සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්න.

සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්න

ශරීරයේ ක්‍රියාකාරීත්වයටත්, මානසික හා කායික වර්ධනයටත් පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වේ. අප ඒවා ලබාගන්නේ ආහාර මගිනි. අප කෑමට ගන්නා ඕනෑම ආහාරයක පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් විවිධ ප්‍රමාණ වලින් ඇතිමුත්, එක් ආහාරයක සියළු පෝෂ්‍ය පදාර්ථයක්ම අන්තර්ගත නොවේ. එමනිසා, අපගේ ශරීරයට අවශ්‍ය සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම ලබාගැනීම සඳහා දිනපතා විවිධ ආහාර ගත යුතුවේ. එනම්, ආහාර වල විවිධත්වයක් පවත්වා ගත යුතුය. මෙලෙස සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම අවශ්‍ය ප්‍රමාණවලින් අඩංගු ආහාර වේලක්, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් ලෙස හැඳින්වේ. සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්නේ කෙසේද?

ආහාරයේ විවිධත්වය ඇතිකර, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් සකසා ගැනීම සඳහා ආහාර කාණ්ඩ හයකට බෙදා ඇත. සෑම කාණ්ඩයකම ආහාර වර්ග අඩංගු වනසේ දිනපතා ආහාර ගැනීමෙන්, ඔබේ ශරීරයට අවශ්‍ය සියළු පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීමට හැකියාව ලැබේ. කිසියම් කාණ්ඩයක ආහාර නොගැනීමෙන් හෝ යම් කාණ්ඩයක ආහාර වැඩිපුර ගැනීමෙන් ඇතැම් පෝෂ්‍ය පදාර්ථ අඩුවෙන් හෝ වැඩියෙන් ලැබීම සිදුවිය හැක. එමනිසා, ආහාර වල විවිධත්වය රැකෙන පරිදි නිර්දේශිත ප්‍රමාණ වලින් කෑමට ගැනීම වැදගත් වේ.

ආහාර කාණ්ඩ හය පිළිබඳ විස්තර මෙසේ දැක්විය හැක.

  • පළමු කාණ්ඩය

බත්, කඩල, කව්පි, මුං ඇට, කුරක්කන්, බඩඉරිඟු, මෙනේරි ඇතුළු ධාන්‍ය වර්ග
අල වර්ග, පාන්, පාන් පිටි සහ සහල් පිටි මගින් සාදන ලද ආහාර

මෙම ආහාර වල කාබෝහයිඩ්‍රේට හෙවත් පිෂ්ඨය බහුල බැවින්, එදිනෙදා වැඩකටයුතු වලට අවශ්‍ය ශක්තිය ලබාදේ.

  • දෙවන කාණ්ඩය

එළවළු සහ පලා වර්ග

මෙම ආහාර වල විටමින් සහ ඛණිජ ලවණ බහුල වන අතර, ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමට වැදගත් වේ.

  • තෙවන කාණ්ඩය

පළතුරු

පළතුරු වල විටමින් සහ ඛණිජ ලවණ බහුලව අඩංගු වේ. එමනිසා, ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කරයි.

  • හතරවන කාණ්ඩය

මාළු, මස්, කරවල, රනිල භෝග, පියලි සහ ඇට වර්ග, බිත්තර

මෙවැනි ආහාර වල ප්‍රෝටීන් බහුල වන අතර, ශරීරයේ වර්ධනය සහ මනා පැවැත්ම සඳහා වැදගත් වේ.

  • පස්වන කාණ්ඩය

කිරි සහ කිරි ආහාර

කිරි නිෂ්පාදන වල ප්‍රෝටීන් සහ කැල්සියම් වැනි අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ අඩංගු වේ. එබැවින්, අස්ථි වර්ධනය හා අස්ථි වල මනා පැවැත්ම, ශරීරයේ වර්ධනය, සහ ශරීරයේ මනා පැවැත්ම සඳහා කිරි නිෂ්පාදන වැදගත් ය.

  • හයවන කාණ්ඩය

කජු, රටකජු, තල, තල තෙල්, පොල්, පොල් තෙල්, කැනෝලා තෙල්, සූරියකාන්ත තෙල්, ඔලිව් තෙල් ඇතුළු ආහාරයට ගන්නා තෙල් වර්ග අඩංගු ආහාර

මෙවැනි ආහාර මගින් ශරීරයට ශක්තිය ලැබෙන අතර, පරිවෘත්තීය ප්‍රතික්‍රියා මනාව සිදුකිරීමට සහ ශරීරය නිසි අයුරින් පවත්වා ගැනීමට වැදගත් වේ.

දිනපතා ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වල ප්‍රමාණයන් පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ශාරීරික ක්‍රියාකාරී මට්ටම, ශරීර ප්‍රමාණය, සහ ගර්භණීභාවය වැනි ශාරීරික තත්ත්ව මත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එමනිසා, දිනකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීම සඳහා එක් එක් ආහාර කාණ්ඩයෙන් ලබාගත යුතු ආහාර ප්‍රමාණයන් එක් එක් පුද්ගලයා අනුව වෙනස් වේ.

ඇතැම් අය නිර්මාංශ ආහාර පමණක් ගැනීමට පුරුදුව සිටිති. එවන් අය ආහාර තෝරාගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුවේ. මක්නිසාද, නිර්මාංශ ආහාර වල අඩංගු ප්‍රෝටීන් වල ඇතැම් ඇමිනෝ අම්ල නොමැති වීමට හෝ අඩුවීමට ඉඩ ඇත. එසේම, නිර්මාංශ ආහාර වල අන්තර්ගත යකඩ සහ කැල්සියම් වැනි අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ ශරීරයට උරාගැනීම සාපේක්ෂව අඩුය. එමනිසා, ප්‍රෝටීන් අඩංගු ශාඛ ආහාර කිහිපයක් මිශ්‍රව භාවිතා කිරීමෙන් ප්‍රෝටීන් වල ගුණාත්මකභාවය වැඩි කරගත හැක. ඒ සඳහා, බත් සමග කඩල, කව්පි, පරිප්පු වැනි පියලි ඇට වර්ග මිශ්‍ර කර ආහාරයට ගන්න. උදාහරණ ලෙස පරිප්පු සහ බෝංචි මිශ්‍ර ව්‍යංජනය, මුං කිරිබත්, සහ සොයා සහ මෑ කරල් මිශ්‍ර ව්‍යංජනය දැක්විය හැක.

තද කොළ පැහැති පලා වර්ග, කඩල, සොයා, මුං ඇට, කව්පි වැනි ඇට වර්ග වල කැල්සියම් සහ යකඩ බහුලව අඩංගු වන බැවින්, නිර්මාංශ ආහාර වේලකට දිනපතාම එකතු කරගත යුතුවේ. කිරි නිෂ්පාදන ආහාරයට ගන්නා නිර්මාංශ ආහාර ගන්නා අයට, දිනපතා කිරි ආහාර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් B12 ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකිය.

 

මූලාශ්‍රය : පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යංශය

 

(ඡායාරූප අනුග්‍රහය: OiMax)

 

සබැඳි ලිපි:

එළවලු සමග සුවැති දිවියක්…
සත්ත්වමය ආහාර නොගන්නා අය ප්‍රෝටීන් ගත යුත්තේ කෙසේද?
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ඉඟි කිහිපයක්
සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්න." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*