දරුවාගේ දත් ආරක්ෂා කරගනිමු!

දරුවාගේ දත් ආරක්ෂා කරගනිමු!

දත් දිරායාම කුඩා දරුවන් අතර සුලබ රෝගයකි. නිවැරදි මුඛ සෞඛ්‍ය පුරුදු මගින් මෙම රෝගය වළක්වා ගැනීමට පුලුවන. එමනිසා, දරුවන්ගේ දත් ආරක්ෂා කරගැනීමට දෙමව්පියන් ලෙස ඔබට ලොකු වගකීමක් පවතී. ළමා වියේ දත් දිරායාම වළකා, මුඛ සෞඛ්‍යය රැකගැනීමට දරුවාට සහය වීමට ඔබට හැකිය. ඔබේ දරුවාගේ දත් ආරක්ෂා කරගන්නේ කෙසේද? ඒ සඳහා, හිතකර ආහාර රටාවකට දරුවා හුරු කිරීම සහ නිවැරදිව දත් මැදීම යන සාධක දෙක ඉතාම වැදගත් වේ.

හිතකර ආහාර රටාවකට ඔබේ දරුවා හුරු කරන්නේ කෙසේද?

කුඩා කල සිටම ඔබේ දරුවා හිතකර ආහාර රටාවකට හුරු කලයුතු වේ. හැකි සෑමවිටම, දරුවාට නැවුම් පළතුරු, එළවළු, සහ ධාන්‍ය වැනි ස්වාභාවික ආහාර ලබා දෙන්න. පැණිරස, රසකැවිලි, බිස්කට්, සහ බේකරි කෑම වැනි සරළ සීනි සහ ඇලෙනසුළු පිටි සහිත ආහාර ලබාදීම හැකිතරම් සීමා කරන්න. ඔබේ ළදරුවාට ආහාර පිළියෙල කරන විට, සීනි එකතු කිරීමෙන් වළකින්න. අවම වශයෙන්, පැණිරස ආහාර ගත් පසු වතුර බීමට හුරු කරන්න.

දරුවාගේ දත් නිවැරදිව මදින්නේ කෙසේද?

ඔබේ දරුවාගේ පළමු දත මතුවූ දා සිට දෙවරක් දත් මැදිය යුතුය. මේ සඳහා, ඇඟිල්ලේ දවටන ලද රළු නොවන පිරිසිදු රෙදි කැබැල්ලක් භාවිතා කලහැක. දත් හතරක් මතුවූ දා සිට අනිවාර්යයෙන්ම දත් බුරුසුවක් භාවිතා කල යුතුවේ. ආරම්භයේදී, ඔබගේ දබරැඟිල්ලට පළඳා භාවිතා කලහැකි බුරුසුවක් මේ සඳහා යොදාගත හැක. පසුව, ක්‍රමයෙන් කුඩා බුරුසුවක් හුරු කිරීම කලහැක. ඔබේ දරුවාගේ වයස මාස 12 ක් ඉක්මවූ පසු දත් මැදීමට ෆ්ලුවොරයිඩ් අඩංගු දන්තාලේප ස්වල්පයක් හෙවත් බුරුසුවේ කෙඳි මත තවරන ලද කුඩා පටලයක් යොදා ගන්න.

සතියකට වරක්, ඔබේ දරුවාගේ දත් මතුපිට දුඹුරු හෝ සුදු පැහැති ලප ඇතිදැයි පරීක්ෂා කිරීමට වගබලා ගන්න. දත් මතුපිට දිලිසීමකින් තොර සුදු හෝ දුඹුරු ලප ඇතිවීම, දත් දිරායාමේ මූලික අවස්ථාව වේ. ඔබේ දරුවාගේ උඩුතොල මදක් ඔසවා උඩු ඇන්දේ ඉදිරිපස දත් පරීක්ෂා කලහැක. එවැනි ලප කිසිවක් දුටුවහොත්, ඔබේ දන්ත වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීම කල යුතුවේ.

දත් දිරායාමේ මූලික අවස්ථාව

දත් දිරායාමේ මූලික අවස්ථාව…

ළමා වියේ දත් දිරායාම නවත්වා ගන්නේ කෙසේද?

ඔබේ දරුවාගේ දත් දිරායාම මූලික අවස්ථාවේදීම හඳුනාගතහොත්, වහාම පැණිරස, රසකැවිලි, සහ සීනි ලබාදීම හැකිතරම් අවම කරන්න. ෆ්ලුවොරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතා කරමින්, එවැනි ස්ථාන වඩාත් හොඳින් මැදීම සිදුකල යුතුය. හැකි ඉක්මනින්, ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවී නිසි ප්‍රතිකාර සහ උපදෙස් ලබාගන්න. ඔබේ දරුවාගේ කිරිදත් වල සෞඛ්‍ය තත්ත්වය, පසුව එන ස්ථිර දත් වල සෞඛ්‍ය තත්ත්වය තීරණය කරන වැදගත් සාධකයක් බව වටහා ගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: sophie & cie)

 

සබැඳි ලිපි:

ඔබේ දරුවා නිතර පැණිරස කනවාද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ දත් ආරක්ෂා කරගනිමු!" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*