ඔබේ මතකය වැඩිදියුණු කරගන්නේ කෙසේද?

ඔබේ මතකය වැඩිදියුණු කරගන්නේ කෙසේද

ඔබේ මතකය, සංවේදන, කෙටිකාලීන, සහ දිගුකාලීන මතකයන් ලෙස කොටස් තුනකට බෙදෙන බවත්, එම කොටස් තුනෙහි ක්‍රියාකාරීත්වය සම්බන්ධව සරළ පැහැදිලි කිරීමකුත් පසුගිය ලිපියකින් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ, ඔබේ මතකය වැඩිදියුණු කරගන්නේ කෙසේද යන්නයි. මතකය සැලකිය යුතු ලෙස වැඩිකරගැනීමට යම් යම් ක්‍රමවේදයන් භාවිතා කල හැකියි. මතකය කාර්යක්ෂම කරගැනීමට නම්, මතකය හා සබැඳි “R” අකුරු තුන අමතක කරන්න බැහැ.

  • Reception (ප්‍රතිග්‍රහණය)
  • Retention (ධාරණය කරගැනීම)
  • Recollection (මතකයට නැගීම)

 

ප්‍රතිග්‍රහණය (Reception)

ප්‍රතිග්‍රහණය කරගැනීමේදී, අවධානයෙන් සහ පරීක්ෂාකාරීව සිටීම කල යුතුවේ. ඔබ ඉගෙනගන්නවා නම්, ඔබේ ගුරුවරයා උගන්වන දේවල් හොඳින් අසා සිටීම, අවධානයෙන් පොත් කියවීම වැනි දේවල් මෙයට ඇතුලත් වේ. එසේ කිරීමෙන්, ඔබට වැදගත් තොරතුරු පහසුවෙන් ප්‍රතිග්‍රහණය කරගැනීමට හැකියාව ලැබේ. මෙහිදී, හැකිතරම් ඔබේ සංවේදන ඉන්ද්‍රියයන් සියල්ලම පාහේ භාවිතයට ගැනීම වැදගත් වේ. උදාහරණ වශයෙන්, ගුරුවරයෙක් උගන්වන සහ පොතක් පාඩම් කරන අවස්ථා ගත හැකියි. ගුරුවරයා උගන්වන අවස්ථා වලදී, සාවධානව අසා සිටීම, ඔහු හෝ ඇය ලියන දේවල් හොඳින් නැරඹිම, සහ අත්‍යාවශ්‍ය කරුණු සටහන් කරගැනීම කලහැකි අතර, එහිදී ඔබේ ඇස්, කන්, සහ අතේ ස්නායු හා මාංශ පේශි සක්‍රීය වේ. පොතක් පාඩම් කිරීමේදීද, පොතෙහි ඇති වාක්‍ය තමාටම ඇසෙන සේ සෙමෙන් කියවමින්, අත්‍යාවශ්‍ය කරුණු කෙටි සටහන් ලෙස ලියාගනිමින් පාඩම් කිරීම වැදගත් වේ. එවිට, ඔබේ ඇස්, කන්, උගුරෙහි හා මුඛයේ මාංශ පේශි, සහ අතේ මාංශ පේශි සක්‍රීයව සහභාගී වේ. මෙහිදී සිදුවන්නේ, ඔබේ ස්නායු පද්ධතියට ලැබෙන ආදානයන් ගණන පුළුල් වන බැවින්, වැදගත් තොරතුරු දිගුකාලීන මතකයේ තැන්පත්වීම කාර්යක්ෂමව සිදුවීමයි. ඔබට යමක් අපැහැදිලි හෝ තේරුම් ගැනීමට අපහසු නම්, සැමවිටම ප්‍රශ්න අසන්න. නැතහොත්, මතුවන ගැටළු වලට පිළිතුරු සෙවීම සඳහා වැඩිදුර අධ්‍යයනය කරන්න. යම් සටහනක් ගැඹුරු ලෙස පාඩම් කිරීමට පෙර, සාමාන්‍යයෙන් හෙවත් උඩින් පල්ලෙන් බැලීමෙන්, මතකය වැඩිදියුණු වෙන බව සොයාගෙන ඇත.

 

ධාරණය කරගැනීම (Retention)

මතකයේ තබාගන්නවා යැයි සිතා, ඔබේ සිත එකඟ කරගන්න. යමක් ධාරණය කරගැනීම සඳහා මානසික ඒකාග්‍රතාවය ඉතා වැදගත් සාධකයකි. ඔබගේ හැකියාවන් හඳුනාගෙන, ඒවාට අනුව ඉලක්කයන් සාදාගන්න. එම ඉලක්කයන් කරා ලඟාවීමට, ඔබගේ මනස උනන්දු කරන්න සහ පොළඹවන්න. සටහන් කියවන අතරතුර, වැදගත් කරුණු යටින් ඉරි ඇඳීම හෝ වර්ණ ගැන්වීම (Highlight) සහ වෙනත් කොලයක සටහන් කරගැනීම මගින්, උද්‍යෝගිමත් කියවන්නෙක් (An active reader) වීම වැදගත් වේ. ඔබේ සටහන් එක්වරක් නොව, කිහිප වාරයක් නැවත නැවත බලන්න. වැදගත් කරුණු හොඳින් ධාරණය වීමට නම්, කෙටි සටහන විනාඩි 20 ක් තුළ සහ පැයකට පසුව නැවත බැලීම ඉතා වැදගත්ය. එමෙන්ම, එම කෙටි සටහන දිනපතා සතියක කාලයක් සහ ඉන් පසුව මාසයක් තුළ නැවත බැලීමද කල යුතුය. මෙසේ කිරීමෙන්, ධාරණය වීම වඩාත් කාර්යක්ෂම වනබව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. හැකි සෑමවිටකම, ඔබේ සටහන් ඔබට පමණක් ඇසෙන සේ හඬ නගමින් කියවන්න. එවිට, ඔබේ ඇස්, කන්, සහ උගුරේ ස්නායු හා මාංශ පේශි සක්‍රීයව සම්බන්ධ වන බැවින්, කරුණු මතකයේ රැඳීම වැඩිවේ. එමෙන්ම, ඔබට නියම කරන ලද ගෙදර වැඩ සහ පැවරුම් සියල්ල කිරීමද වැදගත් වේ. මතකය වැඩිකරගැනීම සඳහා මතකය වැඩිකරන ආධාරක (Memory aids) ද, භාවිතා කලහැක.

