සැවොම දන්නා සෙම්ප්‍රතිශ්‍යාව

සැවොම දන්නා සෙම්ප්‍රතිශ්‍යාව

සෙම්ප්‍රතිශ්‍යාව මිනිස් සමාජය තුළ බහුලවම පැතිරුණු රෝගය වේ. එයට හේතුව එහි ආසාදනය වීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පැවතීම වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වශයෙන් ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ (විශේෂයෙන් නාස් කුහර තුළ) සහ මද වශයෙන් ශරීරයේ සෙසු කොටස්වල රෝග ලක්ෂණ ඇති කරයි. මෙම රෝගය ඇතිවීමට වෛරස රාශියක් හේතුවන අතර රයිනෝ වෛරසය (Rhinovirus) ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. කොරෝනා වෛරසය (Coronavirus) සහ ඇඩිනෝ වෛරසයද (Adenovirus) එයට අයත් වේ. සෙම්ප්‍රතිශ්‍යා රෝගය ඇතිකරන රයිනෝ වෛරස වර්ග 100 කට අධික ප්‍රමාණයක් පවතී. එමනිසා, මෙම රෝගයෙන් ඔබව ආරක්ෂා කිරීමට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතාමත් අපහසු වේ. බොහෝවිට එක් පුද්ගලයෙකුට වසරක් තුළ සෙම්ප්‍රතිශ්‍යාව දෙවරක් හෝ තෙවරක් වැළඳිය හැක. එසේ වුවත්, යම් පුද්ගලයෙකු වයස්ගත වනවිට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ ප්‍රවණතාවය ක්‍රමයෙන් අඩු වේ. වයස්ගත වනවිටදී විවිධ වෛරස වර්ග වලට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගීම එයට හේතුව විය හැක. වත්මන් සමාජය තුළ පාසලට සහ රාජකාරියට නොපැමිණීමට හේතුවන කාරණා අතර සෙම්ප්‍රතිශ්‍යාව ඉදිරියෙන්ම සිටියි.

සෙම්ප්‍රතිශ්‍යාව පැතිරීමට ප්‍රධාන හේතූන් ලෙස, ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු කිරීම සහ ආසාදිත පුද්ගලයෙකුගේ මුඛයෙන් හෝ නාසයෙන් පිටවන බිඳිති ආශ්වාස කිරීම දැක්විය හැකිවේ. ආසාදිත පුද්ගලයෙකු කතා කිරීමේදී, හුස්ම ගැනීමේදී, කිවිසීමේදී, හෝ කහින අවස්ථාවකදී වෛරස අඩංගු ඉතාමත් කුඩා බිඳිති විශාල ප්‍රමාණයක් වාතයට මුදාහරී. තවද, ආසාදිත පුද්ගලයෙකු සමග සමීපව ඇසුරු කිරීමේදී ඔබගේ අත් සෘජුවම හෝ බිඳිති සහ සොටු දියර තැවරුණු උපකරණ හෝ පෘෂ්ඨ (මතුපිටවල්) ස්පර්ශ කිරීමෙන් හෝ කිළිටි විය හැක. ඉන් අනතුරුව, වෛරස මගින් කිළිටි වූ දෑත් වලින් ඔබගේ මුඛය, නාසය, හෝ ඇස් ස්පර්ශ කලවිට එම වෛරස ශරීරගත වීම සිදුවේ. සෙම්ප්‍රතිශ්‍යාව රෝගයේ මුල් දින වලදී වෙනත් පුද්ගලයෙකුට ආසාදනය වීමේ හැකියාව ඉතා ඉහළය. පරිසරයේ වාතාශ්‍රය මද වීම සහ විශාල පිරිසක් අතර සිටීම මෙම රෝගය පැතිරීමට මනා පිටුවහලක් වේ. සෙම්ප්‍රතිශ්‍යාව රෝගයේ බීජෞෂණ සමය (වෛරසයට නිරාවරණය වීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පහළ වීමට ගතවන කාලය) පැය 12 ක සිට දින 5 ක් දක්වා අතර කාලයක් ගනී. බොහෝවිට සෙම්ප්‍රතිශ්‍යාව සතියක් හෝ සති 2 ක් තුළ සුව වේ. ඇතැම් රෝගීන් දෙවනුව බැක්ටීරියා මගින් ආසාදනය (ද්විතියික බැක්ටීරියා ආසාදන) විය හැක.

