ලිංගික එක්වීම වේදනාකාරී වන්නේ ඇයි?

ලිංගික එක්වීම වේදනාකාරී වන්නේ ඇයි?

ලිංගික එක්වීම වේදනාකාරී වීම, වෛද්‍ය විද්‍යාත්මකව Vaginismus ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී සිදුවන්නේ කාන්තාවගේ යෝනි මාර්ගයට යමක් ඇතුළු වන විට, එහි මාංශ පේශි සංකෝචනය වී යෝනි මාර්ගය අවහිර වීමයි. එමනිසා, මෙම තත්ත්වය ඇතිවන විට වේදනාකාරී බවක් හෝ අපහසුතාවයක් ඇතිවීම සිදුවේ. ඒ හේතුවෙන්, Vaginismus තත්ත්වය ඇති බොහෝ කාන්තාවන්ට ලිංගික එක්වීම ප්‍රියජනක වන්නේ නැහැ. කෙසේ වුවත්, Vaginismus තත්ත්වය ඇති බොහොමයක් කාන්තාවන් ඒ පිළිබඳව වෛද්‍යවරයෙක් සමග සාකච්ඡා කිරීමට ඇති ලජ්ජාව සහ අපහසුතාවය නිසා ප්‍රතිකාර ගැනීමට පෙළඹෙන්නේ නැහැ.

රෝග ලක්ෂණ

ලිංගික එක්වීම වේදනාකාරී වීම යම් කාන්තාවකට Vaginismus තත්ත්වය ඇති බව හඟවන පළමු සලකුණ වේ. මෙම වේදනාව ලිංගික එක්වීම ආරම්භයේදී පමණක් ඇතිවන මද අපහසුතාවයක සිට දැඩි වේදනාවක් දක්වා පරාසයක වෙනස් විය හැක. ලිංගික එක්වීම දැඩි ලෙස වේදනාකාරී වන කාන්තාවන් ලිංගික එක්වීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අවස්ථා පවතී. Vaginismus තත්ත්වය සමග ඇතිවන වේදනාව ආරම්භ වන්නේ පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුළු කිරීමත් සමගය. සාමාන්‍යයෙන්, පුරුෂ ලිංගය යෝනි මාර්ගයෙන් ඉවත් කිරීමත් සමග වේදනාව පහව යයි. නමුත්, ඇතැම් විටෙක වේදනාව මද වේලාවක් දිගටම පවතින අවස්ථා ද නැතුවා නොවේ.

බොහොමයක් කාන්තාවන් Vaginismus තත්ත්වය සමග ඇතිවන වේදනාව විස්තර කරන්නේ තම යෝනි මාර්ගය ඉරී යන්නාක් බඳු වේදනාවක් ලෙසය. වෛද්‍යවරයෙක් විසින් Vaginismus තත්ත්වය ඇති කාන්තාවකගේ අභ්‍යන්තර යෝනි පරීක්ෂාවක් සිදුකරන විටද මෙම ක්‍රියාවලිය සිදුවනු දැකිය හැක.

Vaginismus තත්ත්වය ඇතිවීමට හේතු

සැබැවින්ම, Vaginismus තත්ත්වය හටගැනීම සිදුවන්නේ ඇයිද යන්න තවමත් පැහැදිලි නොවූ කරුණක්. සාමාන්‍යයෙන්, එය අනිසි බිය (Anxiety) සහ ලිංගිකව එක්වීමට පවතින බිය සමග සම්බන්ධ වනු දැකිය හැක. කෙසේ වුවත්, මුලින්ම ඇතිවන්නේ Vaginismus තත්ත්වය ද, නැතහොත් අනිසි බිය ද යන්න තවමත් අපැහැදිලි ය.

