සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට වටිනා ඉඟි කිහිපයක්

සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට වටිනා ඉඟි කිහිපයක්

අප සැමදෙනාටම මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුතු, සෞඛ්‍ය සම්පන්න දිගු ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය බව කිවහොත් එය නිවැරදියි. නමුත්, ඒ සඳහා ඔබ කරන්නේ කුමක්ද? අප දන්නා පරිදි සුවැති දිවියක් ගතකරන අය දුම්පානය නොකරයි, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගනියි, ව්‍යායාම කරයි, එමෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර ගනියි. පෙනෙන ආකාරයට එය සරළ දෙයක් ලෙස සිතීමට පුලුවන. නමුත්, එසේ කිරීම සඳහා තම දිනචර්යාවේ වෙනස්කම් කිරීමට උත්සාහ කල අයෙකුට එය කියන තරම් පහසු නොවන බව වැටහෙනු ඇත. ඇතැම් අය එකවරම තම දිවියේ විශාල වෙනස්කම් කිරීමට උත්සාහ කර අපහසුතා වලට මුහුණ දෙයි. එවිට, උනන්දුව හීනවීම නිසාවෙන් උත්සාහය අත්හැරීම බහුලව සිදුවන දෙයකි. එසේ නම්, සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට කලයුත්තේ කුමක්ද?

සුවැති දිවියක රහස වන්නේ මහා පරිමාණයෙන් ජීවිතය වෙනස්කර ගැනීම නොව තම ජීවිතයට කුඩා වෙනස්කම් කිහිපයක් එක්කර ගැනීමය. උදෑසන වතුර වීදුරුවක් පානය කිරීම, ශාරීරික ක්‍රියාකාරකම් වැඩිකිරීම, සුභවාදීව සිතීම වැනි සරළ එමෙන්ම කුඩා වෙනස්කම් කිහිපයකට ඔබේ දිවියේ ගුණාත්මකභාවය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කලහැක. කුඩා වෙනස්කම් වලට විශාල ප්‍රතිඵල ලබාදිය හැකි බවට එක් උදාහරණයක් ලෙස එය දැක්වීමට පුලුවන.

 

උදෑසනම වතුර වීදුරුවක් පානය කරන්න.

උදෑසන අවදි වූ විගස ඇල් ජලය වීදුරුවක් පානය කිරීමට පුරුදුවන්න. ඇල් ජලයේ රසයට ඔබ අකමැති නම්, එයට ලෙමන් හෝ දෙහි යුෂ ස්වල්පයක් එක්කරගන්න. ජලය, අප ශරීරයේ ඇති විෂ රසායන ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය ඉවත්කරන අතර, ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියාවන් ක්‍රමවත් කරයි. එය, ශරීරයේ බර අඩුකිරීමටද හේතුවන බවට ඇතැම් අයට අත්දැකීම් ඇත.

 

ප්‍රමාණවත් පරිදි නිදාගන්න.

නිදිවැරීම, ඔබට වෙහෙසකර බව හා කෝපය ඇතිකිරීමට හේතුවන අතර, මානසික ඒකාග්‍රතාවය බිඳ දමයි. එමෙන්ම, ප්‍රමාණවත් ලෙස නිදා නොගැනීම ඔබේ හදවතෙහි සෞඛ්‍යයටද එතරම් හිතකර නොවේ. ඇතැම් අධ්‍යයන වලින් හෙලිවන ආකාරයට, වැඩිහිටියෙකු සඳහා දිනකට පැය 8 ක පමණ නින්දක් අවශ්‍ය වේ. නමුත්, එක් අයෙක් තවකෙකුගෙන් වෙනස් බැවින්, දිනකට නිදාගත යුතු කාලය පැය 6 සිට 8 දක්වා වෙනස්විය හැක. හවස 4 සහ සවස 6 අතර කාලය අතරතුර ඔබට නිදිමත බවක් දැනේ නම්, ඔබ ප්‍රමාණවත් නින්දක් සහ විවේකයක් නොලබන බව සිතිය හැක.

 

උදෑසන ඇදීමේ ව්‍යායාම කිහිපයක් කරන්න.

