දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?

දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?

අස්ථි බිඳීම් (Fractures) යනු දරුවන් අතර බහුලව දක්නට ලැබෙන අනතුරු විශේෂයක් යැයි කිවහොත් එය නිවැරදිය. විශේෂයෙන්ම, වැටීමකින් අනතුරුව එසේ වීමට හැකියාව පවතී. සිරුරේ කුමන කොටසක අස්ථි බිඳීමක් වුවද, අස්ථි බිඳීම කෙතරම් කුඩා හෝ විශාල වුවද, සියළු අස්ථි බිඳීම් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුමය. සැබැවින්ම, ඔබේ දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?

දරුවාගේ අස්ථියක් බිඳී ඇති බවට සැකකළ හැකි අවස්ථා මොනවාද?

  • දරුවාට අනතුරක් සිදුවන අවස්ථාවකදී, කැඩෙන, බිඳෙන, හෝ ඇඹරෙන ශබ්දයක් ඇසීම.
  • ඉදිමීමක්, රතුවීමක්, හෝ ස්පර්ශ කරන විට වේදනාවක් ඇතිවීම.
  • සිරුරේ අනතුර සිදුවූ කොටස චලනය කිරීමට අපහසු වීම.
  • සිරුරේ අනතුර සිදුවූ කොටස චලනය කරන විට, ස්පර්ශ කරන විට, හෝ සිරුරේ බර දරන විට වේදනාකාරී වීම.

දරුවාගේ අස්ථියක් බිඳී ඇත්නම්, ඔබ කුමක් කළ යුතුද?

  • හැකිනම්, අනතුර සිදුවූ ප්‍රදේශයේ පවතින ඇඳුම් ප්‍රවේශමෙන් ඉවත් කරන්න.
  • රෙදි කැබැල්ලක එතූ අයිස් කැට කිහිපයක් අනතුර සිදුවූ ස්ථානය මත තබන්න. මෙහිදී, සෘජුවම අයිස් කැට තැබීමෙන් හෝ තෙරපීමෙන් වළකින්න.
  • අනතුර සිදුවූ පාදය හෝ අත අනතුර සිදුවූ පසු පැවති ඉරියවුවේම තබන්න. එය චලනය කිරීමෙන් වළකින්න.
    අනතුර වූ ස්ථානය තවදුරටත් චලනය වීම වැළැක්වීම සඳහා ප්‍රවේශමෙන් පතුරක් (Splint) බඳින්න. එසේ කිරීමේදී, අනතුර වූ කොටස සෙලවීමෙන් වැළකිය යුතු අතර, පතුර මගින් ඔබේ දරුවා වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක්වන තුරු බිඳුනු අස්ථි කොටස් චලනය නොවී පවත්වා ගැනීමට ඉවහල් වේ. පතුරක් සාදාගැනීම සඳහා, කුඩා බෝඩ් එකක්, කාඩ්බෝඩ් එකක්, හෝ ලී පතුරක් වැනි දෙයක් භාවිතා කළ හැකි අතර, බැන්ඩේජ් එකක් හෝ ප්ලාස්ටරයක් ආධාරයෙන් එය ඔතාගැනීමට හැකියාව ඇත.
  • වෛද්‍යවරයෙක් විසින් පරීක්ෂාවට ලක් කෙරෙන තුරු, දරුවාට කිසිඳු ආහාරයක්, ජලය, හෝ වෙනත් දියරයක් ලබාදීමෙන් වලකින්න. දරුවා හදිසි ශල්‍යකර්මයකට භාජනය කළ යුතු වුවහොත්, එසේ කර තිබීම ඉතා වැදගත් වේ.

ඉතාමත් ප්‍රවේශම් විය යුතු අවස්ථා මොනවාද?

