නියපොතු ලස්සන කරගන්නේ කෙසේද?

නියපොතු ලස්සන කරගන්නේ කෙසේද?

නියපොතු ලස්සන කරගන්න කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වනවා. සමහර පිරිමි අයත් නියපොතු ලස්සනට තබාගන්න අකමැති නැහැ. නියපොතු හොඳින් තබාගැනීම සඳහා ඒවා සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. නියපොතු වලට වැරදි ආකාරයට, වැඩියෙන් සාත්තු කරන්න ගිහින් තමයි බොහොමයක් අය නියපොතු අවලස්සන කරගන්නේ. එසේනම්, නියපොතු වලට නිවරැදි ආකාරයට සාත්තු කර ඒවා ලස්සනට තබාගන්නේ කොහොමද?

  • නියපොතු නිතර පිරිසිදුව වියලිව තබාගන්න. ඒවා නිතර අපිරිසිදුවීම හෝ තෙත්ව පැවතීම අවලස්සන වීමට හේතුවක් වෙනවා.
  • එක දිගට බොහෝ වේලාවක් නියපොතු වතුරේ ගිල්වාගෙන වැඩ කරන්න එපා. ඔබේ අත් තෙත් වුවහොත් හැකි ඉක්මනින් අත් පිසදමා වේලාගන්න.
  • ඔබේ අත්වල සම ගොඩක් වියළි නම්, සම වියලීම වලකන ආලේපනයක් (Hand moisturizer) භාවිතා කරන්න.
  • බොහොමයක් අය නියපොතු කැපූ පසු නියපොතුවල දාර මොට වනසේ ගාන්නට පුරුදු වී සිටිනවා. සැමවිටම, ස්නානය කලපසු පමණක් නියපොතු කැපීම සහ ගෑම කලයුතුයි. මක්නිසාද, ස්නානය කලපසු නියපොතු මදක් මෘදු වෙනවා.
  • නිතර නියපොතු කපා ඒවා කොටට තබාගැනීම වැදගත්.
  • නියපොතු කපන විට, කෙලින්ම හරහට කපන්න. නියපොතු අනවශ්‍ය ලෙස රවුම්කර කැපීම නිසා නියපොතු කෙලවර ඇති සමට හානිවිය හැකියි. එවිට, නියපොතු අවට පටක වල දිළීර සහ බැක්ටීරියා ආසාදන ඇතිවේ. එපමණක් නොව, නියපොතු සම තුළට කාවැදී වර්ධනය වෙන්නටත් මේ නරක පුරුද්ද හේතු වෙනවා. මෙය පාලනය කිරීමට ශල්‍යකර්මයක් මගින් නියපොත්තේ කොටසක් හෝ මුළු නියපොත්තම ඉවත්කිරීමට සිදුවන අවස්ථා උද්ගත වෙනවා. එමනිසා, නියපොත්ත කෙලින්ම හරහට කැපීමෙන් අනතුරුව, නියපොත්තේ කෙලවර පමණක් මදක් රවුම් කරන්න.
  • යමක් විවෘත කරන්න, ඔබන්න, හෝ ගලවන්න නියපොතු ආයුධයක් හෝ උපකරණයක් ලෙස යොදාගන්න එපා.
  • බොහොමයක් අය කරන නරක පුරුද්දක් තමයි නියපොතු සපන එක. නියපොතු සැපීමෙන්, නියපොතු වලට මෙන්ම ඒවා අවට සමටත් හානි වෙන්න පුලුවන්. එවිට, ආසාදන ඇතිවෙන්නත් වැඩි ඉඩක් ඇතිවෙනවා.
  • නියපොතු ඔපදමන ආලේපනයක් (Nail polish) භාවිතා කිරීමෙන්, නියපොතු වියලීම වලකා තෙතමනය ආරක්ෂා කරගන්න පුලුවනි.
  • නියපොතු ආලේපන ඉවත්කරන දියර (Nail polish remover) නිතර භාවිතා කිරීම නියපොත්තට හානිකර වේ. එමනිසා, සතියකට එක් වරකට වඩා නියපොතු ආලේපන ඉවත්කරන දියර භාවිතා කරන්න එපා.
  • නියපොතු ආලේපන ඉවත්කරන දියර තෝරාගැනීමේදී, ඇසිටෝන් රහිත (Acetone-free) වර්ගයක් තෝරාගැනීමෙන් නියපොතු වලට සිදුවන හානිය අවම කරගන්න පුලුවන්.
  • නියපොතු ආලේපන කිසිවිටෙකවත් සූරා හෝ පොතු ගැසීමෙන් ඉවත්කරන්න එපා. එසේ කිරීමෙන්, නියපොත්තේ මතුපිටට හානි සිදුවේ.
  • සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ගැනීමත් නියපොතු අලංකාරව පවත්වා ගැනීමට වැදගත් වේ. මක්නිසාද, නියපොතු වල මනා වර්ධනයට පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙනවා. ඇතැම් පෝෂණ ඌණතා වලට නියපොතු අවලස්සන කිරීමට හැකියාව ඇතිබවත් ඔබ මතක තබාගත යුතුයි. නමුත්, ඔබේ නියපොතු හෝ කෙස් සෞඛ්‍ය සම්පන්නව තබාගැනීමට සිතා නිකරුනේ විටමින් වර්ග ගිල දැමීම නම් නිෂ්ඵල දෙයක්. එයින් වාසියක් ලැබෙනවාට වඩා සිදුවන්නේ ඔබේ ශරීර සෞඛ්‍යයට හානියක් බව අවබෝධ කරගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Kate Brady)

 

© 2016, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "නියපොතු ලස්සන කරගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*