උදෑසන අවදි වූ පසු නැවත මදක් නිදාගැනීම වෙනුවට ඔබේ කාලය බුද්ධිමත්ව භාවිතා කිරීමට කටයුතු කලහැක. ඔබේ කොන්ද, අත්, පාද, සහ බෙල්ල ඇදෙන සේ චලන කිහිපයක් කරන්න. එමගින්, ඔබේ ශරීරය නින්දෙන් අවදිවනු ඇත. එමෙන්ම, ඇදීමේ ව්‍යායාම මගින් ඔබේ මාංශ පේශි වල රුධිර සංසරණය වැඩිදියුණු වන බැවින්, අමතර ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ ලැබේ. එය, ඔබව නව දිනකට සූදානම් කරනු ඇත.

 

කෙටි ආහාර සෞඛ්‍ය සම්පන්න ලෙස තෝරාගන්න.

බදින ලද අලපෙති, ලුණු සහිත ආහාර, රසකැවිලි, බිස්කට්, බේකරි කෑම වැනි ඔබේ සෞඛ්‍යයට අහිතකර මේදය, ලුණු, හා සීනි අධික කෙටි ආහාර වෙනුවට, විටමින් හා ඛණිජ ලවණ බහුල කජු, රටකජු, නැවුම් පළතුරු වැනි සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ගැනීමට පුරුදුවන්න.

 

උදෑසන ආහාරය ගන්න.

දවසේ වැඩිම වටිනාකමක් ඇති ආහාර වේල වන්නේ උදෑසන ආහාරයයි. විශේෂයෙන්ම, ඔබ ශරීරයේ බර අඩුකරගැනීමට බළාපොරොත්තු වන්නෙක් නම්, උදෑසන ආහාරය ගැනීම බෙහෙවින්ම වැදගත් වේ. ඔබ උදෑසන ආහාරය ගැනීම මගහරින්නේ නම්, දිවා ආහාර වේල තෙක් දිගුවේලාවක් කුසගින්නේ සිටීමට සිදුවේ. එවිට, ශරීරයට අහිතකර ලුණු, සීනි, හා තෙල් අධික, විටමින් හා ඛණිජ ලවණ ඌණ කෙටි අහාර ගැනීමට ඇති නැඹුරුතාවය වැඩිවේ. ඇමරිකානු හෘද සංගමය (American Heart Association) 2003 දී කල පර්යේෂණයකට අනුව උදෑසන ආහාරය නොගන්නා අයට වඩා, උදෑසන ආහාරය ගැනීමට පුරුදු වූ අයට ස්ථුලතාවය සහ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම අඩුය. වෙනදාට වඩා විනාඩි 15 කට කලින් අවදි වී බිත්තර ඔම්ලට් එකක්, පළතුරු හෝ එළවළු සැලඩ් එකක්, සහ යෝගට් එකක් ආහාරය පිණිස සාදාගැනීම වුවද මේ සඳහා සෑහේ.

 

දිනපතා ඇවිදින්න.

ශාරීරික ක්‍රියාකාරකම් වල අගය නොදන්නා කෙනෙක් අද සමාජයේ සොයාගැනීමට නොහැකි තරම්ය. කෙසේ වුවත්, අප අතරින් බහුතරයකට ඒ සඳහා වෙලාවක් නොමැත, නැතහොත් ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමට කැමැත්තක් නැත. විදුලි සෝපානය වෙනුවට හැකි සෑමවිටම පියගැටපෙළ භාවිතා කරන්න. එමෙන්ම, මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් සමග ඇවිදීමට යාමද කලහැක. සැමවිටම, යම් කාර්යක් කිරීමේදී ඔබේ ශරීරය ක්‍රියාකාරී වන විකල්ප තෝරාගැනීමට කටයුතු කරන්න. පර්යේෂකයන්ට අනුව, සතියකට කිලෝමීටර් 20 ක් හෝ සතියකට විනාඩි 125-200 ක් පමණ ඇවිදීම, ඔබේ හදවතෙහි සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට ප්‍රමාණවත්ය.

 

සබඳතා ඇතිකරගන්න.

