මද සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

මද සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

මද සරුභාවය යනු දරුවෙකු බලාපොරොත්තු වන යුවලකට ඇතිවිය හැකි සැලකිය යුතු මානසික ප්‍රශ්නයකි. කෙසේ වුවත්, ඒ සඳහා සිදුකල හැකි ප්‍රතිකර්ම ගණනාවක් පවතී. මද සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳව මදක් විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණයි.

මද සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර සාධක කිහිපයක් මත තීරණය වේ. ඒවා නම්:

  • මද සරුභාවය ඇතිවීමට හේතුව/හේතු
  • මද සරුභාවය පැවති කාලය කොතරම්ද යන්න
  • ඔබේ සහ ඔබේ සහකරුගේ වයස
  • ඔබේ සහ ඔබේ සහකරුගේ රුචිකත්වය

සැබැවින්ම, මද සරුභාවයට හේතුවන ඇතැම් ගැටළු නිවැරදි කිරීම කල නොහැකි දෙයකි. නමුත්, ස්වාභාවිකව ගැබ් නොගන්නා ඇතැම් අවස්ථා වලදී, ආධාරක ප්‍රජනක තාක්ෂණික ක්‍රමවේදයන් (Assisted reproductive technology or ART) මගින් මද සරුභාවයෙන් පෙළෙන යුවලකට ගැබ්ගැනීම සඳහා අවස්ථාව ලැබේ. කෙසේ වුවත්, මද සරුභාවය සඳහා සිදුකරන ප්‍රතිකර්ම සඳහා සැලකිය යුතු ලෙස ආර්ථික, කායික, මානසික, සහ කාලය කැපකිරීමක් සිදුකිරීම අවශ්‍ය වේ.

 

පුරුෂයන් සඳහා ඇති ප්‍රතිකාර

පුරුෂයන් සඳහා ඇති ප්‍රතිකාර වලදී, ලිංගික ක්‍රියාකාරීත්වයේ ගැටළු හෝ සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු නැතිවීම වැනි ගැටළු නිවැරදි කිරීම සිදුකරයි.

  • ජීවන රටාවේ ඇති ගැටළු නිරාකරණය කිරීම

ජීවන රටාවේ සහ හැසිරීම් රටාවේ ගුණාත්මක වර්ධනයක් සිදුකිරීමෙන්, ගැබ්ගැනීමට ඇති හැකියාව වැඩිකරගත හැක. ඒ සඳහා පහත සඳහන් ක්‍රම භාවිතා කරයි.

  • මද සරුභාවයට හේතුවන ඖෂධ භාවිතය නැවැත්වීම.
  • දුම්පානය, මත්පැන් පානය, සහ මත්ද්‍රව්‍ය භාවිතය නැවැත්වීම.
  • තාපයට නිරාවරණය වීම අවම කිරීම.
  • හුමාල ස්නානය (Sauna) හෝ උණු ජලය ඔරුවක (Hot water tub) ස්නානය කිරීමෙන් වැළකීම.
  • ලිංගිකව එක්වන වාර ගණන වැඩිකිරීම සහ නිසි කාලයට ලිංගිකව එක්වීම.
  • නිතිපතා ව්‍යායාම කිරීම.

 

  • ඖෂධ

ඇතැම් ඖෂධ මගින් ශුක්‍රාණු සංඛ්‍යාව (Sperm count) වැඩිකල හැකි අතර, එමගින් ගැබ්ගැනීමට ඇති හැකියාව වැඩිවේ. මෙවැනි ඖෂධ, වෘෂණ වල ක්‍රියාකාරීත්වය, ශුක්‍රාණු නිෂ්පාදනය, සහ ශුක්‍රාණු වල ගුණාත්මකභාවය වැඩිදියුණු කරයි.

  • ශල්‍යකර්ම

ශුක්‍ර තරලය ගලායෑමට අවහිරතා ඇති පුරුෂයන්ට, ශල්‍යකර්මයක් මගින් එවැනි අවහිරතා නිවැරදි කිරීමෙන් පසුව මද සරුභාවය පහව යයි. එමෙන්ම, වෘෂණ වල ශිරා නැමැති රුධිර වාහිනී ඉදිමීම (Varicocele) ඇති පුරුෂයන්ගේ එම තත්ත්වය ශල්‍යකර්මයක් මගින් නිවැරදි කිරීමෙන් පසුව, ගැබ්ගැනීමට ඇති හැකියාව වැඩිවේ.

