ක්‍රීඩකයෙකුට ශාරීරික යෝග්‍යතාවය වැදගත් වන්නේ ඇයි?

ක්‍රීඩකයෙකුට ශාරීරික යෝග්‍යතාවය වැදගත් වන්නේ ඇයි?

ක්‍රීඩකයෙක් යනු ඕනෑම ආකාරයක ව්‍යායාමයක හෝ ක්‍රීඩාවක දක්ෂ ලෙස නියැලීමට හැකියාව ඇති පුද්ගලයෙකු හැඳින්වීමට යොදන තනි වචනයකි. සාමාන්‍යයෙන්, ක්‍රීඩකයෙක් මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුතු විය යුතු අතර, ශාරීරික යෝග්‍යතාවය (Physical fitness) පවත්වා ගැනීමට සහ එය ක්‍රමයෙන් වැඩිදියුණු කරගැනීමට ද උනන්දුවෙන් කටයුතු කළ යුතුය. සැබැවින්ම, අතිශය තරඟකාරීත්වයක් තිබෙන ක්‍රීඩාවක ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට නම්, මනා ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතුමය. ලෝකයේ ඉහළ තලයක සිටින සෑම ක්‍රීඩකයෙකුම ශාරීරික යෝග්‍යතාවයට ඉහළ ප්‍රමුඛතාවයක් ලබාදෙන අතර, ඔවුන් ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු කරගැනීමට යොදාගන්නා ව්‍යායාම වැඩසටහන් සඳහා දිනකට පැය කිහිපයක්ම වෙන්කරනු දැකිය හැක. එවැනි පළමු පෙළ ක්‍රීඩකයන් ඇදීම් (Strains) වලට ඔරොත්තු දෙන ආකාරයට සිරුර සකස් කරගැනීම සහ ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීම සඳහා සැලකිය යුතු කාලයක් වෙන්කරයි. ක්‍රීඩකයෙකුට ශාරීරික යෝග්‍යතාවය වැදගත් වන්නේ ඇයිද යන්න සරළ ලෙස පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

සාමාන්‍යයෙන්, ඕනෑම ක්‍රීඩකයෙක් තමා නියැලෙන ක්‍රීඩාවේ යම් ශාරීරික යෝග්‍යතා මට්ටමක් අයත්කරගත් පසු ඊළඟට උත්සාහ කළ යුත්තේ එහි උපරිම මට්ටමට ලඟාවීමටය. මක්නිසාද, අන්තර්ජාතික පළමු පෙළ ක්‍රීඩකයන් අනුගමනය කරන ක්‍රමවේදය එයයි. එවැනි ක්‍රීඩකයන්ට ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙක් (Fitness trainer) සිටින අතර, ඔහු හෝ ඇය අදාළ ක්‍රීඩකයාගේ ශාරීරික යෝග්‍යතා මට්ටම තක්සේරු කරමින්, ක්‍රීඩකයාට ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීමට උපකාර කරයි. එමෙන්ම, ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙක් පුහුණුවීම් සහ ව්‍යායාම යොදාගනිමින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය ක්‍රමයෙන් වැඩිදියුණු කිරීමටද කටයුතු කරයි.

ක්‍රීඩකයෙකුට ශාරීරික යෝග්‍යතාවය වැදගත් වන්නේ ඇයි?

  • ක්‍රීඩකයෙකුට ශාරීරික යෝග්‍යතාවය වැදගත් බවට විවාදයක් නැත. මක්නිසාද, යම් ක්‍රීඩකයෙකුට කුසලතාවයන් තිබුණ ද නිසි පමණින් ශාරීරික යෝග්‍යතාවය නොමැති නම්, දිගටම හොඳ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වේ.
  • කාලයත් සමග ක්‍රීඩකයෙකුගේ කුසලතා වර්ධනය වීම හා ඔප මට්ටම් වීම අවශ්‍ය වන අතර, යම් ක්‍රීඩාවක සාර්ථක වීම සඳහා කුසලතාවයන් තවදුරටත් මුවහත් කරගැනීමට ශාරීරික යෝග්‍යතාවය අත්‍යාවශ්‍ය අංගයක් වේ.
  • ක්‍රීඩකයෙකුට තම ක්‍රීඩාව හෝ ඉසව්ව පුරාම දක්ෂතා දක්වමින් දිගටම නියැලීම සඳහා ශාරීරික යෝග්‍යතාවය අතිශය වැදගත් වේ. මක්නිසාද, ශාරීරික යෝග්‍යතාවය දුර්වල ක්‍රීඩකයන්ට තම ක්‍රීඩාව හෝ ඉසව්ව පුරා දිගටම දක්ෂතා දැක්වීමට නොහැකි වේ. එයට හේතුව ඔවුන් ඉක්මනින්ම විඩාවට පත්වීමයි.
  • වෙහෙසට පත්වූ ක්‍රීඩකයෙකු තුලින් ක්‍රීඩාව ආරම්භයේ තිබූ නැවුම් බව, ශක්තිමත් භාවය, සහ කුසලතාවය දක්නට නොලැබේ. එමනිසා, දිගු වේලාවක් නැවුම්ව, ශක්තිමත්ව, සහ තියුණු ලෙස තරඟ වැදීම සඳහා ඉහළ ශාරීරික යෝග්‍යතා මට්ටමක් පැවතීම අත්‍යාවශ්‍ය අංගයකි.
  • හොඳ ක්‍රීඩකයෙක් වීම සඳහා කුසලතාවයන් සහ ශාරීරික යෝග්‍යතාවය යන අංග දෙකම එක සමානව වැදගත් වන බැවින්, ක්‍රීඩකයෙක් තම කුසලතාවයන් සහ ශාරීරික යෝග්‍යතාවය එකවර, එක සමානව වැඩිදියුණු කරගැනීමට නිතිපතා වෙහෙසිය යුතුවේ.

(ඡායාරූප අනුග්‍රහය: Samuel Blanck)

සබැඳි ලිපි:

පියවර 7 කින් මනා ශාරීරික යෝග්‍යතාවයක් ඇතිකර ගනිමු.
ව්‍යායාම කිරීමේදී නිවැරදි ක්‍රමය අනුගමනය කල යුත්තේ ඇයි?
ශාරීරික යෝග්‍යතා මට්ටම වැඩිදියුණු කරගැනීමට ඉඟි කිහිපයක්
ප්‍රතිරෝධ පුහුණුව (Resistance training) මගින් ලැබෙන වාසි 20 ක්

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ක්‍රීඩකයෙකුට ශාරීරික යෝග්‍යතාවය වැදගත් වන්නේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*