තනිව ජීවත්වන අය පහසුවෙන් රෝගී වන අතර, අකාලයේ මියයාමට ඇති ප්‍රවණතාවයද වැඩිය. යහළුවන් නොමැති අය පහසුවෙන් මානසික ආතතියට ලක්වේ. ඔවුන්ට විෂාදය (Depression) වැළඳීමට ඇති අවදානම වැඩිය. එමෙන්ම, ඔවුන් ශාරීරිකව එතරම් සක්‍රීය නැත. පර්යේෂකයන්ට අනුව, සමාජ සම්බන්ධතා වැඩි අයෙක් සෞඛ්‍ය වැඩිදියුණු කරගැනීමට යොදාගත හැකි උපක්‍රම අනුගමනය කිරීම වැඩිවන අතර, ස්වාධීනව ජීවත්වීමට තරම් ශක්තිමත් වේ.

 

ඔබ කැමතිම නිෂ්පාදන වල අන්තර්ගතය අධ්‍යයනය කරන්න.

ඔබ වෙළඳපොලෙන් මිළදීගන්නා නිෂ්පාදන වල අන්තර්ගත අමුද්‍රව්‍ය ලැයිස්තුව අධ්‍යයනය කරන්න. එමගින්, ඒවායේ කෘතිම හෝ ශරීරයට අහිතකර අමුද්‍රව්‍ය ඇතිදැයි හඳුනාගැනීම පහසු වේ. වත්මන් වෙළඳපොලෙහි ඇති බොහොමයක් ආහාර වල ශරීරයට අහිතකර වියහැකි අමුද්‍රව්‍ය දහස් ගණනින් ඇති අතර, ඒවා සියල්ල මතකයේ තබාගැනීමට අපහසු තරම් වේ. වාසනාවකට මෙන්, ඒවා පිළිබඳ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් සොයාගත හැක. එමනිසා, ඔබ කැමති ආහාර නිෂ්පාදන, රූපලාවන්‍ය නිෂ්පාදන, සහ වෙනත් නිෂ්පාදන සියල්ල පිළිබඳ අධ්‍යයනය කරන්න. හානිකර අමුද්‍රව්‍ය හේතුවෙන් විවිධ රෝග, අසාත්මිකතා (Allergies) මෙන්ම, පිළිකා පවා වැළඳීම සිදුවිය හැක.

 

අළුත් ක්‍රියාකාරකම් සොයාගන්න.

පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමග එක්ව කලහැකි කඳු නැගීම, කණ්ඩායම් ක්‍රීඩා, ඇවිදීම, බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් තෝරාගන්න. නව විනෝදාංශයක් ඇරඹීම යනු සතුට ඇතිකරන සහ මානසික ආතතිය අඩුකරන හොඳ උපක්‍රමයකි. මෙහිදී, ඔබට මෙන්ම එකම රසඥතාවය ඇති අලුත් මිතුරන් හමුවනු ඇත. අලුත් විනෝදාංශයක් ආරම්භකර සතුටින් සිටින්න. සතුටින් සිටින අය බොහෝ කලක් ජීවත්වන බව අමතක නොකරන්න.

 

ඔබේ ජීවිතයට ආදරය කරන්න.

මනස මෙන්ම ශරීරයද ලිහිල් කරගන්න. ජීවිතයේදී හමුවන සුළු දේවල් නිසා නොසන්සුන් වීමට හෝ කෝපවීමට පෙළඹෙන්න එපා. පමණට වඩා සංකීර්ණ වීමට හෝ සංකීර්ණව සිතීමට පෙළඹෙන්න එපා. සැමවිටම සිනාසෙන්න. අන් අයට උපකාර කරන්න, ආදරය කරන්න. සැමවිටම ජීවිතයේ ධනාත්මක පැත්ත ගැන අවධානය යොමුකරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Pablo Recio)

 

සබැඳි ලිපි:

සෞඛ්‍ය සම්පන්න මිනිසුන් අතර ඇති හොඳ පුරුදු
සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක්
සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබට ඇතිවන වාසි මොනවාද?
සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්
හොඳ නින්දක් ලබාගැනීමෙන් ඇති වාසි

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට වටිනා ඉඟි කිහිපයක්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*