  • ශුක්‍රාණු ලබාගැනීම

ශුක්‍ර විසර්ජනය වීමේ ගැටළු හෝ විසර්ජනය වූ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නොතිබීම වැනි ගැටළු ඇති පුරුෂයන්ට මෙම ක්‍රමවේදයන් සිදුකරයි. එමෙන්ම, ඇතැම් අවස්ථා වලදී, ආධාරක ප්‍රජනක තාක්ෂණික ක්‍රමවේදයන් සිදුකිරීමට සැලසුම් කලහොත් හෝ ශුක්‍රාණු සංඛ්‍යාව අඩු අවස්ථා වලදී මෙම ආකාරයට ශුක්‍රාණු ලබාගැනීම සිදුකරයි.

 

කාන්තාවන් සඳහා ඇති ප්‍රතිකාර

බොහෝ විට, කාන්තාවන් සඳහා සිදුකරන ප්‍රතිකර්ම එකකින් හෝ දෙකකින් පසුව මද සරුභාවය පහව යනු දැකිය හැක. නමුත්, ඒ සඳහා එයට වඩා ප්‍රතිකර්ම ගණනාවක් සිදුකිරීමට සිදුවන අවස්ථා පවතී.

  • ඖෂධ මගින් ඩිම්බ මෝචනය උත්තේජනය කිරීම.

ඩිම්බ මෝචනය වීමේ ගැටළු ඇති කාන්තාවන්ට ලබාදිය හැකි ප්‍රධාන ප්‍රතිකර්මය ලෙස මෙය හැඳින්විය හැක. මෙම ඖෂධ මගින් ඩිම්බ මෝචනය ක්‍රමවත් කිරීම හෝ ඩිම්බ මෝචනය උත්තේජනය කිරීම සිදුකරයි.

  • ගර්භාෂය තුළ ශුක්‍රාණු තැන්පත් කිරීම (Intrauterine insemination or IUI)

මෙහිදී, කාන්තාවගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ එකක් හෝ කිහිපයක් මෝචනය වන කාලය ආසන්නයේදී පුරුෂයාගෙන් ලබාගත් සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු ඉතා කුඩා බටයක් ආධාරයෙන් කෙලින්ම කාන්තාවගේ ගර්භාෂය තුළ තැන්පත් කිරීම සිදුකරයි. මෙහිදී, පුරුෂයාගෙන් ලබාගන්නා ශුක්‍රාණු රසායනාගාරයක් තුළදී සැකසීමෙන් පසුව භාවිතා කරයි. මද සරුභාවයට හේතුවන ගැටළු වල ස්වභාවය මත, කාන්තාවගේ සාමාන්‍ය ඔසප් චක්‍රය සිදුවන කාලය හෝ සරුභාවය ඇතිකරන ඖෂධ ලබාදෙන කාලයට අනුව ගර්භාෂය තුළ ශුක්‍රාණු තැන්පත් කිරීම සැලසුම් කලහැක. මෙම ක්‍රමවේදය නිසි අයුරින් කරන්නේ නම්, සාර්ථකත්වය ඉතා වැඩිවේ.

  • ශල්‍යකර්ම

මද සරුභාවයට හේතුවන ගර්භාෂ ආස්තරයේ ඇතිවන ගෙඩි (Endometrial polyps), ගර්භාෂ ආවාරය (Uterine septum), හෝ ගර්භාෂය තුළ කැලැල් (Intrauterine scar tissue) හටගැනීම වැනි ගැටළු, යෝනි මාර්ගය තුළින් ගර්භාෂය තුළට ඇතුළු කරන සිහින් බටයක් වැනි කැමරාවක් සහිත උපකරණයක් (Hysteroscope) ආධාරයෙන්, ශල්‍යකර්මයකට භාජනය කර ඉවත් කරයි.

