සිසේරියන් සැත්කමකට පසුව ඔබ කුමක් කල යුතුද?

සිසේරියන් සැත්කමකට පසුව ඔබ කුමක් කල යුතුද?

සිසේරියන් සැත්කමකට පසුව මවක් අනුගමනය කලයුතු උපදෙස් පිළිබඳව මදක් පැහැදිලි කිරීමට මෙම ලිපිය සකස්කර ඇත. මක්නිසාද, මෙම උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමෙන්, මවට සහ අලුත උපන් දරුවාට සංකූලතා හටගැනීම අවම කරගැනීමට හැකියාව ලැබේ.

සිසේරියන් සැත්කම සිදුකිරීමෙන් අනතුරුව ශරීරයේ පහළ කොටසේ ඇති හිරිවැටුණු ස්වභාවය ඉවත්වීමට පැය 4-5 ක් පමණ ගතවේ. ශල්‍යකර්මයෙන් අනතුරුව ඇතිවන වේදනාව අවම කරගැනීම සඳහා වෛද්‍යවරු නිර්දේශ කරන වේදනා නාශක නිසි පරිදි ගැනීම කල යුතුය. එමෙන්ම, අලුත උපන් දරුවාට හොඳින් මව්කිරි ලබාදීමත් ඉතාම වැදගත්. සැත්කමෙන් පසුව, දෙවන දිනය එළඹෙන විට බොහොමයක් මව්වරු ඇඳෙන් බැස ඇවිදීම සිදුකරයි. කෙසේ වුවත්, සිසේරියන් සැත්කමකට පසුව ඉක්මනින් ශරීරය යථා තත්ත්වයට පත්වීම සඳහා ඇවිදීම වැදගත් වේ. මවට සහ අලුත උපන් දරුවාට සංකූලතා කිසිවක් නැත්නම්, දින 3-5 ක් තුළ රෝහලෙන් බැහැරව යාමට හැකියාව ලැබේ.

සිසේරියන් සැත්කමේදී, බොහෝවිට දියවන මැහුම් වර්ගයක් යොදාගැනීම සිදුකෙරේ. එවන් විටෙක, මැහුම් ඉවත් කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවේ. නමුත්, ඔබේ වෛද්‍යවරයා යොදා ඇත්තේ දිය නොවන මැහුම් වර්ගයක් නම්, සැත්කමෙන් දින 5-7 කට පමණ පසුව මැහුම් ඉවත්කිරීමට සිදුවේ.

නිවසට ගිය පසු, තරමක් විවේකයෙන් පසුවීම වැදගත්. එමනිසා, ඔබට සහ දරුවාට අවශ්‍ය වන දේවල් ගැනීමට පහසුවන අයුරින් ආසන්නයේ තබාගැනීමට කටයුතු කරන්න. සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු කරගැනීමට කිසිඳු බාධාවක් නැත. නමුත්, සති දෙකක් පමණ ගතවන තුරු, බිමට නැවී යමක් එසවීම හෝ ඔබේ දරුවාට වඩා බරක් ඇති දේවල් එසවීම නොකල යුතුය. නිවසට ගිය පසු, දිනපතා ස්නානය කිරීමට බාධාවක් නැහැ. නමුත්, තුවාළය මුළුමනින්ම සුවවන තෙක් ස්නානය කිරීමෙන් අනතුරුව උදරයේ කැපුම ආශ්‍රිතව ඇති තෙතමනය ඉවත්කර, වියලි සහ විෂබීජ හරණය කල ගෝස් කැබැල්ලකින් ආවරණය කරගැනීම වැදගත් වේ.

දරුවාට මව්කිරි ලබාදෙන විට, ඔබේ උදරයට ආධාරකයක් ලෙස කොට්ටයක් යොදාගැනීම සිදුකල හැකියි. හැකිනම්, රෙදි භාවිතා කරමින් හෝ උදරයට මහත පටියක් ආකාරයට යෙදීමත් සිදුකල හැක.

ප්‍රමාණවත් පරිදි ජලය සහ වෙනත් දියර වර්ග පානය කිරීමට අමතක කරන්න එපා. එමගින්, සිසේරියන් සැත්කම තුළදී සහ මව්කිරි ලබාදීමේදී ශරීරයෙන් ඉවත්වන දියර නැවත ලබාගැනීමට හැකියාව ලැබෙන අතර, මළ බද්ධය හටගැනීම වළක්වා ගැනීමටද හැකිවේ.

සාමාන්‍යයෙන්, සිසේරියන් සැත්කමකට පසුව සති 4-6 ක් ගතවන තුරු, ලිංගිකව එක්වීමෙන් වැළකිය යුතුවේ. සැත්කමෙන් සති 6 කට පසුව නැවත ගැබ් ගැනීමට අවදානමක් ඇති බැවින්, ඔබේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව සමග සාකච්ඡා කර ඔබට සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කිරීම කල යුතුය.

සිසේරියන් සැත්කමට පසුව, පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඇතිවේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කල යුතුවේ.

  • සෙල්සියස් අංශක 38 (ෆැරන්හයිට් අංශක 100.4) ට වඩා උණ පැවතීම, උදරයේ දැඩි වේදනාව, උදරය ඉදිමීම, උදරයේ සම රතුපැහැ ගැනීම, හෝ සැත්කමේදී කැපුම යෙදූ ස්ථානයෙන් දියර ගැලීම. මෙම ලක්ෂණ ආසාදනයක් නිසා ඇතිවිය හැක.
  • උණ හෝ රතුපැහැ වීමක් සමග පියයුරු වල වේදනාවක් හටගැනීම
  • යෝනි මාර්ගයෙන් දුගඳ සහිත ශ්‍රාවයක් පිටවීම
  • මුත්‍රා කිරීමේදී දැවිල්ලක් හෝ වේදනාවක් හටගැනීම
  • පැයක කාලයක් තුළ සනීපාරක්ෂක තුවායක් පෙඟෙන්නට ප්‍රමාණවත් අයුරින් රුධිරය වහනය වීම හෝ සිසේරියන් සැත්කමට පසුව සති 8 කටත් වඩා කාලයක් රුධිරය වහනය වීම

පසු ප්‍රසව විශාදය හෝ සයිකෝසියාව (Postpartum depression or puerperal psychosis)

දරු ප්‍රසූතියකට පසුව කලාතුරකින් ඇතැම් මවකට පසු ප්‍රසව විශාදය හෝ සයිකෝසියාව හටගැනීම සිදුවේ. එහිදී, දැඩි ලෙස මානසික තත්ත්වය වෙනස්වීම (Mood changes), ආහාර අරුචිය හටගැනීම, වෙහෙසකර බව, සතුට පහව යෑම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක. එවන් විටෙක, වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන්ම, රෝග ලක්ෂණ කාලයත් සමග පහව නොයෑම, දරුවා රැකබලා ගැනීමට අපහසුවීම, දෛනික ක්‍රියාවන් සඳහා බාධා ඇතිවීම, හෝ ඔබටම හෝ ඔබේ දරුවාට හානිකිරීමට සිතුවිලි හටගනී නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ.

(ඡායාරූප අනුග්‍රහය: Quinn Dombrowski)

සබැඳි ලිපි:

සිසේරියන් සැත්කම සිදුකරන්නේ ඇයි?
සිසේරියන් සැත්කමක් සඳහා සූදානම් වන්නේ කොහොමද?
සිසේරියන් සැත්කමකින් දරු උපතක් සිදුකරන්නේ කොහොමද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සිසේරියන් සැත්කමකට පසුව ඔබ කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*