යම් බාහිර උත්තේජයක් හේතුවෙන් හිතා මතා සිදුනොවන, සිරුරෙහි ඇතිවන යම් ක්ෂණික ප්‍රතිචාරයක්, ප්‍රතීක ක්‍රියාවක් ලෙස හඳුන්වනවා. Vaginismus තත්ත්වයේදී සිදුවන්නේත් එවැනි ප්‍රතීක ක්‍රියාවක්. එමනිසා, ලිංගික එක්වීමකට හෝ අභ්‍යන්තර යෝනි පරීක්ෂාවකට සූදානම් වන විටදීම යෝනි මාර්ගයේ මාංශ පේශි තදින් හැකිලෙන්නේ Vaginismus තත්ත්වය ඇති කාන්තාවගේ අනුදැනුමකින් තොරවයි. එමනිසා, යෝනි මාර්ගය කුඩා වීම හෝ අවහිර වීම නිසා වේදනාවක් ඇතිවන අතර, ඇතැම් කාන්තාවන් තම යෝනි මාර්ගය අසාමාන්‍ය ලෙස කුඩා යැයි වරදවා වටහා ගැනීමද දැකිය හැක.

බොහෝ විට, පෙර සිදුවූ අප්‍රසන්න අත්දැකීමක් හෝ වේදනාකාරී අත්දැකීමක් හේතුවෙන් Vaginismus තත්ත්වය ඇතිවනු දැකිය හැක. ලිංගික අතවරයකට ලක්වීම, යෝනි මාර්ගය ආශ්‍රිතව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක් වේදනාකාරී වීම, ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් පවතින ඇතැම් සංස්කෘතික හා ආගමික මත උදාහරණ ලෙස දැක්විය හැක.

ඇතැම් කාන්තාවන්ට තම යෝනි මාර්ගයට යමක් ඇතුළු වන සෑම අවස්ථාවකම Vaginismus තත්ත්වය ඇතිවේ. ඇතැමෙකුට ලිංගිකව එක්වන විටදී පමණක් Vaginismus තත්ත්වය ඇතිවන අතර, වෛද්‍යවරයෙක් විසින් යෝනි පරික්ෂා කිරීමකදී එසේ නොවේ. සමහර කාන්තාවන්ට ඇතැම් අවස්ථා වලදී පමණක් Vaginismus තත්ත්වය ඇතිවේ.

යෝනි මාර්ගය ආශ්‍රිතව හෝ අවට පටක වල ආසාදන, ඇතැම් චර්ම රෝග, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (Sexually transmitted diseases or STDs), ශ්‍රෝණි කුහරය තුළ පවතින ආසාදන, එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) තත්ත්වය, ගර්භාෂයේ අසාමාන්‍යතා, සහ ඩිම්බ කෝෂ වල පවතින අසාමාන්‍යතා නිසාවෙන්ද ලිංගික එක්වීම වේදනාකාරී විය හැක. එමනිසා, ලිංගික එක්වීම වේදනාකාරී වන්නේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ සඳහා හේතුවන සාධකය නිවැරදි කරගැනීම වැදගත් වේ.

Vaginismus තත්ත්වය සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

සාමාන්‍යයෙන්, Vaginismus තත්ත්වය ඇති කන්තාවන්ගේ යෝනි මාර්ගය කුඩා වීමක් දක්නට නොලැබේ. එය අසාමාන්‍ය ලෙස කුඩා බවක් හැඟෙන්නේ යෝනි මාර්ගය ආශ්‍රිතව පවතින මාංශ පේශි සංකෝචනය වීම නිසාවෙනි. එමනිසා, යෝනි මාර්ගය තවදුරටත් විශාල කිරීමක් අවශ්‍ය නොවේ. එමනිසා, ප්‍රතිකාර මගින් සිදුකරන්නේ හිතා මතා සිදුනොකරන, ප්‍රතීක ක්‍රියාවක් හේතුවෙන් සංකෝචනය වන මාංශ පේශි ක්‍රමයෙන් ලිහිල් කර පවත්වා ගැනීමට හුරු කිරීමයි. ප්‍රථමයෙන්, අදාළ කාන්තාවගේ මනස සැහැල්ලු කරගැනීමට උපකාර කරනු ලැබේ.