  • නල දරුවන් සෑදීම (In vitro fertilization or IVF)

මෙය ඉතාමත් ජනප්‍රිය ආධාරක ප්‍රජනක තාක්ෂණික ක්‍රමවේදයකි. දැනට ශ්‍රී ලංකාවේ මෙම සේවාව ලබාදෙන්නේ පෞද්ගලික ආයතන මගින් පමණි. ඖෂධ මගින් එකවර ඩිම්බ කිහිපයක් මේරීමකට ලක්කරන අතර, ඒවා යෝනි මාර්ගය හරහා කුඩා කටුවක් ඇතුළුකර පිටතට ගනී. මෙසේ ලබාගත් ඩිම්බ රසායනාගාරයක් තුළදී පුරුෂයාගෙන් ලබාගත් සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු සමග එකතුකර කලලයක් සාදාගනී. ඉන් පසුව, කෘතිම සංසේචනය සිදුකර දින 3-5 ක කාලයකට පසුව කලලය කාන්තාවගේ ගර්භාෂය තුළ තැන්පත් කරනු ලැබේ.

 

මද සරුභාවය සඳහා ප්‍රතිකාර කිරීමේදී ඇතිවිය හැකි සංකූලතා

  • කලල කිහිපයක් වර්ධනය වීම (Multiple pregnancy)

ගර්භාෂය තුළ කලල කිහිපයක් වර්ධනය වීම බහුලව ඇතිවන සංකූලතාවයකි. එය, නිවුන් දරුවන් දෙදෙනෙක්, තිදෙනෙක්, හෝ එයට වඩා වැඩි ගණනක් වුවද වියහැක. සාමාන්‍යයෙන්, කලල සංඛ්‍යාව වැඩිවත්ම, නොමේරූ දරු උපත් සිදුවීම, ගර්භණී අවධියේදී හටගන්නා දියවැඩියාව (Gestational diabetes) වැනි ගැටළු හටගැනීමට ඇති අවදානමද වැඩිවේ. දරුවා නොමේරූ දරුවෙකු ලෙස බිහිවුවහොත්, ඔහුට හෝ ඇයට සෞඛ්‍ය සහ වර්ධනය වීමේ ගැටළු ඇතිවිය හැක.

  • ඩිම්බාධාර අතිඋත්තේජන සහලක්ෂණය (Ovarian hyperstimulation syndrome or OHSS)

සරුභාවය වැඩිකිරීමට කාන්තාවට ලබාදෙන ඖෂධ මගින් මෙම තත්ත්වය ඇතිවිය හැක. මෙහිදී, ඩිම්බ මදක් ඉදිමීම නිසා වේදනාවක් ඇතිවේ. එවිට, උදරයේ වේදනාව, බඩ පුරවා දැමීම, සහ ඔක්කාරය ඇතිවන අතර, කාන්තාව ගැබ්ගතහොත් රෝග ලක්ෂණ සතියක් හෝ එයට වැඩි කාලයක් පැවතිය හැක. කලාතුරකින්, කෙටි කාලයකදී බර වැඩිවීම සහ හුස්මගැනීමේ අපහසුතාවය වැනි උග්‍ර රෝග ලක්ෂණ ඇතිවීමට ඉඩ ඇති අතර, එහිදී හදිසි ප්‍රතිකාර සඳහා යොමුකිරීමටද අවශ්‍ය වියහැක.

  • රුධිර වහනය හෝ ආසාදන

ශරීරයේ සිදුරු කිරීමක් හෝ කැපුමක් සිදුකර කරන ඕනෑම ක්‍රමවේදයකදී හෝ ශල්‍යකර්මයකදී මෙන්, මද සරුභාවයට ප්‍රතිකාර ලෙස සිදුකරන තාක්ෂණික උපක්‍රම වලදීද රුධිරය වහනය වීමට හෝ ආසාදනය වීමට කුඩා අවදානමක් පවතී.

 

(ඡායාරූප අනුග්‍රහය: Phalinn Ooi)

 

සබැඳි ලිපි:

මද සරුභාවය (Subfertility) ගැන මදක් දැනගනිමු.
මද සරුභාවය ඇතිවීමට හේතු මොනවාදැයි සොයා බලමු.
මද සරුභාවය (Subfertility) සඳහා රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මද සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*