ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?

ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?

දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක, දියවැඩියාව රෝගයේ වර්ග අනුව වෙනස්වන දෙයකි. ඇතැම් අවදානම් සාධක ඉවත්කර ගැනීමට හැකියාව ඇති මුත්, සමහර අවදානම් සාධක වෙනස් කිරීමට නොහැක. කෙසේ වුවත්, යමෙක් දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක ගණන අඩුකරගතහොත්, ඔහුට හෝ ඇයට දියවැඩියාවෙන් මිදී ජීවත්වීමට ඇති හැකියාව වැඩිකරගත හැක. එමනිසා, එවැනි අවදානම් සාධක පිළිබඳව දැනුවත්වීම, කාලෝචිත දෙයක් ලෙස හැඟේ. එසේ නම්, ඔබටත් දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබෙනවාදැයි මදක් සොයා බලමු.

පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes mellitus) වැළඳීමට හේතුවිය හැකි අවදානම් සාධක

පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි තවමත් නිසි අයුරින් වටහාගෙන නැති මුත්, ඇතැම් සාධක පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිකරන බව පෙනේ.

  • පවුලේ රෝග ඉතිහාසය

ඔබේ පවුලේ සහෝදරයෙකුට, සහෝදරියකට, හෝ දෙමව්පියන්ගෙන් අයෙකුට පළමු වර්ගයේ දියවැඩියාව වැළඳී ඇත්නම්, ඔබටද පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිවේ.

  • පාරිසරික සාධක

ඇතැම් වෛරස් ආසාදන වලට නිරාවරණය වීම, පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිකරන බව සොයාගෙන ඇත.

  • ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඔබට හානිකර වියහැකි සෛල පැවතීම

ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) තුළ, ඔබේ ශරීරයටම හානිකර වන ප්‍රතිදේහ එනම්, ස්වයංප්‍රතිදේහ (Autoantibodies) නිපදවන සෛල පවතින විට, පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිවේ. ඇතැම් විට, පළමු වර්ගයේ දියවැඩියාව වැළඳුනු අයෙකුගේ පවුලේ සාමාජිකයන් තුළ දියවැඩියාව ඇතිකිරීමට හේතුවන ස්වයංප්‍රතිදේහ තිබේදැයි පරීක්ෂාකර බලන්නේ එබැවිනි. කෙසේ වුවත්, මෙම ස්වයංප්‍රතිදේහ පවතින ඇතැම් අයට දියවැඩියාව වැළඳෙන්නේ නැත.

  • ආහාරමය සාධක

විටමින් D පරිභෝජනය අඩුවීම, අඩු වයසෙන් පිටිකිරි වලට හුරුකිරීම, වයස මාස 4 ක් වීමට පෙර ධාන්‍යමය ආහාර වලට හුරුකිරීම වැනි ආහාරමය සාධක, පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති ඉඩකඩ වැඩිකරන බව හෙලිවී ඇත. නමුත්, එවැනි සාධක කිසිවක් සෘජුවම දියවැඩියාව වැළඳීමට හේතුවන බවක් නොපෙනේ.

  • භූගෝලීය සාධක

උදාහරණයක් වශයෙන්, අනෙක් රටවල් වලට සාපේක්ෂව ෆින්ලන්තය සහ ස්වීඩනය වැනි රටවල පළමු වර්ගයේ දියවැඩියාව වැළඳුනු අය වැඩිපුර සිටින බව පෙනේ.

පූර්ව දියවැඩියාව (Pre-diabetes) සහ දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) වැළඳීමට හේතුවිය හැකි අවදානම් සාධක

පර්යේෂණ වලට අනුව, ඇතැම් අයට පූර්ව දියවැඩියාව හෝ දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට සහ සමහර අයට එසේ නොවීමට හේතුව නිසි අයුරින් හඳුනාගැනීමට අපහසුය. කෙසේ වුවත්, ඇතැම් සාධක, පූර්ව දියවැඩියාව සහ දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති ඉඩකඩ වැඩිකරන බව සොයාගෙන ඇත.

  • ශරීරයේ බර

ඔබේ ශරීරයේ ඇති මේද පටක ප්‍රමාණය වැඩිවත්ම, ඔබේ සෛල ඉන්සියුලින් හෝමෝනය කෙරෙහි දක්වන ප්‍රතිරෝධයද ක්‍රමයෙන් වැඩිවන බැවින් දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිවේ.

  • ශාරීරික ක්‍රියාකාරකම් මදවීම

ශාරීරික ක්‍රියාකාරකම් අඩුවන විට, දියවැඩියාව වැළඳීමට වැඩි ඉඩක් ඇත. ශාරීරික ක්‍රියාකාරකම් ඔබේ බර පාලනයට ඉවහල් වන අතර, රුධිරයේ ඇති සීනි (ග්ලූකෝස්), ශක්තිය නිපදවාගැනීම සඳහා භාවිතා කිරීමද වැඩිවේ. එමෙන්ම, නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම මගින්, ඉන්සියුලින් හෝමෝනයට ඔබේ සෛල දක්වන සංවේදීතාවයද ක්‍රමයෙන් ඉහල යන අතර, එම හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වේ.

