සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක්

සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක්

සෑම දෙනෙකුගේම අපේක්ෂාව වන්නේ සෞඛ්‍ය සම්පන්නව දිගුකලක් ජීවත් වීමයි. නමුත්, වර්තමාන සමාජයේ සැලකිය යුතු පිරිසකට සෞඛ්‍ය ගැටළු එකක් හෝ කිහිපයක් පවතී. ඒවායින් සමහරකට, ජීවිත කාලය කෙටි කිරීමට හැකියාව ඇති අතර, ඇතැම් ඒවා ජීවිතයේ ගුණාත්මකභාවයට සැලකිය යුතු හානියක් සිදුකරයි. කෙසේ වුවත්, ජීවන රටාවේ ඇතිකරගන්නා ඇතැම් වෙනස්කම් වලට ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට සහ ඔබේ දිවියේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත් හැකියාව ඇත. සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක් පිළිබඳව මදක් විමසා බලමු.

 

ශාරීරික ක්‍රියාකාරකම්

ශාරීරිකව ක්‍රියාකාරී වීමට අප මැළිකමක් දක්වනවා. සරළ ලෙස පවසනවා නම්, අප බොහෝ දෙනෙක් “ශරීර හොරු” ලෙස හැඳින්විය හැකියි. ශාරීරිකව ක්‍රියාකාරී නොවීම, වත්මන් සමාජයේ පවතින ඉතා බරපතල ගැටළු වලින් එකක් බවට පත්වී ඇත. බොහොමයක් අයට, තමන්ගේ කාර්යබහුල ජීවිතය නිසා, ප්‍රමාණවත් ලෙස ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලීමට වේලාව වෙන්කර ගැනීමට නොහැකිය. එමෙන්ම, වේලාව තිබියදීත්, මැළිකම නිසා ශාරීරික ක්‍රියාකාරකම් නොකරන පිරිසක් ද, අප අතර සිටියි. කෙසේ වුවත්, ශාරීරිකව ක්‍රියාකාරී නොවීම, රෝග ගණනාවකටම හේතුවක් වී ඇති අයුරු දක්නට ලැබේ. එමගින්, ඔබගේ ශරීරයේ මාංශ පේශි වැහැරී යන අතර, අකලට මහළු වීමද, වේගවත් වේ. මෙසේ, මාංශ පේශි වැහැරීම නිසා ඔබේ ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල සීඝ්‍රතාවය (Metabolic rate) අඩුවීමෙන්, දියවැඩියාව, ස්ථුලභාවය, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, ආඝාතය හෙවත් අංශභාගය, හෘදයාබාධ වැනි රෝග වැළඳීමට ඇති අවදානම වැඩිවේ. එපමණක් නොව, මාංශ පේශි වැහැරීම නිසා, ඔබගේ දෛනික ක්‍රියාකාරකම් වල කාර්යක්ෂමතාවය ද, අඩුවනු ඇත.

එසේ නම්, ඔබගේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගන්නේ කෙසේද? මුළින්ම, ඇවිදීම හෝ වත්තේ වැඩකිරීම වැනි සරළ ක්‍රියාකාරකමකින් ආරම්භ කරන්න. හැකිනම්, සෙමෙන් දිවීම, බයිසිකල් පැදීම, දිවීම, සහ පිහිනීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වලටද, යොමුවිය හැක. නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් සහ ව්‍යායාම වල නියැලීම මගින්, ඔබගේ ශරීරයේ චලනයන් වැඩිදියුණු වන අතර, මාංශ පේශි ද, වර්ධනය වේ. එවිට, ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල සීඝ්‍රතාවය ද, ඉහළ යයි. එමනිසා, අධික රුධිර පීඩනය, දියවැඩියාව, අංශභාගය, හෘදයාබාධ, කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, සහ ස්ථුලභාවය වැනි රෝග වැළඳීමට ඇති අවදානම ද, ක්‍රමයෙන් අඩුවීම සිදුවේ. ශාරීරික ක්‍රියාකාරකම් මගින්, ඔබගේ හෘදය වස්තුවේ, පෙනහලු වල, මාංශ පේශි වල, අස්ථි වල, සහ අනෙකුත් අවයව වල ශක්තිමත්භාවය සහ නිරෝගීභාවය වැඩිදියුණු වනු ඇත. එමගින්, ඔබගේ ශාරීරික යෝග්‍යතාවය සහ ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ යෑම සිදුවේ. මේ සඳහා, ඔබ වැයකල යුත්තේ දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් පමණි. එම කාලය තුළ ඔබ කල යුත්තේ, මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් (Moderate-intensity physical activities) වල නියැලීමය. එය, ඔබට දිගුකලක් නිරෝගීව ජීවත්වීමට මග පෙන්වනු ඇත.

