සිරුර කෙට්ටුවීම හෙවත් කෘශභාවය, බර වැඩිවීම තරම් බරපතළ ගැටළුවක් ලෙස අප සිතන්නේ නැත. සෞඛ්‍ය හා සබැඳි බොහොමයක් ලිපි, සඟරා, පොත්පත් වල ශීර්ෂපාඨ වෙන්වී ඇත්තේ බර වැඩිවීම සඳහා පමණි. සැබැවින්ම, බර වැඩිවීම එක්තරා වසංගතයක් ලෙස හැඳින්විය හැකිය. කෙසේ වුවත්, එමගින් කෙට්ටුවීම නැමැති මාතෘකාව මදක් ආවරණය වී ඇති ආකාරයක් පෙනේ. අප අතරින් බොහොමයක් කිලෝ එකකින් හෝ දෙකකින් පවා බර අඩුකරගැනීමට උත්සාහ කරනු දැකිය හැක. නමුත්, කෘශභාවය නොසලකා කටයුතු කලයුතු බවක් එයින් අදහස් නොවේ. බොහොමයක් අයට සිරුරේ බර අඩුකරගැනීම ගැටළුවක් වන්නා සේම ඇතැම් අයට බර වැඩිකරගැනීම ද ගැටළුවක් වී ඇත.
අප සිරුරේ බර පිළිබඳව දළ අදහසක් ගැනීමට ඇති එක් මිනුමක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) හැඳින්විය හැක. එය 18.5 ට වඩා අඩු නම්, ඔබේ ශරීරය කෘශභාවයෙන් පෙළෙන්නේ යැයි කිවහැක. එය 18.5 සහ 24.9 අතර පවතී නම්, ඔබේ බර සෞඛ්‍ය සම්පන්න පරාසය තුළ ඇත. ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය 25 හෝ එයට වඩා වැඩි නම්, ඔබේ බර වැඩි බව කිවහැක.
කෘශභාවය ඇතිවීමට හේතු මොනවාදැයි මදක් විමසා බලමු. කෘශභාවයට ප්‍රධාන වශයෙන් හේතුවන සාධක තුනක් දැක්විය හැක. ඒවා නම්:
- ජානමය සාධක
- ඇතැම් රෝග හෝ වෛද්‍යමය තත්ත්ව
- නිසි පමණින් ආහාර නොගැනීම
ඇතැම් විට, ඔබට පරම්පරාවෙන් කෙට්ටුවීම සඳහා හේතුවිය හැකි ජාන උරුම වී පැවතීමට ඉඩ ඇත. එවන් විටෙක, ඔබ අන් අයට වඩා කෙට්ටු ස්වභාවයක් ගැනීම අරුමයක් නොවේ. ඔබ කෙට්ටු වී ඇත්තේ ජානමය සාධක වල බලපෑමෙන් නම්, ඔබේ සෞඛ්‍යය පිළිබඳව එතරම් කලබල වියයුතු නොවේ. කෙසේ වුවත්, තව කිලෝග්‍රෑම් කිහිපයක් හෝ වැඩිකරගැනීමට හැකි නම් හොඳ යැයි ඔබට සිතෙනු ඇත.
තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය (Hyperthyroidism), කෘශභාවය ඇතිවීමට හේතුවිය හැකි එක් රෝග තත්ත්වයකි. එමෙන්ම, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන Inflammatory bowel disease (IBD), ක්‍රොන්ගේ රෝගය (Crohn’s disease) වැනි රෝග නිසාද ශරීරයේ බර අඩුවීම සිදුවේ. පිළිකා නිසාද සිරුරේ බර අඩුවීම දැකිය හැක.
මානසික ආතතිය (Stress), විශාදය (Depression) වැනි මානසික තත්ත්වයන් හේතුවෙන් ආහාර රුචිය වෙනස්විය හැක. එහිදී, ඔබ පමණ ඉක්මවා ආහාර ගැනීමට හෝ ආහාර අඩුවෙන් ගැනීමට පෙළඹිය හැක. මෙහිදී, ඔබ පෙළඹී ඇත්තේ ආහාර අඩුවෙන් ගැනීමට නම්, සිරුර කෙට්ටුවීම වැළැක්විය නොහැක. සමීපතමයෙකුගේ වියෝව සහ සම්බන්ධතා බිඳවැටීම වැනි කාරණා මගින්ද, ආහාර ගැනීමේ රටාව වෙනස් වියහැක. ඇතැම් විටෙක, ඔබ මහත් වේ යැයි අනිසි බියක් ඇතිකරගෙන, අසීමිත ලෙස ආහාර ගැනීම සීමාකිරීමට පෙළඹිය හැක. එවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්නම්, හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම කල යුතුවේ.