  • පවුලේ රෝග ඉතිහාසය

ඔබේ සහෝදරියකට, සහෝදරයෙකුට, හෝ දෙමව්පියන්ගෙන් කෙනෙකුට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳී ඇත්නම්, ඔබටත් එය වැළඳීමට වැඩි අවදානමක් පවතී.

  • ජන වර්ගය

නීග්‍රෝ, ලතින්, කියුබානු, මෙක්සිකානු, දකුණු හා මධ්‍යම ඇමෙරිකානු, රතු ඉන්දියානු, සහ ඇමරිකාවේ ජීවත්වන ආසියානු ජාතිකයන් හට දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් ඇතිබව සොයාගෙන ඇත. නමුත්, එසේ වීමට හේතුව තවමත් පැහැදිලි නැත.

  • වයස

ඔබේ වයස ක්‍රමයෙන් වැඩිවත්ම, දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති අවදානමද ක්‍රමයෙන් වැඩිවේ. ඇතැම් විට, මෙසේ වීමට හේතුවන්නේ වයසට යත්ම ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම, ශරීරයේ මාංශ පේශි වැහැරීම, සහ ශරීරයේ බර වැඩිවීම වියහැක. නමුත්, කුඩා දරුවන්, නවයොවුන් දරුවන්, සහ වයසින් අඩු අය අතර දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීම ක්‍රමයෙන් බහුල වෙමින් පවතින බව පෙනේ.

  • ගර්භණී සමයේදී වැළඳෙන දියවැඩියාව (Gestational diabetes)

ඔබට ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳුනි නම්, පසුව දෙවන වර්ගයේ දියවැඩියාව සහ පූර්ව දියවැඩියාව වැළඳීමට ඇති ඉඩකඩ වැඩිය. එමෙන්ම ඔබ උපත් බර කිලෝග්‍රෑම් 4 ට වඩා වැඩි දරුවෙකු බිහිකලේ නම්, ඔබට දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් ඇත.

  • බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය (Poly-cystic ovarian syndrome/PCOS)

ඔබ බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය ඇති කාන්තාවක් නම්, ඔබට දියවැඩියාව ඇතිවීමට වැඩි අවදානමක් පවතී. බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය යනු අක්‍රමවත් ඔසප්වීම, ශරීරයේ වැඩිපුර රෝම හටගැනීම, තරබාරුවීම වැනි ලක්ෂණ සමග සමාජයේ බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි.

  • අධික රුධිර පීඩනය

ඔබට අධික රුධිර පීඩනය ඇත්නම්, දියවැඩියාව වැළඳීමටද වැඩි ඉඩක් පවතී.

  • රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අසාමාන්‍ය වීම

ඔබේ රුධිරයේ පවතින ශරීරයට හිතකර වන කොලෙස්ටරෝල් වර්ගයක් වන අධි-ඝනත්ව ලිපෝප්‍රෝටීන (High-density lipoprotein/HDL) ප්‍රමාණය අඩුනම්, දියවැඩියාව වැළඳීමට වැඩි ඉඩක් ඇතිවේ. එමෙන්ම, ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් වර්ගයක් වන ට්‍රයිග්ලිසරයිඩ් (Triglycerides) මට්ටම වැඩිවන විටද, දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිවේ.

ගර්භණී සමයේදී හටගන්නා දියවැඩියාව (Gestational diabetes) වැළඳීමට හේතුවිය හැකි අවදානම් සාධක

ඕනෑම ගර්භණී මවකට, ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳීමට ඉඩ ඇත. නමුත්, ඇතැම් කාන්තාවන්ට, අනෙක් කාන්තාවන්ට සාපේක්ෂව එසේ වීම සඳහා වැඩි අවදානමක් පවතී.

  • වයස

වයස අවුරුදු 25 ට වඩා වැඩි කාන්තාවන්ට ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් පවතී.

  • පවුලේ හෝ ඔබේ රෝග ඉතිහාසය

ඔබට පූර්ව දියවැඩියාව ඇත්නම් හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකුට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳී ඇත්නම්, ඔබට ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් පවතී. එමෙන්ම, ඔබේ පෙර ගර්භණී සමයක දියවැඩියාව වැළඳුනි නම්, යලි එසේ වීමට වැඩි අවදානමක් ඇත. පෙර ගර්භණී අවදියක ඔබ විශාල දරුවෙකු ප්‍රසූතකලේ නම් හෝ පැහැදිලි හේතුවක් නොමැතිව ගැබ තුළ දරුවා මියගියේ නම්, ඔබට ගර්භණී අවදියේදී දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිය.

  • ශරීරයේ බර වැඩිවීම

දරුවා පිළිසිඳගැනීමට පෙර ඔබගේ ශරීරයේ බර වැඩිනම් හෝ ඔබ තරබාරු නම්, දියවැඩියාව වැළඳීමට වැඩි ඉඩක් පවතී.

  • ජනවර්ගය

නීග්‍රෝ, ලතින්, කියුබානු, මෙක්සිකානු, රතු ඉන්දියානු සහ ආසියානු ජාතික කාන්තාවන්ට ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් ඇත. නමුත්, එසේ වීමට නිසි හේතුවක් තවම සොයාගෙන නැත.

(ඡායාරූප අනුග්‍රහය: Vilmos Vincze)

සබැඳි ලිපි:

දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?
දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?
දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?
දියවැඩියාව පාලනය කිරීමට ඉඟි 10 ක්
දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?
දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*