 

නින්ද

සාමාන්‍යයෙන්, වැඩිහිටියෙකු දිනකට පැය 6-8 ක් නිදාගැනීම අත්‍යාවශ්‍ය වේ. නින්ද මෙතරම් වැදගත් වන්නේ ඇයි? හොඳ ගුණාත්මක නින්දක් මගින්, ඔබගේ මතකය, කාර්යක්ෂමතාවය, ප්‍රතිශක්තිය හෙවත් රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම, මානසික ඒකාග්‍රතාවය ද වැඩිදියුණු කරයි. එමෙන්ම, ගුණාත්මක නින්ද, අනිසි බිය (Anxiety), මානසික ආතතිය, නොරුස්සනා සුලුබව, සහ විශාදය (Depression) වැනි තත්ත්ව සමනය කරයි. එමගින්, ඔබගේ මානසික සෞඛ්‍යය වැඩිදියුණු වනු ඇත. දෛනික ක්‍රියාකාරකම් කිරීමේදී, අපගේ ශරීරයේ පටක වලට යම් ප්‍රමාණයක හානි සිදුවීම සාමාන්‍ය දෙයකි. මෙම හානි ශරීරය මගින් යළි අලුත්වැඩියා කරගන්නේ ඔබ නින්දේ පසුවන විටය. එමනිසා, ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම ඉතා වැදගත් වේ. ගුණාත්මක නින්දක් මගින්, ආත්‍රයිටිස්, දියවැඩියාව, අංශභාගය, හෘදයාබාධ, අධික රුධිර පීඩනය, අකලට වයස්ගතවීම ආදී රෝග වැළඳීමට ඇති අවදානම ද, සැලකිය යුතු ලෙස අඩුවේ. එසේ නම්, හොඳ නින්දක් ලබාගන්නේ කෙසේද?

 

සෞඛ්‍ය සම්පන්න ආහාර

වත්මන් සමාජයේ පවත්නා බොහොමයක් ආහාර පුරුදු සෞඛ්‍ය සම්පන්න නොවේ. විවිධ සීනි අඩංගු පානයන්, කෙටි ආහාර, සකස් කරන ලද ආහාර, සහ එළවලු, පළතුරු, ප්‍රෝටීන් ඌණ ආහාර වර්ග, ඔබගේ සුවැති දිවියක් ලබාගැනීමට ඇති සිහිනය බොඳ කරයි. එවැනි ආහාර වල, සරළ සීනි, කාබෝහයිඩ්‍රේට්, ලුණු, කොලෙස්ටරෝල්, සහ වෙනත් සෞඛ්‍ය සම්පන්න නොවන මේද වර්ග යහමින් ඇත. එපමණක් නොව, එම ආහාර වල, ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් වර්ග, තන්තු, සහ ඛණිජ ලවණ ප්‍රමාණවත් ලෙස අඩංගු නොවේ. එමනිසා, ඔබේ ආහාරය, ප්‍රමාණවත් අයුරින් සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්, සෞඛ්‍ය සම්පන්න මේද වර්ග, ප්‍රෝටීන්, එළවළු, සහ පළතුරු වලින් සමන්විත විය යුතුවේ. එළවළු සහ පළතුරු මගින්, දිගුකාලීන රෝග වැළඳීමට ඇති අවදානම අඩුකරන අතර, ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට උපකාරී වේ. එමනිසා, සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක්, ඔබගේ දිවියේ ගුණාත්මකභාවය මෙන්ම ආයු අපේක්ෂාව ද, වැඩිකරනු ඇත. පළතුරු සහ එළවළු වල, විටමින් සහ ඛණිජ ලවණ වැනි අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් බොහොමයක් අඩංගු වේ. ඒවායේ, ශරීරයේ සෛල වලට සිදුවන හානි වළකන මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක (Antioxidants) ද, බහුලව ඇත. සමබර ආහාර වේලකට ඔබගේ ප්‍රතිශක්තිය ද, ඉහළ දැමීමට හැකියාව ඇති බැවින්, ඇතැම් රෝග වැළඳීම වැළැක්වීමට හැකියාව පවතී. ඔබ සුවැති දිවියකට සිහින මවන්නේ නම්, එළවළු, පළතුරු, සහ ප්‍රෝටීන් සපිරි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පරිභෝජනය කිරීමට හුරුවිය යුතුවේ. එමෙන්ම, එළවළු සහ පළතුරු තෝරාගැනීමේදී, විවිධ වර්ණ ඇති නැවුම් ඒවා තෝරාගැනීම වැදගත් ය.

 

සරළ බව

සාමාන්‍යයෙන්, අපගේ ජීවිත සංකීර්ණ ය. මෙම සංකීර්ණභාවය ඇතිවන්නේ, ජීවිතය හොඳින් සංවිධානාත්මක නොවීම සහ නරක පුරුදු නිසාය. එමගින්, අපගේ ජීවිත වලට අනවශ්‍ය මානසික ආතතියක් එක්වීම සිදුවේ. අපගේ ජීවිත වල සාර්ථකභාවය සඳහා යම් ප්‍රමාණයක මානසික ආතතියක් පැවතීම අත්‍යාවශ්‍ය වුවද, අධික මානසික ආතතිය, අපගේ ජීවිත වල ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස පහළ දමයි. මක්නිසාද, එය දිගුකාලීන රෝග ගණනාවක් වැළඳීමට ඇති අවදානම වැඩිකරන අතර, අපගේ කාර්යක්ෂමතාවයටද, සැලකිය යුතු හානියක් සිදුකරයි. එමනිසා, මානසික ආතතිය පාලනය කිරීම ඉතා වැදගත් වේ. ඔබ රාජකාරි කරන ස්ථානය මෙන්ම, නිවසද මනාව සංවිධානය කිරීමෙන්, මානසික ආතතිය අඩුකරගැනීමට මග පාදාගත හැක. සරළ ජීවිතයක් ගතකිරීම, සාර්ථක දිවියකට අඩිතාලම දමනු ඇත.