දරුවාගේ හිසට, ගෙලට, හෝ කොන්දට අනතුරක් සිදුවී අස්ථි බිඳීමක් සිදුව ඇතැයි සැක කරන්නේ නම්, කිසි විටෙකවත් එකවර කළබලයට පත්වී දරුවා ඔසවාගෙන ත්‍රීරෝද රථයක හෝ වෙනත් වාහනයක දමාගෙන රෝහලට ගෙනයන්න එපා. එසේ කිරීමෙන්, දරුවාට සිදුව ඇති අනතුර තවදුරටත් උග්‍ර අතට හැරීම සිදුවිය හැක. එවන් විටෙක, තවත් කිහිප දෙනෙකුගේ උපකාර ලබාගැනීමට කටයුතු කරන්න. එක අයෙක් දරුවාගේ හිස අල්ලාගෙන සිරුරේ සෙසු කොටස් වලින් එය චලනය නොවන සේ තබාගත යුතුවේ. තවත් අයෙක් හෝ දෙදෙනෙක් දරුවාගේ කොන්ද ප්‍රදේශය නැවීම හෝ චලනය වීම සිදුනොවන පරිදි දරුවාගේ බඳ එසවීම කළ යුතුය. ඒ අතර තවත් අයෙක් පාද සිරුරේ සෙසු කොටස් වලින් චලනය නොවන පරිදි ඔසවා ගැනීම කළ යුතුය. සැමවිටම, දරුවා වාහනය තුළට ගන්නා විට, වාහනය පදවාගෙන යන අතරතුර, සහ දරුවා වාහනයෙන් ඉවතට ගන්නා විට හිස, ගෙල, සහ කොන්ද නොනැමෙන පරිදි හා චලනය නොවන පරිදි සෘජුව පවත්වා ගැනීම ඉතාම වැදගත් බව අමතක නොකරන්න.

දරුවාගේ අස්ථි බිඳීම සිදුව ඇති ප්‍රදේශය තුවාළ වී අස්ථි කොටස් පිටතට නිරාවරණය වී පවතිනවා නම්, කිසි විටෙක අනතුර වූ ප්‍රදේශය සෝදන්න එපා. තුවාළය වැසීම සඳහා පිරිසිදු ගෝස් කැබැල්ලක් හෝ වියළි සහ පිරිසිදු රෙදිකඩක් භාවිතා කිරීමේ වරදක් නැත. තුවාලයෙන් පිටතට නෙරා පැමිණි කිසිඳු කොටසක් ඇතුළට එබීමට උත්සාහ කරන්න එපා.

දරුවාගේ අස්ථි බිඳීමක් වළක්වා ගන්නේ කෙසේද?

ප්‍රායෝගිකව, අස්ථි බිඳීම් සියල්ලම වළකා ගැනීමට හැකියාවක් නොමැත. නමුත්, අස්ථි බිඳීමක් සිදුවීමට පවතින අවදානම අවම කරගැනීමට හැකියාව පවතී.

  • කුඩා දරුවන්ට තනිවම පඩි නැගීමට හෝ බැසීමට ඉඩදෙන්න එපා.
  • දණගාන හෝ ස්ථායීව ඇවිදීමට තවමත් හැකියාව නොමැති, එහෙත් ආධාරයක් ඇතිව හෝ නැතිව ඇවිදීමට හැකි කුඩා දරුවන් සිටින නිවෙස් වල උළුවස්සට ආරක්ෂිත වැටක් සවිකර තබන්න.
  • කුඩා දරුවන්ට තනිවම උඩ නැගීමට ඉඩදෙන්න එපා.
  • සැමවිටම, කුඩා දරුවන් පිළිබඳව අවධානයෙන් පසුවන්න.
  • සැමවිටම, දරුවා ක්‍රීඩා කරන විට, බයිසිකල් පදින විට, ට්‍රයිසිකලය පදින විට, හෝ රෝද සපත්තු පදින විට ආරක්ෂිත උපාංග (Safety gears) පළඳවන්න.
  • කිසි විටෙක, ඔබේ ළදරුවාට ඇවිදීමට උපකාරී වන උපකරණ (Infant walkers or baby walkers) ලබාදීමෙන් වළකින්න.

(ඡායාරූප අනුග්‍රහය: Abhisek Sarda)

සබැඳි ලිපි:

දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?
දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?
දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද?
නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ අස්ථියක් බිඳුනොත් ඔබ කළයුත්තේ කුමක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*