ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු.

ස්ත්‍රී වන්ධ්‍යාකරණය හෙවත් එල්. ආර්. ටී. සැත්කම ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයකි. මෙහිදී, ශල්‍යකර්මයක් මගින් ෆැලෝපීය නාළය (Fallopian tube) අවහිර කිරීම සිදුවන අතර, මෙම ක්‍රමය සාර්ථක මෙන්ම, ආරක්ෂිතද වේ. එමෙන්ම, සංකූලතා ඇතිවීමට ඇති අවදානමද අඩු ය. එල්. ආර්. ටී. සැත්කම කිරීමේදී, ෆැලෝපීය නාළ කපා වෙන්කර ගැටගැසීම, විශේෂිත වළලු හෝ ක්ලිප් මගින් අවහිර කිරීම, හෝ විද්‍යුත් ක්‍රමයකට පුළුස්සා දැමීම සිදුකරයි. එමගින්, ශුක්‍රාණු සහ ඩිම්බ මුණගැසීම වැළැක්වෙන බැවින් ගැබ්ගැනීමක් සිදුනොවේ.

ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම)

එල්. ආර්. ටී. සැත්කම, උදර බිත්තියේ විශාල කැපුමක් සිදුනොකර, කුඩා සිදුරු කිහිපයකින් ඇතුළු කරන කැමරාවක් හා අඬු කිහිපයක් ආධාරයෙන් සිදුකරන ලැපරොස්කොපික් (Laparoscopic) ශල්‍යකර්මයක් ලෙස සිදුකල හැක. නැතහොත්, උදර බිත්තියේ කුඩා කැපුමක් යොදා සිදුකරන මිනි-ලැපරොටොමි (Mini-laparotomy) ශල්‍යකර්මයක් ලෙස සිදුකරයි. මෙම ශල්‍යකර්මය, උදර බිත්තියේ අදාළ කොටස හිරි වැට්ටවීමෙන් (ස්ථානීය නිර්වින්දනය කිරීමෙන්) අනතුරුවද සිදුකල හැක. දෙවන ක්‍රමය බොහෝවිට සිදුකරන්නේ, දරු උපතකට වහාම පසුව ස්ත්‍රී වන්ධ්‍යාකරණය කිරීමට අවශ්‍ය වූ විටය. මෙම ශල්‍යකර්මයන් සිදුකිරීමෙන් අනතුරුව, ශාරීරික අපහසුතා පහව ගිය පසු අදාළ කාන්තාවට, ලිංගිකව එක්වීමට බාධාවක් නොමැත.

 

එල්. ආර්. ටී. සැත්කමේ සඵලබව

මෙය, බොහෝ සාර්ථක ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක් වන අතර, ශල්‍යකර්මය අවසන් වූ වහාම ඵලදායී වේ. සැත්කමෙන් පසුව, වසරක් තුළදී ගැබ්ගැනීමට ඇති හැකියාව 0.13% ක් වේ.

 

එල්. ආර්. ටී. සැත්කම ආශ්‍රිත අතුරු ආබාධ සහ අවදානම් සහගත තත්ත්වයන්

නිර්වින්දනය සහ ශල්‍යකර්මය ආශ්‍රිත සංකූලතා පමණක් සිදුවීමට කුඩා අවදානමක් ඇත. අතුරු ආබාධ නොමැති තරම් ය. මෙම සැත්කම මගින්, කාන්තා හෝමෝන ක්‍රියාකාරීත්වයට කිසිඳු බලපෑමක් ඇතිනොවන බැවින්, සාමාන්‍ය පරිදි ඔසප්වීම සිදුවේ.

 

සැත්කම සිදුකිරීමට පෙර අවධානයට ලක්විය යුතු කරුණු සහ ප්‍රවේශම් විය යුතු අවස්ථා

මෙහිදී පහත සඳහන් සාධක කෙරෙහි අවධානය යොමුකල යුතුය.

  • ශල්‍යකර්මයට යොදාගන්නා ද්‍රව්‍ය හෝ ඖෂධ වලට අසාත්මිකතාවයක් (Allergy) හෝ අධිසංවේදීතාවයක් (Hypersensitivity) දැක්වීම.
  • නැවත ගැබ්ගැනීමක් අවශ්‍ය වේ දැයි කාන්තාවගේ හෝ ස්වාමියාගේ සැක සහිත මනෝභාවයක් පැවතීම.
  • ගැබ්ගෙන තිබීම හෝ ගැබ්ගෙන ඇති බවට සැකයක් පැවතීම.
  • ශල්‍යකර්මය සිදුකිරීමට අපහසු වන පිහිටීමක ගර්භාෂය සහ ෆැලෝපීය නාළ පිහිටීම.

 

එල්. ආර්. ටී. සැත්කමේ ඇති වාසි මොනවාද?

  • සාමාන්‍ය පරිදි ඔසප්වීම.
  • බොහෝ ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයක් වීම.
  • දිගුකාලීන මෙන්ම ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක් වීම.
  • අතුරු ආබාධ අවම වීම.
  • කිසිඳු වියදමක් නොමැතිවීම.
  • සැත්කම අවසන් වූ වහාම ඵලදායී වන බැවින්, විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් අවශ්‍ය නොවීම.
  • දිනපතා මතකයේ තබාගෙන භාවිතා කලයුතු පවුල් සැලසුම් ක්‍රමයක් නොවීම.

 

එල්. ආර්. ටී. සැත්කමේ ඇති අවාසි මොනවාද?

  • ශල්‍යකර්මයකට භාජනය වියයුතු වීම.
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂාවක් නොලැබීම.
  • නැවත ගැබ්ගැනීමක් අවශ්‍ය යැයි සිතා, නැවත ශල්‍යකර්මය නිවැරදි කිරීම අපහසු වීම සහ නිවරැදි කලත්, ගැබ්ගැනීමට ඇති හැකියාව අඩුවීම.

එල්. ආර්. ටී. සැත්කම, ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක් වන බැවින්, අඹුසැමි යුවල විසින් සාකච්ඡා කර මනා අවබෝධයකින් යුතුව සැත්කම සිදුකිරීමට තීරණය කල යුතුවේ. සේවාලාභියා විසින්, එල්. ආර්. ටී. සැත්කම සිදුකිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබිය යුතු අතර, සැත්කම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ පත්‍රිකාව අඹුසැමි දෙදෙනාම අත්සන් කල යුතුය.

 

(ඡායාරූප අනුග්‍රහය: J.K. Califf සහ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය)

 

සබැඳි ලිපි:

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!
මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති
පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ
හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු.
අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.
පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම
හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු.
මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*