 

මතකයට නැගීම (Recollection)

විභාගයකට පෙර, ඔබගේ සටහන් නිසි අයුරින් සකස්කර ගන්න (Organize). එහිදී, වැදගත් මාතෘකා ලැයිස්තුවක් සාදාගැනීමට අමතක නොකරන්න (List). විභාගයකට පෙර, කරුණු මුළුමනින්ම පුනරීක්ෂණය කිරීම (Review) සඳහා, දිනකට පැය 2-3 ක් බැගින් වූ නිශ්චිත කාල රාමුවක් වෙන්කර ගැනීමෙන්, මතකයට නැගීම වඩාත් පහසු වනු ඇත. කෙසේ වුවත්, අධ්‍යයනය කිරීමේදී, විවේක කාලයන් ලබාගැනීමද අත්‍යාවශ්‍ය වේ. මක්නිසාද, අතරින් පතර විවේක ගැනීමෙන්, ඔබේ මනස විඩාවට පත්වීම අවම වන අතර, එමගින් මතකය වැඩිදියුණු වේ (Rest). ඔබ කරුණු සටහන් කරගැනීමට භාවිතා කල රූප සටහන්, වගු, ප්‍රස්තාර, වැදගත් කරුණු සටහන් කල කාඩ්පත් (Flash cards) ආදිය නැවත බැලීමෙන්, මතකයට නැගීම වඩාත් පහසු වේ (Visualize). අධ්‍යයන කටයුත්තක් ලෙස, විභාග අභ්‍යාස (Practice tests) යොදාගැනීමද කලහැක. මේ සඳහා, අනුමාන ප්‍රශ්න, පැරණි විභාග ප්‍රශ්න මෙන්ම, ඔබ විසින්ම සකස්කරගත් ප්‍රශ්න වලටද පිළිතුරු සෙවීම කලහැක. මෙම ක්‍රියා පටිපාටිය, නිසි අයුරින් පුරුදු වුවහොත්, වැදගත් කරුණු මතකයට නැගීම තවදුරටත් ගැටළුවක් නොවනු ඇත.

 

මතකය සඳහා ආධාරක (Memory aids)

ඔබගේ මතකය වැඩිකරගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කලහැක. එයින් පළමුවැන්න වන්නේ, මතක ආධාරක උපක්‍රම (Mnemonics) භාවිතා කිරීමයි. එයට හොඳම උදාහරණය වන්නේ, දිශාවන් (උතුර, ඊසාන, නැගෙනහිර, ගිණිකොන, දකුණ, නිරිත, බස්නාහිර, වයඹ ) මතක තබාගැනීමට, කුඩා කාලයේදී භාවිතා කරන ලද “උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්” යන කවියයි. මෙසේ, වැදගත් කරුණු ගණනාවක් මතක තබාගැනීම සඳහා ඒවා කවියකට හෝ පද කිහිපයකට සම්බන්ධ කල හැක.

තවත් උපක්‍රමයක් වන්නේ, සම්බන්ධ කිරීමයි (Associate). සැමවිටම, ඔබ මතක තබාගැනීමට උත්සාහ කරන කරුණු, ඔබ දැනටමත් දන්නා ඒවාට සමාන හෝ ඒවා ආශ්‍රිත කරුණු සමග සම්බන්ධ කරන්න නැතහොත්, සම්බන්ධ කරමින් සිතන්න.

අනෙක් උපක්‍රමය ලෙස බැලීම (Visualize) දැක්විය හැක. වැදගත් කරුණු රූපසටහන්, ප්‍රස්තාර, වගු, සූත්‍ර ආදී ලෙසින් සටහන් කරගැනීමෙන්, ඒවා දර්ශනය වන බැවින් මතකයට නැගීම පහසු වේ.

වැදගත් කරුණු සටහන් කල කාඩ්පත් (Flash cards) භාවිතා කිරීම, මතක තබාගැනීම සඳහා භාවිතාකල හැකි තවත් උපක්‍රමයකි. වැදගත් ඉඟි, සූත්‍ර, වැකි, නියමයන් ආදිය කුඩා කාඩ්පතක එක් පැත්තක සටහන් කර, එහි අනෙක් පැත්තේ එයට අදාළ පැහැදිලි කිරීම හෝ අර්ථ දැක්වීම කෙටියෙන් සටහන් කරගන්න. එවැනි කාඩ්පත් නිතර බැලීමෙන්, මතකය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: CollegeDegrees360)

 

සබැඳි ලිපි:

ඔබගේ මතකය ගැන මදක් දැනගනිමු.
අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ඉඟි 32 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ මතකය වැඩිදියුණු කරගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*