ඔබගේ හැකියාවන් වල ප්‍රමාණය නිසි අයුරින් හඳුනාගෙන, ඔබගේ ජීවිතයේ ඉලක්ක තාත්වික සහ සපුරාගැනීමට හැකි ලෙස සකස් කරගන්න. මේ සඳහා, ඔබගේ හැකියාවන් නිසිලෙස හඳුනාගැනීම ඉතා වැදගත් වේ. ඔබගේ ඉලක්ක හා කාර්යයන් හොඳින් අධ්‍යයනය කරන්න. එම ඉලක්කය සාර්ථක කරගැනීමට හොඳින් සැලසුම් කරන්න. කෙසේ වුවත්, එකවර ඉලක්ක කිහිපයක් කරා යාම, එතරම් නුවණැති ක්‍රියාවක් නොවේ. මක්නිසාද, එකවර ක්‍රියාවන් කිහිපයක් කිරීමට යාමෙන්, එක් එක් ක්‍රියාවෙහි කාර්යක්ෂමතාවය අඩුවන අතර, ඒවා අසාර්ථක වීමට ඇති හැකියාවද, ඉහළ යයි. ඔබගේ කාර්ය කෙරෙහි හොඳින් මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම සහ එය කිරීමෙන් සතුටක් ලැබීම, ඔබගේ කාර්ය සාර්ථක වීමට ඉවහල් වේ. සැමවිටම ධනාත්මකව සිතීමට හුරුවන්න. එමෙන්ම, කිසිවිටෙක මන්දෝත්සාහී වන්න එපා. ඔබගේ ජීවිතයේ හෝ ඔබ අවට සමාජයේ වෙනස් කිරීමට නොහැකි දේවල් පිළිබඳ වද වෙන්නට හෝ ඒවා වෙනස්කිරීමට කාලය නාස්තිකරන්න එපා.

සැමවිටම අවංක සහ නිහතමානී වන්න. හොඳම යහළුවන් නිතර ආශ්‍රය කරන්න. එවිට, ඔබගේ හැඟීම් සහ අදහස් බෙදා හදා ගැනීමට අවකාශ ලැබේ. විනෝදාංශ වලටද, ඔබේ ජීවිතයේ තැනක් වෙන්කරන්න. අවශ්‍ය විට, අවශ්‍ය පමණින් විවේක ගන්න. පමණ ඉක්මවා, අනවශ්‍ය පරිදි ඔබේ මුදල් වියදම් කරන්න එපා. සැමවිටම ඔබේ වියදම් කිරීමට හැකි ධාරිතාවය හඳුනාගෙන කටයුතු කරන්න.

ඇතැම්විට, ඔබේ ඇතැම් ගැටළු, ඔබට තනිවම විසඳාගැනීමට නොහැකි වීමට පුලුවන. එවිට, එවන් ගැටළු ඔබට වඩා දැනුමැති අයෙකුට, ඥාතියෙකුට, මිතුරෙකුට, හෝ ඔබේ ජීවිතයේ සමීප අයෙකුට පැවසීමට හෝ ඔවුන්ගේ උපකාර ඉල්ලීමට පසුබට වෙන්න එපා. ඔබට වූ වැරදීම් සහ අතපසුවීම් පිළිබඳව පසුතැවි තැවී කාලය නාස්ති කරන්න එපා. එවායෙන්, යමක් ඉගෙන ගන්න. මක්නිසාද, ඔබට වූ වැරදීම් සහ අතපසුවීම්, යම් කාර්යක් සාර්ථකව කරන්නේ කෙසේදැයි ඔබට මග පෙන්වනු ඇත. හැකි සෑමවිටම අන් අයට උදවු කරන්න. එවිට, ඔබට අවශ්‍ය වූ විටෙක, ඔවුන්ද ඔබට උපකාර කරනු ඇත. අන් අයගේ අදහස් වලට ද, සවන් දෙන්න. ඔවුන්ගේ අදහස් වලින්ද, හොඳ කරුණු එකතු කරගත හැක. කිසිවිටෙක, අන් අයට ඊර්ෂ්‍යා කරන්න එපා. සාර්ථක වූ අයගේ සාර්ථකත්වයෙන් ඉගෙන ගැනීමට උත්සාහ කරන්න.

දුම්පානය, පමණ ඉක්මවා ආහාර ගැනීම, සහ මත්පැන් පානය වැනි අයහපත් පුරුදු වලින් වැළකෙන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Victor Björkund)

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*