මුඛයෙන් දුගඳක් පිටවීම ඔබටත් ගැටළුවක්ද?

මුඛයෙන් දුගඳක් පිටවීම ඔබටත් ගැටළුවක්ද

මුඛයෙන් දුගඳක් පිටවීම (Halitosis) සමාජයේ බහුලව පවත්නා ගැටළුවකි. එය සමාජය ඉදිරියේ ඔබව අපහසුතාවයට පත්කිරීමට ද සමත්ය. මුඛයෙන් දුගඳක් පිටවීම සඳහා හේතු කිහිපයක් බලපායි. මුඛයෙන් දුගඳක් පිටවන්නේ ඇයි දැයි විමසා බලමු.

අයහපත් මුඛ සෞඛ්‍යය

මුඛයෙන් දුගඳක් පිටවීම සඳහා ප්‍රධානතම හේතුව අයහපත් මුඛ සෞඛ්‍යය වේ. සාමාන්‍යයෙන්, ඔබගේ දත්, විදුරුමස්, දිව, සහ මුඛයේ ඇති අනෙකුත් පටක මත බැක්ටීරියා වර්ධනය වීම සිදුවේ. මෙම බැක්ටීරියා ඔබගේ දත් මතුපිට සුදු පැහැති ද්‍රව්‍යයක් සාදන අතර, දත් අතර සිරවන සහ මුඛය තුළ පවතින ආහාර කැබලි රසායනිකව බිඳ දමමින් දුගඳකින් යුතු වායූන් නිපදවයි. ඔබ නිසියාකාරව දත් මදින්නේ (Brush) සහ දත් අතර නූලකින් පිරිසිදු කරන්නේ (Floss) නැත්නම්, දත් අතර සිරවන ආහාර කැබලි බිඳ දැමීමට බැක්ටීරියා වලට අවස්ථාව ලැබේ.

දුම්පානය

දුම්පානය මුඛයෙන් දුගඳක් පිටවීමට තවත් හේතුවක් වේ. එපමණක් නොව, දුම්පානය විදුරුමස් රෝග ඇතිවීමට ද හේතුවේ.

සමහර ආහාර සහ පානයන්

සුදුලූණු, ලූණු, සහ කුළුබඩු අධිකව යෙදූ ආහාර අනුභවය ද මුඛයෙන් දුගඳ පිටවීමට හේතුවේ. මත්පැන් සහ කෝපි පානය කිරීම ද මුඛයෙන් දුගඳ හැමීමට ඉවහල් වේ.

ඇතැම් ඖෂධ

නයිට්‍රේට් (Nitrates), ෆීනොතයසින් (Phenothiazines), සහ පිළිකා රසායනික චිකිත්සාව (Chemotherapy) සඳහා යොදාගන්නා ඇතැම් ඖෂධ මුඛයේ දුර්ගන්ධයක් ඇතිකිරීමට සමත් වේ.

අසාමාන්‍ය ලෙස ආහාර ගැනීමෙන් වැලකීම

ඔබ බර අඩු කරගැනීම සඳහා හෝ වෙනත් හේතුවක් මත අසාමාන්‍ය ලෙස ආහාර ගැනීමෙන් වලකිනවා නම්, ඔබට දිනකට අවශ්‍ය වන කැලරි ප්‍රමාණය නොලැබී යයි. එවිට, ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ශක්තිය/කැලරි ලබාගැනීම සඳහා ඔබගේ ශරීරයේ ඇති මේදය අධික ලෙස දහනය වීමට පටන් ගනී. මෙම ක්‍රියාවලියේදී, මුඛයෙන් දුගඳක් ඇතිකිරීමට සමත් වන කීටෝන (Ketones/Ketone bodies) නැමැති රසායන ද්‍රව්‍යයක් නිපදවීම සිදුවේ.

ඇතැම් රෝග

මුඛය වියලීම (Xerostomia) නැමැති තත්ත්වය, මුඛයේ ඇති බැක්ටීරියා වර්ධනය වීමට හේතුවේ. කෝටර දාහය (Sinusitis), බ්‍රොන්කියෙක්ටේසිස් හෙවත් ස්වාශ නාල (Airways) වලට හානි පැමිණීමෙන් ඒවායේ බිත්ති දුර්වල වී, විශාල වීමෙන් ඇතිවන තත්ත්වයකි. මෙහිදී, නිතර පෙනහලු ආසාදනය වීමට වැඩි ඉඩක් පවතී.’>ක්ලෝමමායාමය (Bronchiectasis), බ්‍රොන්කයිටිස් හෙවත් ක්ලෝමදාහය (Bronchitis), සහ පෙනහලු වල ස්ඵෝටය/විසර ගෙඩි ඇතිවීම (Lung abscess) වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන ද මුඛයේ දුර්ගන්ධය ඇතිකරයි. බඩේ දැවිල්ල/ජඨරදාහය (Gastritis), අම්ල ප්‍රතිවහනය/උගුරට ඒම (Acid Re-flux), සහ දියවැඩියාව (Diabetes Mellitus) මුඛයෙන් දුගඳක් පිටවීම සඳහා අනෙක් හේතූන් වේ.

