සුදුලූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි

සුදුලූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි

සුදුලූණු (Garlic) යනු ශ්‍රී ලාංකීය ආහාර වලට නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. ඇතැම් විටෙක, සුදුලූණු රසවත් ව්‍යංජනයක් ලෙසද සකස් කරන අවස්ථා දැකිය හැක. සැබැවින්ම, සුදුලූණු ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යමය වාසි ලැබෙනවාද? සුදුලූණු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි මොනවාදැයි පර්යේෂණාත්මක සාක්ෂි මගින් සරළව පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ.

කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා රුධිර වාහිනී සිහින් වීමේ රෝගය atherosclerosis ලෙස හැඳින්වේ. විශේෂයෙන්ම, මෙය ක්‍රමයෙන් වයස්ගත වීමේදී සිදුවනු දැකිය හැක. මෙහිදී, රුධිර වාහිනී බිත්ති වල නම්‍යශීලීතාවය ක්‍රමයෙන් අඩුවන අතර, හෘදයාබාධය (Heart attack) සහ අංශභාගය (Stroke) වැනි දරුණු රෝග හටගැනීමට පවතින අවදානම ද වැඩිවේ. සුදුලූණු වලට atherosclerosis තත්ත්වය ඇතිවීම අඩුකිරීමට හැකියාව පවතින බවට පර්යේෂණාත්මක සාධක පවතී. ඉන් එක් පර්යේෂණයකදී, දවසට දෙවරක් සුදුලූණු කුඩු වශයෙන් වසර දෙකක් ආහාරයට ගැනීමෙන් පසු atherosclerosis තත්ත්වය හටගැනීම අඩුවන බවට පෙනී ගොස් ඇත. වසර හතරකට වඩා වැඩි කාලයක්, වැඩි ප්‍රමාණ වලින් සුදුලූණු කුඩු ආහාරයට ගැනීමට නිර්දේශ කර පර්යේෂණය සිදුකල විට, පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන්ට මෙම වාසිය වැඩිපුර ලැබෙන බවට සාධක ඇත.

ඇතැම් පර්යේෂණාත්මක සාධක මගින් සුදුලූණු මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා හටගැනීමට පවතින අවදානම අඩුකරන බව සොයාගෙන ඇත. දැනටමත් මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගය ආශ්‍රිතව යම් ගැටිති වර්ධනය වුනු පුද්ගලයන්, හොඳින් පැසුණු සුදුලූණු වල සාරය වැඩි සාන්ද්‍රණයකින් දිනපතා වසරක කාලයක් භාවිතා කළ විට, නැවත අලුතෙන් ගැටිති වර්ධනය වීමට පවතින අවදානම අඩුවන බව සොයාගෙන ඇත.

එමෙන්ම, අධික රුධිර පීඩනය (Hypertension) පවතින පුද්ගලයන්ට සුදුලූණු කුඩු ආහාරයට ගැනීමට සැලැස්වීමෙන්, රුධිර පීඩනය 7-8% ක් දක්වා ප්‍රමාණයකින් අඩුවන බව පර්යේෂණ කිහිපයකින්ම පෙන්වා දී ඇත.

චීනයේදී සිදුකල පර්යේෂණයකදී, එක් සුදුලූණු බිකක් බැගින් දිනකට ආහාරයට ගන්නා පුරුෂයන්ට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා (Prostate cancer) හටගැනීමට පවතින අවදානම 50% කින් අඩුවන බව සොයාගෙන ඇත. කෙසේ වුවත්, ඉරානයේ පුරුෂයන් යොදාගෙන මෙම පර්යේෂණය කිරීමේදී සුදුලූණු මගින් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුවන බවට සාධක හමුවී නැත. නමුත්, පෙර කරන ලද පර්යේෂණයේ ප්‍රතිඵල මත, පර්යේෂකයන්ගේ අදහස වනුයේ සුදුලූණු මගින් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමේ අවදානම මෙන්ම, පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක රෝග ලක්ෂණ ද අඩුවිය හැකි බවයි.

සුදුලූණු වැඩි වශයෙන් ආහාරයට ගැනීමට නිර්දේශ කර සති 8 කට පමණ පසු පරීක්ෂා කිරීමේදී එසේ ආහාරයට ගත් පුද්ගලයන් කිනිතුල්ලන්ගේ දෂ්ඨ කිරීම් වලට ලක්වන වාර ගණන අඩුවන බව ද සොයාගෙන ඇත.

සුදුලූණු වල පවතින ස්වාභාවික රසායනිකයක් වන ඇඕන් (Ajoene) වල දිලීර නාශක ගුණයක් පවතින බව සොයාගෙන ඇත. 0.6% ඇඕන් ක්‍රීම් දවසකට දෙවතාවක් සතියක පමණ කාලයක් ආලේප කිරීමෙන් සමේ හටගන්නා පණුකැවිල්ල (Ringworm) නැමැති දිලීර ආසාදනය මෙන්ම, ඉකිලි වල හටගන්නා දිලීර ආසාදන ද සුවවේ. එමෙන්ම, 1% ඇඕන් ක්‍රීම් ආලේප කිරීමෙන් පාදවල ඇඟිලි කරු අතර හටගන්නා Athlete’s foot හෙවත් Tinea Pedis නැමැති දිලීර ආසාදනය ද සුව වන බව සොයාගෙන ඇත. මෙම 1% ඇඕන් ආලේපනය, ටර්බිනෆින් (Terbinafine) නැමැති දිලීර නාශක ඖෂධය තරම් ම ගුණදායක බව පර්යේෂකයන්ගේ අදහසයි.

(ඡායාරූප අනුග්‍රහය: Quinn Dombrowski)

සබැඳි ලිපි:

කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?
මහදුරු වලින් ලැබෙන අප්‍රකට වාසි රැසක් ගැන දැනගනිමු.
කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැන දැනගනිමු.
කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක්

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සුදුලූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*