රෝග ලක්ෂණ

  • මද උණ
  • තෙහෙට්ටුව
  • මළානික ස්වභාවයක් ගැනීම
  • උගුර සහ නාසය කැසීම සහ රිදීම
  • නාසය අවහිර වීම
  • කිවිසුම් යෑම
  • නාසයෙන් අධික ලෙස වතුර වැනි සොටු දියර ගැලීම (පසුව කහ හෝ කොල පැහැති ඝණ සොටු දියර බවට පත්වේ)
  • කැස්ස

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානමට බලපාන සාධක

  • කාළගුණය

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ හැකියාව වැසි සමයේදී සහ ශීත සෘතුවේදී වැඩිවේ. එයට හේතුව බොහොමයක් වැඩිහිටියන් සහ ළමුන් මෙම කාලවලදී ගෘහස්ථව සිටීමට පෙළඹීමයි. සාමාන්‍යයෙන් උණුසුම් කාළගුණ තත්ත්ව යටතේදී සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානම පහත වැටේ.

  • වයස

ළදරුවන්ට සහ පෙරපාසල් දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ හැකියාව වැඩිය. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් වර්ධනය වී නොතිබීම සහ සනීපාරක්ෂාව දුර්වල වීම එයට හේතුව ලෙස දැක්විය හැක. ඔවුන් අනෙක් ළමුන් සමග වැඩි වේලාවක් ගතකිරීමත් සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානම වැඩිකිරීමට හේතුවේ.

  • ප්‍රතිශක්තිය

යම් පුද්ගලයෙකු වයස්ගත වීමේදී, ඔහුගේ හෝ ඇයගේ විවිධ වෛරස වලට එරෙහි ප්‍රතිශක්තිය ක්‍රමයෙන් වර්ධනය වේ. එමනිසා, සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානම ද වයස්ගත වීමේදී අඩුවීම දැකිය හැකිවේ. නමුත් යම් පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිය හීන වන අවස්ථා වලදී (පිළිකා, ඒඩ්ස් රෝගය, පිළිකා රෝග සඳහා කරන රසායනික චිකිත්සාව (Chemotherapy), සහ ස්ටීරොයිඩ (Steroid) හෝ වෙනත් ප්‍රතිශක්තිය හීන කල හැකි ඖෂධ ප්‍රතිකාර) ඔහුගේ හෝ ඇයගේ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානම ඉහළ යාම සිදුවිය හැක. මානසික ආතතිය, නින්ද අඩුවීම හෝ නින්දෙහි ගුණාත්මකභාවය අඩුවීම, සහ දුම්පානය ද ඔබගේ ප්‍රතිශක්තිය දුර්වල කළ හැක. එවිට ද, සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ ප්‍රතිශතය සැලකියයුතු ලෙස ඉහළ යයි. දුම්පානය ඔබගේ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ වැඩිකිරීමටද හේතුවේ.

  • ආසාත්මික රෝග (Allergic diseases)

නාසය සහ උගුර ආශ්‍රිත ආසාත්මික රෝග සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවදානම ඉහළ දැමීමට හේතුවේ.

  • පොදු ස්ථාන

දිවා සුරැකුම් මධ්‍යස්ථාන, පාසල, පොළ, බස් රථය, දුම්රිය, දුම්රියපොළ, බස් නැවතුම්පොළ, උපකාරක පන්ති, සහ ගුවන් යානා වැනි පොදු ස්ථාන සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ අවස්ථාව සැලකිය යුතු ලෙස වැඩිකරයි.

 

(ඡායාරූප අනුග්‍රහය: Tina Franklin)

 

සබැඳි ලිපි:
සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවිය හැකි සංකූලතා

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සැවොම දන්නා සෙම්ප්‍රතිශ්‍යාව" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*