 

මුඛයෙන් දුගඳක් පිටවීම සඳහා ප්‍රතිකාර කරන්නේ සහ එය වලක්වා ගන්නේ කෙසේද?

  • ඔබගේ දත් සහ විදුරුමස් දවසට දෙවරක් ෆ්ලුවොරයිඩ් (Fluoride) අඩංගු දන්තාලේපයක් භාවිතා කරමින් මදින්න.
  • මෘදු සහ විවිධ උසැති කෙඳි සහිත දත් බුරුසුවක් භාවිතා කරන්න.
  • ඔබගේ දත් බුරුසුවේ හිස කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ විය යුතුය.
  • සෑම මාස 2-3 කට වරක් ඔබගේ දත් බුරුසුව මාරු කරන්න.
  • දත් මැදීමට විනාඩි දෙකක් පමණ කාලය ගතකරන්න.
  • දත් මතුපිට හොඳින් මදින්න.
  • දිව මතුපිට වෙනත් දත් බුරුසුවක් හෝ දිව සීරුම් උපකරණයක් (Tongue scraper) භාවිතා කරමින් දවසට දෙවරක් මෘදුව මදින්න.
  • දත් අතර සිරවූ ආහාර කැබලි ඉවත්කර පිරිසිදු කිරීම සඳහා නූලක් යොදාගන්න (Floss).
  • මුඛ සෝදන දියරයකින් (Mouth wash) දවසට වරක් මුව සෝදන්න.
  • ඇඹුල් රසැති හෙවත් අම්ල සහිත පානයක් ආහාරයට ගැනීමෙන් අනතුරුව, ඔබගේ දත් ඛාදනය වීම වැලැක්වීමට නම්, විනාඩි 30 ක් දත් මැදීම කල යුතුවේ.
  • ඔබ කෘතිම දත් භාවිතා කරන්නේ නම්, රාත්‍රියේදී ගලවා තබන්න.
  • නිතර ඔබගේ කෘතිම දත් සබන් සහ මද උණුසුම් ජලයෙන් හෝ කෘතිම දත් පිරිසිදු කරන ක්‍රීම් වර්ගයකින් පිරිසිදු කරන්න.
  • කෘතිම දත් පිරිසිදු කිරීමට වෙනම දත් බුරුසුවක් භාවිතා කරන්න.
  • සමබර, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න.
  • සීනි අඩංගු ආහාර සහ පානයන් භාවිතය හැකිතරම් අවම කරන්න. මක්නිසාද, ඒවා මුඛය තුළ බැක්ටීරියා වර්ධනය වැඩි කරයි.
  • දුම්පානය සහ මත්පැන් පානය නතර කරන්න.
  • සීනි රහිත චුවින් ගම් සැපීමෙන් කෙළ ශ්‍රාවය වීම වැඩිවන අතර, මුඛය තුළින් ආහාර කැබලි ඉවත්වීම පහසු වේ.
  • කෝපි පානය කිරීම ද අවම කරන්න.
  • ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න. එමගින්, මුඛය වියලීම වැලකේ.
  • සුදුලූණු, ලූණු, සහ කුළුබඩු අධිකව යෙදූ ආහාර භාවිතය අවම කරන්න.
  • ඔබගේ දන්ත වෛද්‍යවරයා නිතර හමුවී උපදෙස් ලබා ගන්න.
  • ඔබගේ දන්ත වෛද්‍යවරයා දත් මතුපිට ඝණ වී ඇති මැලියම් ඉවත් කිරීමෙන් මුඛය තුළ බැක්ටීරියා වර්ධනය වීම අවම වනු ඇත. ඔහු හෝ ඇය ඔබගේ දත් කුහර ඇත්නම්, ඒවා පිරවීම ද කරනු ඇත.
  • ඔබගේ වෛද්‍යවරයා හමුවී මුඛයෙන් දුගඳක් පිටවීමට හේතුවන රෝග සහ ආසාදන සඳහා නිසි ප්‍රතිකාර ගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Miranda Granche)

 

සබැඳි ලිපි:

දහඩිය ගඳ ඔබටත් ගැටළුවක්ද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මුඛයෙන් දුගඳක් පිටවීම ඔබටත් ගැටළුවක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*