ක්ෂුද්‍ර අංශභාගය ගැන මදක් දැනගනිමු.

ක්ෂුද්‍ර අංශභාගය ගැන මදක් දැනගනිමු

ක්ෂුද්‍ර අංශභාගය (Mini stroke/Transient ischaemic attack/TIA) සමග ඇතිවන රෝග ලක්ෂණ, අංශභාගය හෙවත් ආඝාතය සමග ඇතිවන රෝග ලක්ෂණ වලට සමානය. නමුත්, ක්ෂුද්‍ර අංශභාගයේදී ඇතිවන රෝග ලක්ෂණ පැය 24 ක කාලයක් තුළදී පහව යයි. කෙසේ වුවත්, මෙම තත්ත්වය හටගැනීම, නුදුරු දිනකදී ඇතිවන දරුණු අංශභාගයක් පිළිබඳ අනතුරු හැඟවීමක් බව අමතක නොකළ යුතුය. එම නිසා, ක්ෂුද්‍ර අංශභාග තත්ත්වයක් ඇතිවුවහොත්, හැකි ඉක්මනින් රෝහල්ගත වීමට අවශ්‍ය වන අතර, හදිසි වෛද්‍යමය අවස්ථාවක් (Medical emergency) ලෙස සලකා ප්‍රතිකාර කිරීම කළ යුතුවේ.

ක්ෂුද්‍ර අංශභාගය වැළඳුනු සෑම රෝගියෙකුම ඉක්මනින් වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක්විය යුතුය. වෛද්‍යවරයෙකුට එවැනි රෝගියෙක් ABCD2 මිනුම (ABCD2 scale) භාවිතයෙන් තක්සේරුවකට ලක් කළ හැකිය.

ABCD2 මිනුම යනු කුමක්ද?

  • රෝගියාගේ වයස (Age):

අවුරුදු 60 ට වඩා අඩු නම්: ලකුණු 0
අවුරුදු 60 හෝ එයට වඩා වැඩි නම්: ලකුණු 1

  • රෝගියාගේ රුධිර පීඩනය (Blood pressure):

සන්‍යස්ථ රුධිර පීඩනය (Systolic blood pressure) 140 mmHg හෝ එයට වඩා වැඩිනම් සහ/හෝ වින්‍යස්ථ රුධිර පීඩනය (Diastolic pressure) 90 mmHg හෝ එයට වඩා වැඩි නම්: ලකුණු 1

  • ක්ෂුද්‍ර අංශභාගයේ රෝග ලක්ෂණ (Clinical features):

එක් පැත්තක් පණ නැතිවීම: ලකුණු 2
සිරුර පණ නැතිවීමකින් තොරව, කතා කිරීමට නොහැකි වීම හෝ කතා කිරීමට අපහසු වීම: ලකුණු 1
වෙනත් රෝග ලක්ෂණ: ලකුණු 0

  • රෝග ලක්ෂණ පැවති කාලය (Duration)

විනාඩි 10 ට අඩු නම්: ලකුණු 0
විනාඩි 10 – 59 අතර: ලකුණු 1
විනාඩි 60 හෝ එයට වැඩි නම්: ලකුණු 2

  • දියවැඩියාව (Diabetes):

ඇත්නම්: ලකුණු 1
නැත්නම්: ලකුණු 0

මෙම මිනුම භාවිතා කර හැකි ඉක්මනින් රෝගියාගේ තත්ත්වය තක්සේරු කිරීමෙන් ඔහුට හෝ ඇයට අංශභාගය වැළඳීමට ඇති අවදානම ගණනය කළ හැක. යම් රෝගියෙකුගේ ABCD2 මිනුම හයක් හෝ හතක් වේ නම්, එම රෝගියාට දින දෙකක් තුළදී අංශභාගය වැළඳීමට පවතින අවදානම 8.1% කි. යමෙකුට පසුගිය සතියක කාලයක් තුළ එක් වතාවකට වඩා ක්ෂුද්‍ර අංශභාගය සෑදී ඇත්නම්, එම රෝගියාට ඉදිරි සතියක කාලය තුළ උග්‍ර තත්ත්වයේ අංශභාගයක් වැළඳීමට පවතින අවදානම 30% ක් වැනි ඉහළ අගයක් ගනී.

