ඉස්හොරි (Dandruff) වලින් ගැලවෙන්නේ කොහොමද?

ඉස්හොරි (Dandruff) වලින් ගැලවෙන්නේ කොහොමද

ඉස්හොරි (Dandruff) යනු සමෙහි බහුලව ඇතිවන දිගුකාලීන ප්‍රදාහයක් (Inflammation) වේ. එය වෛද්‍ය විද්‍යාත්මකව Seborrheic dermatitis ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය නිසා සමෙහි රතු පැහැති ලප හෝ කබොලක් ඇතිවී ඒ මත තෙල් සහිත පොතු හටගනී. හිසේ සම ඉස්හොරි හටගන්නා ප්‍රධානතම ස්ථානය වන අතර, ඇහිබැම, ඇසිපිය, නාසයේ දාර, තොල්, කණ පිටුපස, සහ කණේ සිදුර ආදියෙහි ද ඇතිවිය හැක. එයට අමතරව, පපුවේ මැද ප්‍රදේශයේ, පියයුරු වල යට දාරයේ, ඉකිලි වල, කිහිලි වල, සහ තට්ටම් අතර ද ඉස්හොරි ඇතිවීම සිදුවේ. කලාතුරකින්, සමේ සෑම තැනකම මෙම තත්ත්වය ඇතිවන අවස්ථා ද දැකිය හැක. සමෙහි සෛල වේගයෙන් හටගැනීම නිසා සම මතුපිට ඉක්මනින් අලුත්වීම ඉස්හොරි ඇතිවීමට හේතුවේ. සමෙහි අධික ලෙස තෙල් හටගැනීම සහ සම මතුපිට Malassezia නැමැති යීස්ට් හෙවත් දිලීර වර්ගයක් මගින් උද්දීපනය වීම මෙසේ සම ඉක්මනින් අලුත්වීමට හේතු ලෙස දැක්විය හැක.

 

ඉස්හොරි සෑදෙන්නේ කාටද?

  • සති කිහිපයක් වයසැති ළදරුවන්ගේ හිසේ සමෙහි (cradle cap), මුහුණෙහි, සහ ඉකිලි වල ඇතිවේ. වයස අවුරුදු 1 ට වඩා වැඩි දරුවන් අතර මෙම තත්ත්වය හටගන්නේ ඉතාමත් කලාතුරකිනි.
  • වැඩිහිටියන්ගෙන් 50% කට පමණ ඇත.
  • ස්නායු දුර්වල වීමෙන් හටගන්නා රෝගයක් වන පාකින්සන් රෝගය (Parkinson’s disease), අංශභාගය, සහ ඒඩ්ස් රෝගය ඇති පුද්ගලයන් අතර ඉස්හොරි බහුලව ඇතිවේ. හිසට අනතුරු සිදුවූ රෝගීන්ට ද ඉස්හොරි බහුලව ඇතිවේ.
  • කාන්තාවන්ට වඩා පිරිමින් අතර ඉස්හොරි බහුලව ඇත.

 

අවදානම් සාධක

ඉස්හොරි ඇතිවීමට පහත සදහන් අවදානම් සාධක ඉවහල් වේ.

  • පරම්පරාවෙන් පරම්පරාවට මෙම තත්ත්වය ඇතිවේ.
  • තරුණ අවදියේ සිට මැදි වයස දක්වා පුද්ගලයන් අතර ඉස්හොරි බහුලය.
  • පිරිමින් අතර කාන්තාවන්ට වඩා ඉස්හොරි බහුලය.
  • ඇතැම් රෝග (පාකින්සන් රෝගය, හෘදයාබාධ, හිසට සිදුවූ අනතුරු, අංශභාගය, ඒඩ්ස් රෝගය ආදිය)
  • විටමින් B වර්ග, සින්ක් (Zinc), හෝ ඇතැම් මේද වර්ග හිඟ/ඌණ ආහාර ගැනීම.
  • අධිකව දහඩිය දැමීම
  • අධික වෙහෙස
  • මානසික ආතතිය
  • තෙල් සහිත සහ වියළි සම
  • අධික උණුසුම් හෝ ශීත කාලගුණය
  • ඇල්කොහොල් අඩංගු ආලේපන භාවිතය
  • සම නිතර පිරිසිදු නොකිරීම
  • නිතර ෂැම්පු භාවිතා නොකිරීම
  • තරබාරුකම
  • කුරුලෑ වැනි සමේ රෝග