Vaginismus තත්ත්වය හටගැනීම සඳහා හේතුවන්නේ යෝනි මාර්ගය වටා පවතින මාංශ පේශි සංකෝචනය වීමයි. එමනිසා, කීගල් ව්‍යායාම (Kegel exercises) ලෙස හැඳින්වෙන ක්‍රියාකාරකම් මගින් එම මාංශ පේශි සංකෝචනය කිරීමට සහ ලිහිල් කිරීමට පුහුණු විය හැකියි.

මුලින්ම, මුත්‍රා පිටකරන අතරතුර එය මදක් නතර කිරීම සිදුකරන්න. මෙසේ සිතා මතා මුත්‍රා පිටකිරීම අතරමග නතරකිරීම සඳහා සංකෝචනය කරන මාංශ පේශි හඳුනා ගන්න. කීගල් ව්‍යායාම සඳහා යොදාගන්නේ ද එම මාංශ පේශීන්මය.

මුලින් මාංශ පේශි තද කරන්න. එසේ තත්ත්පර 2-10 ක් මාංශ පේශි තදකරගෙන සිට ලිහිල් කරන්න. මෙසේ එක් වරකට විසි වතාවක් පමණ කරන්න. දවස පුරා වේලාව ලැබෙන පරිදි වරින් වර කීගල් ව්‍යායාම කරන්න.

දින කිහිපයකට පසුව, කීගල් ව්‍යායාමය කරමින් ලිහිසිකාරක ආලේපනයක් ගැල්වූ ඇඟිල්ලක් සෙමෙන් යෝනි මාර්ගයට ඇතුළු කරන්න. මෙහිදී, ඔබේ ඇඟිලි වල නියපොතු කොටට කපා තිබීම ඉතාම වැදගත්. එක් ඇඟිල්ලකින් ආරම්භ කර ක්‍රමයෙන් ඇඟිලි තුනක් දක්වා ඇතුළු කරන්න. එසේ කිරීමේදී ඔබේ ඇඟිලි වටා මාංශ පේශි හැකිලීම සහ ලිහිල් වීම ඔබට දැනෙනු ඇත. ඔබට වේදනාවක් හෝ අපහසුතාවයක් ඇතිවන ඕනෑම විටෙක ඇඟිලි ඉවතට ගැනීම සිදුකරන්න. කීගල් ව්‍යායාම කිරීම සඳහා ඇඟිලි වෙනුවට භාවිතා කළ හැකි vaginal dilators නම් වූ යෝනි විස්තාරණය කරන උපකරණ ද පවතී. මෙම ප්‍රතිකර්ම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබීම සඳහා සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා කල්ගත විය හැකියි. Vaginismus තත්ත්වය ඇතිවීම සඳහා හේතුවන අනිසි බිය සමනය කිරීම සඳහා මනෝ විද්‍යාත්මක උපදේශනය ද උපයෝගී කරගත හැකියි.

ඉහත කී ප්‍රතිකර්ම වලින් පසුව, තම යෝනි මාර්ගයේ ප්‍රමාණය සහ ඒ අවට මාංශ පේශි ක්‍රියාකාරීත්වය පිළිබඳව සෑහීමකට පත්වන්නේ නම්, ලිංගිකව එක්වීමට උත්සාහ කළ හැකියි. එහිදී වේදනාවක් හෝ අපහසුතාවයක් ඇතිවේ නම්, උත්සාහය නැවැත්වීමට සහකරු සමග එකඟවී තිබීම ඉතාම වැදගත්.

ඉතාමත් කලාතුරකින්, යෝනි මාර්ගය කුඩාවට පිහිටීම නිසා Vaginismus තත්ත්වය ඇතිවන කාන්තාවන් ද සිටිය හැක. එවැනි අවස්ථා වලදී සුළු ශල්‍යකර්මයක් මගින් යෝනි මාර්ගය විශාල කරගැනීමට හැකියාව පවතී.

(ඡායාරූප අනුග්‍රහය: RenaudPhoto)

සබැඳි ලිපි:

වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) ගැන දැනගනිමු.
අධිකව ඔසප් වීම සිදුවන්නේ ඇයි?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ලිංගික එක්වීම වේදනාකාරී වන්නේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*