දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත් කුමක් කළ යුතුද?

දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත් කුමක් කළ යුතුද?

විවිධ හේතූන් මත ඇදුම රෝගය (Bronchial asthma) එකවරම උත්සන්න විය හැකියි. මෙම දිනවල පවතින වැසි සහිත ස්වභාවය නිසාද, ඇතැම් අයට ඇදුම රෝගය උත්සන්න වනු දැකිය හැක. කුමන හේතුව නිසා ඇති වුවත්, ඇදුම උත්සන්න වීමේදී පෙනහළු වල පවතින ශ්වාස නාල උද්දීපනය වීම (Irritation) සහ ඉදිමීම (Swelling) සිදුවන අතර, එමගින් හුස්ම ගැනීම අපහසු වේ. සමහර අවස්ථා වලදී ඇදුම රෝගය උත්සන්න වීම මද වශයෙන් සිදු වුවත්, ඇතැම් විටෙක ජීවිතයට තර්ජනයක් වන අයුරින් වුවද උත්සන්න විය හැක. එමනිසා, ඔබේ දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත්, එය හඳුනා ගැනීම සහ එයට නිසි අයුරින් ප්‍රතිකර්ම සිදුකිරීම ඉතාම වැදගත් වේ.

ඇදුම රෝගය උත්සන්න වීමේදී දැකිය හැකි රෝග ලක්ෂණ මොනවාද?

  • “රාං රූං” වැනි ශබ්දයක් හුස්ම ගැනීමේදී ඇතිවීම.
  • කැස්ස.
  • පපුවේ තද ස්වභාවයක් දැනීම.
  • හුස්ම ගැනීමට අපහසු වීම.

දරුණු ලෙස ඇදුම රෝගය උත්සන්න වීමකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

  • නිශ්චලව සිටින විට පවා හුස්ම ගැනීමට අපහසු වීම.
  • කතා කිරීමේදී එක දිගට කතා කිරීමට අපහසු බැවින් වරින් වර නවත්වමින් කතා කිරීම.
  • වෙහෙසකර බවක් හෝ නිදිමත ස්වභාවයක් ඇතිවීම.
  • දරුවාගේ තොල් නිල් හෝ අඳුරු පැහැවීම.
  • හුස්ම ගැනීමට උත්සාහ දරන සැම විටෙකම, පපුවේ ඉල ඇට වලට පහලින්, ඉල ඇට අතර, සහ බෙල්ල ඉදිරිපස ඇතුලට එබී යාම හෙවත් වල ගැසීම.

දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත් කුමක් කළ යුතුද?

සාමාන්‍යයෙන්, ඔබේ වෛද්‍යවරයා දරුවාගේ ඇදුම රෝගය සඳහා ප්‍රතිකාර සැලසුමක් නිර්දේශ කර එය නිසි ලෙස අනුගමනය කරන ආකාරය විස්තර කරනු ඇත. ඇදුම රෝගය සඳහා ප්‍රතිකාර සැලසුමක් නිර්දේශ කිරීමේදී ඇදුම උත්සන්න වන විට ගත යුතු ප්‍රතිකාර සහ ඇදුම වළක්වා ගැනීමට ගත යුතු ප්‍රතිකාර වෙන වෙනම නිර්දේශ කරනු ලැබේ. ඔබේ දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත්, එය සමනය කරගැනීමට වෛද්‍යවරයා නිර්දේශ කර ඇති ප්‍රතිකාර දරුවාට ලබාදෙන්න. එම ප්‍රතිකාර අතර පෙති, සිරප්, සහ/හෝ ඉන්හේලරයක් (Inhaler) මගින් ලබාදෙන ඖෂධ පැවතිය හැක.

ඔබේ දරුවාට ඇදුම රෝගයේ උග්‍ර උත්සන්න වීමක ලක්ෂණ ඇතිවේ නම්, ඇදුම උත්සන්න වීමකදී සහ ඇදුම වළක්වා ගැනීම සඳහා නිර්දේශ කර ඇති ප්‍රතිකාර ලබාදී හෝ ලබාදෙන අතරතුර ඉක්මනින් ලඟම ඇති රෝහලට දරුවා රැගෙන යන්න.

දරුවාට ඇදුම රෝගය උත්සන්න වීම වළක්වා ගැනීමට කුමක් කළ යුතුද?

  • ඔබේ දරුවා ඇදුම රෝගය උත්සන්න වීම සඳහා හේතුවන උත්තේජක (ආහාර වර්ග, පාරිසරික සාධක වැනි දේවල්) වලට නිරාවරණය වීමෙන් වළක්වන්න.
  • දරුවා හොඳින් සිටින විට වුවද ඇදුම රෝගය වළක්වා ගැනීම සඳහා වෛද්‍යවරයා නිර්දේශ කර ඇති ඖෂධ නිසි අයුරින් ලබාදීමට අමතක කරන්න එපා.
  • දරුවා පාසලට යන විට සහ විනෝද චාරිකා යන විටෙක වුවද නිර්දේශ කර ඇති ඖෂධ ගෙන යාමට කටයුතු කරන්න.
  • දරුවාගේ රෝගය සහ ප්‍රතිකාර පිළිබඳව දරුවාගේ ගුරුවරයා ද දැනුවත් කරන්න.
  • ඔබේ දරුවාට ලබාදීමට නියමිත එන්නත් සියල්ල නිසි කලට ලබාදෙන්න.
  • දරුවාට වරින් වර ඇදුම රෝගය උත්සන්න වේ නම්, ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. ඔහු හෝ ඇය දරුවාගේ ප්‍රතිකාර සැලසුම වෙනස් කිරීම හෝ ඖෂධ සීරු මාරු කිරීම සිදුකරනු ඇත.

(ඡායාරූප අනුග්‍රහය: Salim Fadhley)

සබැඳි ලිපි:

අක්‍රීය දුම්පානය සහ ඔබේ දරුවා
දරුවාට අසාත්මිකතාවයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාට ඇදුම රෝගය උත්සන්න වුවහොත් කුමක් කළ යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*