අංශභාගය වැළඳීමට වැඩි අවදානමක් ඇති ක්ෂුද්‍ර අංශභාග රෝගියෙකුට රුධිරය කැටිගැසීම ප්‍රමාද කිරීම සඳහා ලබාදෙන ඇස්පිරින් (Aspirin) ඖෂධය දිනපතාම ලබාදීම සිදුවේ. මොළයේ කුෂුද්‍ර අංශභාගය වැළඳීම සිදුවූ ප්‍රදේශය හඳුනාගැනීමට අපහසු නම්, ඇතැම් විට විශේෂඥ වෛද්‍යවරයා පැය 24 ක කාලයක් තුළදී රෝගියාගේ මොළයේ ස්කෑන් පරීක්ෂණයක් (CT scan හෝ MRI scan) කිරීමට නිර්දේශ කරනු ඇත.

අංශභාගය වැළඳීමට අඩු අවදානමක් පවතින ක්ෂුද්‍ර අංශභාග රෝගියෙකුට ඇස්පිරින් ඖෂධය දිනපතාම ගැනීමට නිර්දේශ කරන අතර, සතියක කාලයක් තුළදී විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් නැවත පරීක්ෂාවකට ලක්විය යුතුවේ. මොළයේ ක්ෂුද්‍ර අංශභාගය වැළඳුනු ප්‍රදේශය හඳුනාගැනීමට අපහසු නම්, සතියක කාලයක් තුළදී රෝගියාගේ මොළයේ ස්කෑන් පරීක්ෂණයක් කිරීමට විශේෂඥ වෛද්‍යවරයා ඇතැම් විට තීරණය කරනු ඇත.

ක්ෂුද්‍ර අංශභාගය වැළඳුණු රෝගියෙක් අනාගතයේදී අංශභාගය වැළඳීමට පවතින අවදානම අවම කරගැනීම සඳහා දිගටම ඖෂධ ලබාගත යුතු අතර, බර පාලනය, ආහාර රටාව වෙනස් කිරීම, ව්‍යායාම කිරීම, අයහපත් සෞඛ්‍ය පුරුදු වලින් වැළකීම වැනි ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගත යුතුය.

ක්ෂුද්‍ර අංශභාග රෝගියෙකුගේ ගෙලෙහි පවතින මොළයට රුධිරය සපයන ප්‍රධාන රුධිර වාහිනියක් වන ශීර්ෂපෝෂී ධමනිය (Carotid artery) සිහින් වී ඇති බවට ලක්ෂණ ඇත්නම්, සාමාන්‍යයෙන් සතියක කාලයක් තුළදී ශීර්ෂපෝෂී ධමනි ද්වීපථ ස්කෑන් පරීක්ෂණයක් (Carotid artery duplex scan) කළ යුතුය. එම ස්කෑන් පරීක්ෂණයෙන් ශීර්ෂපෝෂී ධමනිය සිහින් වී ඇති බවට තහවුරු වේ නම්, ධමනියේ සිහින් වීම මුදාහැරීම සඳහා ශල්‍යකර්මයක් වන carotid endarterectomy කළ යුතුවේ. මෙම ශල්‍යකර්මය ක්ෂුද්‍ර අංශභාගයක රෝග ලක්ෂණ පහළ වී සති දෙකක් තුළ සිදුකිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

ශීර්ෂපෝෂී ධමනිය සිහින් වී ඇති සෑම රෝගියෙක්ම රුධිරය කැටිගැසීම ප්‍රමාද කිරීම සඳහා ලබාදෙන ප්‍රති-පට්ටිකා ඖෂධ (Anti-platelet drugs) දිනපතාම ලබාගත යුතුවේ. එමෙන්ම, එවැනි රෝගීන්ගේ රුධිර පීඩනය සහ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම ද ඉතාම වැදගත් බව අමතක නොකළ යුතුය.

(ඡායාරූප අනුග්‍රහය: affen ajlfe)

සබැඳි ලිපි:

අංශභාගය හෙවත් ආඝාතය යනු කුමක්ද?
අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?
අංශභාගය (Stroke) වැළදෙන්නට ඔබටත් අවදානමක් තිබේද?
යළි අංශභාගය වැළඳීම වළක්වා ගන්නේ කෙසේද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ක්ෂුද්‍ර අංශභාගය ගැන මදක් දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*