නව වසරේදී සුවැති දිවියක් සඳහා ඔබේ ඉලක්ක සාර්ථක කරගනිමු.

නව වසරේදී සුවැති දිවියක් සඳහා ඔබේ ඉලක්ක සාර්ථක කරගනිමු

2016 වසරට සමු දී අප 2017 නව වසරට පා තබා ඇත්තෙමු. නව වසරේදී සුවැති දිවියක් පවත්වා ගැනීම සඳහා ඔබට සපුරාගැනීමට යම් යම් ඉලක්ක පැවතිය හැක. එය, බර අඩුකරගැනීම, දුම්පානය නතර කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමට හුරුවීම වැනි දෙයක් විය හැක. එසේනම්, ඔබේ ඉලක්කය සපුරාගැනීම සඳහා එයට අනුගත වියයුතු හොඳම ක්‍රමය කුමක්ද? මනෝ විද්‍යාඥයන්ට අනුව, යම් ඉලක්කයක් හොඳින්ම සාර්ථක කරගැනීම සඳහා, ඔබගේ ප්‍රධාන ඉලක්කය විශේෂිත, ප්‍රමාණවත්, නියමිත කාලයක් තුළ සපුරාගැනීමට හැකි කුඩා ඉලක්ක කිහිපයක් බවට පත්කල යුතුවේ. නව වසරේදී, සුවැති දිවියක් සඳහා ඔබේ ඉලක්ක සකස් කරගත යුතු ආකාරය පිළිබඳ ඉඟි ගණනාවක් පහත දැක්වේ.

  • එක් ප්‍රධාන ඉලක්කයක් වෙන්කර ගන්න. එවිට, ඔබේ ශක්තිය, හැකියාව, සහ අරමුණ, ඔබේ ජීවන රටාවේ ඇති එක් වෙනස්කමකට කේන්ද්‍රවන බැවින්, එය සාර්ථක වීමට ඇති ඉඩකඩ වැඩිවේ.
  • ඔබේ ඊළඟ වසරේ අභිමතාර්ථය කුමක්දැයි තීරණය කිරීමට වසරේ අවසාන දිනය තෙක් හිඳින්න එපා. වසර අවසන් වීමට දින කිහිපයකට පෙර, ඔබට නව වසරේදී මුදුන් පමුණුවා ගතයුත්තේ කුමක්දැයි සිතන්න.
  • පැරණි ඉලක්ක සහ අභිමතාර්ථ අමතක කර දමන්න. පැරණි ඉලක්කයන් නැවත පුනරීක්ෂණය කිරීමෙන් ඉච්ඡාභංගත්වයකට පත්වීම සිදුවිය හැක.
  • අනෙක් අයගේ ඉලක්ක සහ සාම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වළකින්න. ඔබේ ජීවිතයට ආවේණික සහ ඔබටම සුවිශේෂී වන ඉලක්කයක් සකස් කරගන්න.
  • ඔබේ ප්‍රධාන ඉලක්කය, කුඩා පියවර කිහිපයකට වෙන්කර ගන්න. ඒවා වෙනස් නොවන සුළු, නිශ්චිත කාල රාමුවක් තුළ කලහැකි ඒවා වීම වැදගත් වේ.
  • ඔබේ අරමුණ පිළිබඳව, සමීපතම මිතුරන්ට සහ ඥාතීන්ට පවසන්න. බොහෝවිට, ඔවුන් ඔබේ අරමුණ සපුරාගැනීමට උදවු කරනු ඇත. එමගින්, ඔබේ ඉලක්කය අසාර්ථක වීමට ඇති අවස්ථාව අඩුවේ.
  • ඔබේ ඉලක්කය සපුරාගැනීමට අනුගමනය කලයුතු පියවර පිළිබඳ නිතර සොයා බලන්න. එමගින්, එක් එක් පියවර සාර්ථක වනවිට ඔබ තවදුරටත් උනන්දු වනු ඇත.
  • ඔබේ ප්‍රධාන ඉලක්කයේ එක් එක් පියවර සාර්ථක වනවිට, ඔබටම කුඩා ත්‍යාගයක් පිරිනමන්න. එමගින්, ඔබේ උනන්දුව පවත්වා ගතහැකි අතර, සාර්ථකත්වය පිළිබඳ හැඟීමක් ඔබේ සිතේ ජනිත වනු ඇත.
  • ඔබේ සැලසුම් සහ එහි සාර්ථකත්වය ලකුණු කලහැකි ඇසට ප්‍රියමනාප වනසේ සකස්කල සටහනක් ඔබට නිතර පෙනෙන ස්ථානයක අලවා තබන්න.
  • කලින් කලට ඔබේ පැරණි අයහපත් පුරුදු මතුවිය හැක. එවැනි අසාර්ථකවීම් සැමවිටම තාවකාලික තත්ත්වයක් ලෙස පමණක් සිතන්න. එය, ඔබේ ඉලක්කය අත්හැරීමට හේතුවක් කර නොගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Adam Wight)

 

සබැඳි ලිපි:

ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්
ඔබ තුළ සිටිනා ඔබව හඳුනාගන්නේ කොහොමද?
නවීන සමාජයේ සරළව ජීවත්වීමට ක්‍රම 6 ක්
මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
සරල ලෙස ජීවත්වන්නේ කෙසේද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "නව වසරේදී සුවැති දිවියක් සඳහා ඔබේ ඉලක්ක සාර්ථක කරගනිමු."

  1. ඉෂාර මදුශංක | January 2, 2017 at 7:12 am | Reply

    ඉතාම වැදගත් ලිපියක්. 2017 වසර සෞඛ්‍ය සම්පන්න වසරක් වේවා වෛද්‍යතුමනි ඔබටත්

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | January 3, 2017 at 1:02 pm | Reply

      ඔබේ ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතියි! ඔබටත් උදාවූ නව වසර සතුට, සාමය, සහ සෞභාග්‍යය සපිරි වසරක් වේවායි පතමි.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*