 

ඉස්හොරි වල රෝග ලක්ෂණ මොනවාද?

  • සමේ රතු පැහැති ලප හෝ කබොල මත තෙල් සහිත සුදු පැහැති කොරපොතු හටගැනීම.
  • උරහිස් මත සහ හිසකෙස් අතර සුදු පැහැති කුඩු හෝ පොතු දක්නට ලැබීම.
  • හිසෙහි සම වියලීම.
  • හිස කැසීම ඇතිවීම.
  • ළදරුවන්ගේ හිසේ සමෙහි පොතු ගැලවී යාම.

 

ඉස්හොරි වලට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

ඉස්හොරි ඇතිවීම පාලනය කල හැකි මුත්, සුවකිරීම කල නොහැක. මද වශයෙන් පවත්නා ඉස්හොරි වලට බහුලවම භාවිතා කල හැකි ප්‍රතිකර්මය නිතර ෂැම්පු භාවිතා කිරීමය. හිසේ සමට ෂැම්පු යෙදීමෙන් සමේ තෙල් සහිත ස්වභාවය අඩුවන අතර, සමේ පොතු ද ඉවත්වේ. සාමාන්‍ය ෂැම්පු වලින් මෙම තත්ත්වය මර්ධනය නොවේ නම්, ඉස්හොරි ෂැම්පු (Dandruff shampoo) භාවිතා කිරීම කල හැක. කුණු සෝදාහරින රසායන ද්‍රව්‍ය (Detergent) අඩංගු ෂැම්පු භාවිතයෙන් වලකින්න. මක්නිසාද, ඒවා සමෙහි පොතු ගැලවීම වැඩිකරයි. ඉස්හොරි සඳහා භාවිතා කල හැකි ෂැම්පු වර්ග කිහිපයක් ඇත.

  • ගල් අඟුරු තාර (Coal tar) අඩංගු ෂැම්පු වර්ග සමේ පොතු ගැලවීයාම අඩුකරයි.
  • සින්ක් පිරිතියෝන් (Zinc pyrithione) අඩංගු ෂැම්පු වර්ග හානිකර දිලීර සහ බැක්ටීරියා වර්ධනය අඩුකරයි.
  • සැලිසිලික් අම්ලය (Salicylic acid) අඩංගු ෂැම්පු වර්ග සමේ පොතු ඉවත්කරන නමුත්, සම වියලීම ද සිදුකරයි. එවිට පසු කාලයකදී තවදුරටත් පොතු හටගැනීම සිදුවිය හැක.
  • සෙලීනියම් සල්ෆයිඩ් (Selenium sulfide) අඩංගු ෂැම්පු වර්ග සමේ සෛල මියයාම ප්‍රමාද කරයි. එවිට සම ඉක්මනින් අලුත් වීම අඩුවී ඉස්හොරි සෑදීම ද අඩුවේ. මෙම ෂැම්පු වල දිලීර නාශක ගුණයක් ද ඇත.
  • කීටොකොනසෝල් (Ketoconazole) නැමැති දිලීර මර්ධන ඖෂධය අඩංගු ෂැම්පු වර්ග ද මෙම තත්ත්වය මර්ධනය සඳහා භාවිතා කල හැක.

සින්ක් පිරිතියෝන් හෝ සෙලීනියම් සල්ෆයිඩ් අඩංගු ෂැම්පු වර්ග භාවිතය ඉස්හොරි පාලනය කිරීම සඳහා වඩාත්ම ඵලදායී ප්‍රතිකර්මය වේ.