ඔබ සිරුර කෙට්ටුවීම හෙවත් කෘශභාවයට ගොදුරු වී ඇතිබවක් හැඟේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම මෙන්ම, ඇතැම් විට පරීක්ෂණ කිහිපයක් සිදුකිරීම පවා වැදගත් වීමට ඉඩ ඇත. මක්නිසාද, සිරුර කෙට්ටුවීම ඇතැම් සෞඛ්‍ය ගැටළු හටගැනීම සඳහා අවදානම් සාධකයක් වියහැක.
ඔබ කෘශභාවයෙන් පෙළෙන්නේ නම්, ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) එතරම් ශක්තිමත් එකක් නොවීමට ඉඩ ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අන් අයට වඩා ඔබ ආසාදන වලට නිතර ගොදුරුවීමට ලක්විය හැක. උදාහරණයක් වශයෙන්, ඔබට නිතරම සෙම්ප්‍රතිශ්‍යාව සහ වෙනත් ශ්වසන ආබාධ වැළඳෙනවා වියහැක. එමෙන්ම, කෘශභාවයෙන් පෙළෙන ඇතැම් අයගේ තුවාළ සුවවීම ද ප්‍රමාද වනු දැකිය හැක.
කෘශවීමේ ක්‍රියාවලියේදී, ඔබේ ශරීරයට නිසි ප්‍රමාණ වලින් විටමින් වර්ග සහ ඇතැම් ඛණිජ ලවණ නොලැඹීමට ඉඩ ඇත. එවන් විටෙක, ඔබේ සෞඛ්‍යයට සහ ශක්තිමත්භාවයට සැලකිය යුතු හානියක් සිදුවිය හැක. විශේෂයෙන්ම, කෘශභාවයෙන් පෙළෙන්නා තවමත් වර්ධනය වෙමින් සිටින දරුවෙක් නම් එහි බලපෑම ඉතා වැඩිය.
කෘශභාවය හෙවත් සිරුර කෙට්ටුවීම නිසා ඔබේ ශරීරයේ කැල්සියම් සහ විටමින් D ඌණතාවයක් ඇතිවීමට ඉඩ ඇත. මෙම පෝෂ්‍ය පදාර්ථයන් දෙකම ඔබේ අස්ථිවල සෞඛ්‍යයට සහ ශක්තිමත්භාවයට ඉතාමත් වැදගත් සංඝටක දෙකකි. එනම්, කෘශභාවය පවතින අයෙක් ක්‍රමයෙන් වයසින් වැඩිවත්ම අස්ථි දුර්වලවීම (Osteoporosis) ට ගොදුරුවීම සිදුවිය හැක. එමගින්, ඔබේ අස්ථි පහසුවෙන් බිඳීම් වලට ලක්වීම සිදුවේ.
ඇතැම් විට, සිරුර කෙට්ටුවීම සමග යකඩ, ෆෝලික් අම්ලය (Folic acid), සහ විටමින් B12 ඌණතාවයන් ඇතිවීමට ඉඩ ඇත. එමගින්, රක්තහීනතාවය (Anaemia) වැළඳෙන අතර, රක්තහීනතාවය නිසා අධික වෙහෙසකර බවක් සහ දුර්වල බවක් සිරුරට දැනීම සිදුවේ. ඇතැම් විට, කරකැවිල්ල හෝ හිසරදය පවා ඇතිවනු දැකිය හැක.
කෘශභාවය, කාන්තාවකගේ ඔසප් චක්‍රයට ද බලපෑම් ඇතිකරන අවස්ථා දැකිය හැක. ඇතැම් විට, සිරුර කෙට්ටුවීම නිසා ඔසප්වීම අක්‍රමවත්වීම, ඔසප්වීම නැවතීම, සහ මද සරුභාවය (Subfertility) ඇතිවේ.
කෘශභාවය නිසා ඇතිවිය හැකි වෙනත් සංකූලතා ලෙස කෙස් හැලීයාම, කෙස් තුනීවීම, සම වියළීම, විදුරුමස් රෝග, සහ දත් දිරායාම දැක්විය හැක.
(ඡායාරූප අනුග්‍රහය: Olatz eta Leire)
සබැඳි ලිපි:
ඔබේ බර වැඩිකරගැනීමට අනුගමනය කලහැකි ඉඟි 10 ක්
බර වැඩි කරගැනීමට සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක්
ශරීර ස්කන්ධ දර්ශකය අඩුවීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු
© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.
පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සිරුර කෙට්ටුවීම ඔබේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්