මානසික ආතතිය හෘදයාබාධ වලට අත වනයි!

මානසික ආතතිය හෘදයාබාධ වලට අත වනයි

ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට අයිතිවාසිකම් කියන්නා හෘදයාබාධ (Heart attacks) ලෙස හැඳින්විය හැක. එසේ නම්, අංක එකේ මාරයා ලෙස හෘදයාබාධ හැඳින්වීමේ වරදක් නැති තරම්. මානසික ආතතිය හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ දමන බව ඔබ දන්නවාද?

නමුත්, මානසික ආතතිය හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන්නේ කෙසේද යන්නට වඩාත්ම ගැලපෙන පිළිතුරක් දෙන්නට පර්යේෂකයන්ට තවම හැකිවී නැහැ. එක් පර්යේෂණයකට අනුව, සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකරන අයට වඩා, මානසික පීඩනයකින් යුතුව දිවි ගෙවන පුද්ගලයන්ට, හෘදයාබාධ වැළඳීමට 23% ක වැඩි ඉඩකඩක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. මෙම පර්යේෂණයට යුරෝපයේ රටවල් 7 කින්, පුද්ගලයන් 200,000 ක් යොදාගෙන ඇත. මානසික ආතතියකින් යුතුව රැකියාවේ නියැලීම, පළමු හදවත් රෝගය සඳහා ඇති අවදානම ඉහළ දමන බවද මෙහිදී පෙනීගිය කරුණක්. මෙම පර්යේෂණයට මූලිකත්වය ගෙන ඇත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාල පාසලේ (The University College of London/UCL) මහාචාර්ය මිකා කිවිමාකි (Professor Mika Kivimäki) ය. මෙම පර්යේෂකයන් පිරිස, පුද්ගලයන් 200,000 වසර 7.5 ක් තිස්සේ නිරීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුව, හෘදයාබාධ හෝ වෙනත් පළමු හදවත් රෝග 2,356 ක් ඔවුන් අතර ඇතිවූ බව සොයාගෙන තිබෙනවා. එහිදී, මානසික ආතතියකින් යුතුව රැකියා කරන අයට, අනෙත් අයට වඩා, හෘදයාබාධ ඇතිවීම සඳහා 23% ක වැඩි ඉඩක් පවතින බව සොයාගෙන තිබෙනවා.

තවම පර්යේෂණ මගින් තහවුරු වී නැතත්, මානසික ආතතිය හදවත් රෝග සඳහා තනි අවදානම් සාධකයක් ද (Risk factor) විය හැකියි. අධික මානසික ආතතිය, හදවත් රෝග සඳහා හේතුවන අධි රුධිර පීඩනය, දියවැඩියාව, සහ අධික ලෙස කොලෙස්ටරෝල් පැවතීම වැනි අවදානම් සාධක නරක අතට හරවනවා විය හැකියි. ඔබට ඇත්තේ මානසික ආතතියකින් යුතු දිවි පෙවෙතක් නම්, ඔබ දුම්පානය කිරීමට, පමණ ඉක්මවා ආහාර ගැනීමට, සහ ශාරීරික ක්‍රියාකාරකම් වලින් ඈත්වීමට එය හේතුවක් විය හැකියි. ඒවා හදවත් රෝග වලට අත වනන නරක පුරුදු ලෙස හැඳින්විය හැකියි. දිගුකාලීන මානසික ආතතිය, ශරීරය තුළ කෝටිසෝල් (Cortisol) සහ ඇඩ්‍රිනලින් (Adrenaline) වැනි ආතති හෝමෝන (Stress hormones) ශ්‍රාවය වැඩි කරන අතර, එමගින් හදවත් රෝග ඇතිකරන නමගිය අවදානම් සාධක වන අධික රුධිර පීඩනය සහ රුධිර සීනි මට්ටම වැඩිවේ. ඇතැම් අධ්‍යයන වලින් පෙනී යන පරිදි, මානසික ආතතිය සහ රුධිරයේ ඇති ස්වභාවික ලේ කැටි ගැසීමේ යාන්ත්‍රණ වල වෙනස්කම් ඇතිවීම අතර සම්බන්ධයක් ඇත. ඒ හේතුවෙන් ද හදවත් රෝග ඇතිවීමේ අවදානම ඉහළ යෑම සිදුවිය හැක.

කෙසේ වෙතත්, ඔබට අධික මානසික ආතතියකින් යුතු දිවිපෙවෙතක් හෝ රැකියාවක් ඇතිවිට පවා, හෘදයාබාධ වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීමට හැකියාව ඇත. එය මුළුමනින්ම රඳා පවතින්නේ ඔබ සෞඛ්‍ය සම්පන්නව මානසික ආතතිය පාලනය කරගන්නා ආකාරය අනුවය.

 

(ඡායාරූප අනුග්‍රහය: stuartpilbrow)

 

සබැඳි ලිපි:

මානසික ආතතිය මාරාන්තික විය හැකියි
මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?
විවාහකයන්ගේ හදවත් නිරෝගියි!
සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මානසික ආතතිය හෘදයාබාධ වලට අත වනයි!" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*