හිසට ෂැම්පු දැමීමට පෙර හිසකෙස් පීරීමෙන් සමේ පොතු බුරුල් වී ඉවත්වීම පහසු වේ. ඉන් අනතුරුව, හිසේ සමට ෂැම්පු යොදා හොඳින් සම්භාහනය කරන්න. විනාඩි 5 කට පමණ පසු ෂැම්පු සෝදා ඉවත් කරන්න. ඉස්හොරි පාලනය වනතෙක්, දිනපතා හෝ දවසක් හැර දවසක් ෂැම්පු භාවිතා කරන්න. ඉන්පසු, සතියකට දෙවරක් හෝ තුන්වරක් අවශ්‍ය පරිදි ෂැම්පු භාවිතා කරන්න.

සැලිසිලික් හෝ යූරියා තෙල් (Urea oil) සමෙහි ගල්වා, රැයක් පුරා තිබෙන්නට හැර සෝදා හැරීමෙන්, සම මතුපිට ඝණවූ පොතු මෘදු වී ලිහිල් වේ.

කීටොකොනසෝල් ක්‍රීම් (Ketoconazole cream) හෝ සයික්ලොපිරොක්ස් ක්‍රීම් (Ciclopirox cream) වැනි අඩු ප්‍රබලතාවයකින් යුතු ස්ටෙරොයිඩයක් (Topical steroid) සහ දිලීර නාශක ඖෂධයක් එකට එකතු කර ඇති ආලේපන ඉස්හොරි මර්ධනය සඳහා බොහෝවිට ඵලදායී වේ. වෛද්‍යවරයෙකුගේ ප්‍රලේඛණයක් (Prescription) නොමැතිව මිළදී ගෙන භාවිතා කල හැකි ඉස්හොරි ෂැම්පු වර්ග භාවිතා කිරීමෙන් ඔබගේ ඉස්හොරි පාලනය කල නොහැකි නම්, ඔබගේ වෛද්‍යවරයා හෝ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් (Dermatologist) හමුවීම අවශ්‍ය වේ. උග්‍ර ඉස්හොරි තත්ත්වයක් පාලනය කිරීම සඳහා බීටාමෙතසෝන් (Betamethasone) හෝ ෆ්ලුවොසිනොනයිඩ් (Fluocinonide) වැනි වැඩි ප්‍රබලතාවයකින් යුතු ස්ටෙරොයිඩයක් අවශ්‍ය විය හැක.

 

ඉස්හොරි පාලනය සඳහා ඔබට කලහැකි දේ මොනවාද?

  • සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් අනුභව කිරීම.
  • මානසික ආතතිය පාලනය කිරීම.
  • හිසකෙස් වලට විදින ආලේපන (Hair spray), ජෙල්, සහ වෙනත් ආලේපන භාවිතය අවම කරන්න. විශේෂයෙන්ම, ඇල්කොහොල් අඩංගු ආලේපන භාවිතා කිරීමෙන් වලකින්න.
  • එළිමහනෙහි මදක් ගතකරන්න. මද හිරු රශ්මිය ඉස්හොරි පාලනයට වැදගත් විය හැක.
  • හිසකෙස් වියලන උපකරණ (Hair dryers) භාවිතා කිරීමෙන් වලකින්න.
  • දිනපතා ස්නානය කරන්න.
  • ඔබගේ ශරීරයේ බර වැඩිනම් හෝ ඔබ තරබාරු නම්, ශරීරයේ බර අඩු කරගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Betsy Jons)

 

සබැඳි ලිපි:

සුවැති කෙස් කලඹක් සඳහා රහස් 20 ක්…
පුරුෂාකාරයේ තට්ටය පෑදීම ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඉස්හොරි (Dandruff) වලින් ගැලවෙන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*