සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබට ඇතිවන වාසි මොනවාද?

සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබට ඇතිවන වාසි මොනවාද?

ඔබට ජීවත්වීමට ඇත්තේ සකස්කරන ලද ආහාර වලට මුල් තැනක් දෙමින්, ව්‍යායාම වලින් තොරව, මිතුරන් සමග විනෝද වීමට අවස්ථාවක් නැතිව නම්, සුවැති දිවියක් ගතකිරීම සැබැවින්ම අභියෝගයක් වියහැක. කෙටි ආහාර බහුලව ඇත්නම්, ශාරීරික ක්‍රියාකාරකම් අල්ප නම්, සහ මත්පැන් කරා නිතර යොමුවන්නේ නම්, සුවැති දිවියක් කරා ගමන්කිරීමට ඔබට ඇති අවස්ථා ක්‍රමයෙන් ඇහිරෙනු ඇත. කෙසේ වුවත්, සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩිවන අතර, එමගින් ජීවිත කාලයද දිගුවනු ඇත. සැබැවින්ම, සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබට ඇතිවන වාසි මොනවාද?

 

රෝග වලින් වැළකීමට අවස්ථාව ලැබීම

හෘද රෝග, දියවැඩියාව, අංශභාගය වැනි ඔබේ දිවියේ ගුණාත්මකභාවයට සැලකිය යුතු ලෙස හානිකරන රෝග වලින් වැළකීමට අවස්ථාව ලැබීම, සුවැති දිවියකින් ලැබෙන දිගුකාලීන ප්‍රතිලාභයකි. නමුත්, සුවැති දිවියක් සඳහා ජීවිතයේ වෙනස්කම් ඇතිකරගැනීම තරමක් අපහසු දෙයක් වේ. ඔබ දැනටමත් ගන්නා ඇතැම් ආහාර සහ හෘද රෝග අතර සම්බන්ධය ගැන ඔබ දැනුවත්ව සිටියත්, දිගුකාලයක් තිස්සේ පැවැති ඔබේ සමහර ආහාර පුරුදු නතර කිරීම අපහසු බව ඔබට වැටහෙනු ඇත. කෙසේ වුවත්, දිනපතාම ඔබ ඇතිකර ගන්නා යහපත් ආහාර සහ චර්යාමය පුරුදු මගින් ලැබෙන වාසි අතර ආත්‍රයිටිස් හෙවත් සන්ධි ප්‍රදාහය, අස්ථි දුර්වලවීම හෙවත් ඔස්ටියොපොරෝසිස්, අංශභාගය, දියවැඩියාව, සහ අනෙකුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව වළක්වා ගැනීමට හැකියාව ලැබීම පවතින බව අමතක නොකල යුතුය.

 

අනතුරු වළක්වා ගැනීමට හැකියාව ලැබීම

ඔබට අනතුරු සිදුවීමට අවදානමක් ඇති අවස්ථා පිළිබඳව නිතර අවධානයෙන් පසුවීමද සුවැති දිවියකට අත්‍යාවශ්‍ය අංගයකි. උදාහරණයක් වශයෙන්, එදිනෙදා වැඩකටයුතු කරන අතර යමක් එසවීමේදී ශරීරයේ ඉරියවු නිවැරදිව පවත්වා ගැනීමෙන්, ජීවිතයේ ඉදිරි කාලය පුරාවටම වදයක් වියහැකි කොන්දේ ආබාධ ඇතිවීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම, මෝටර් බයිසිකලයක් පදින විට හිස් ආවරණයක් පැළඳීම, මෝටර් රථයක ගමන්කරන විට ආසන පටි පැළඳීම, ක්‍රීඩා කරන විට ආරක්ෂිත උපාංග පැළඳීම වැනි උපක්‍රමද සුවැති දිවියකට වැදගත් අංග ලෙස දැක්විය හැක.

 

ශරීර ශක්තිය වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබීම

යහපත් ආහාර සහ චර්යාමය පුරුදු වල අරමුණ හෝ අවසන් ප්‍රතිඵලය වන්නේ ශරීරය අතිශයින්ම සිහින්වීම නොව, ශක්තිමත්වීම සහ සෞඛ්‍ය සම්පන්න වීමයි. එමනිසා, සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීමේදී ආහාරයට ගන්නේ මොනවාද සහ කෙසේද යන්න එකලෙස වැදගත් බව අමතක නොකල යුතුය. සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීමෙන් ඔබේ ශරීර ශක්තිය වැඩිකර ගැනීමට හැකියාව ලැබෙන බැවින් එදිනෙදා වැඩකටයුතු සක්‍රීයව කිරීමට මෙන්ම දිනකට වැඩි කාර්යයන් ප්‍රමාණයක් කිරීමටද අවස්ථාව ලැබේ. නිතිපතා ව්‍යායාම කිරීම නිසා ශරීර ශක්තිය වර්ධනය වීම සහ වෙහෙසකර බව අඩුවීම සිදුවන බව පර්යේෂණ ගණනාවකින්ම පෙන්වා දී ඇති කරුණකි. බොහෝ අය ශරීරයට වෙහෙස දැනෙන විට ව්‍යායාම කිරීමට උනන්දුවක් නොදක්වන මුත්, මදක් ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් අධිකව වෙහෙසකර බවක් දැනීම අඩුකර ගැනීමට හැකියාව ලැබේ.

 

සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට අවස්ථාව ලැබීම

දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකීම, එළවළු හා පළතුරු බහුල (සකස්කල ආහාර හා මේදය අඩු) සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වෙලක් ගැනීම වැනි යහපත් ආහාර සහ චර්යාමය පුරුදු මගින් සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම, ශරීරයේ බර සෞඛ්‍ය සම්පන්න පරාසය තුළ අඩුවත්ම හෘද රෝග වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් අඩුවන අතර, ජීවිතයේ ගුණාත්මකභාවයද සැලකිය යුතු ලෙස වැඩිවේ.

 

මානසික සෞඛ්‍ය වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබීම

ඔබේ මානසික සෞඛ්‍යයද යහපත් ආහාර සහ චර්යාමය පුරුදු මත රඳාපවතින බව අමතක නොකල යුතුය. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ව්‍යායාම මගින් විශාදය (Depression) වැළඳීමට ඇති අවදානම අඩුවන අතර, මතකය තියුණුවීම සහ මානසික ස්වභාවය (Mood) වැඩිදියුණුවීම සිදුවන බව ඇතැම් පර්යේෂණ මගින් තහවුරු වී ඇත. ආහාර වල විවිධත්වයක් පවත්වා ගැනීම, මත්පැන් පානයෙන් හා දුම්පානයෙන් වැළකීම වැනි වෙනස්කම් ජීවන රටාවේ ඇතිකර ගැනීම, මානසික ස්වභාවය සහ දිවියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීමට ඉවහල් වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Rennett Stowe)

 

සබැඳි ලිපි:

ඔබේ සෞඛ්‍යය වැඩිදියුණු කරගැනීමට ඉඟි 20 ක්
බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…
යහපත් ජීවන රටාවක් මගින් සුවදායී දිවියක්…
සුවැති දිවියකට අනුගමනය කලයුතු හොඳ පුරුදු 8 ක්
සුවැති දිවියක් සඳහා අනුගමනය කලයුතු කරුණු 4 ක්

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සුවැති දිවියක් ගතකිරීමෙන් ඔබට ඇතිවන වාසි මොනවාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*