක්කයට ලඟාවිය හැකියැයි ධනාත්මකව සිතන්න.

සරළව පවසනවා නම්, යමක් මතක තබාගැනීමට අවශ්‍ය වන්නේ, එම කරුණ සමග සක්‍රීයව සම්බන්ධ වීම සහ එය නැවත නැවත සිහිකිරීම හෝ පුනරීක්ෂණය කිරීමයි.

 

(ඡායාරූප අනුග්‍රහය: Ignas Kukenys)

 

සබැඳි ලිපි:

ඔබගේ මතකය ගැන මදක් දැනගනිමු.
ඔබේ මතකය වැඩිදියුණු කරගන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

3 Comments on "අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ඉඟි 32 ක්"

  1. H.A.S.Gihani Perera | December 13, 2017 at 5:58 am | Reply

    I think this is Best tips for students, and i got this, thanks Doctor Nalaka.

  2. පාඩම් කරන කාලය තුලදී මොළයට ප්‍රමානවත් නින්දක් තිබීමත් අවශයි. ඒ වගේම Feynman Technique, pomodoro technique, mind mapping technique වගේ සංකල්පත් යොදා ගත්තොත් ඉගෙනීමේ කරුණු මතක තබා ගැනීම ඉතාමත් පහසුයි.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*