මද සරුභාවය ඇතිවීමට හේතු මොනවාදැයි සොයා බලමු.

මද සරුභාවය ඇතිවීමට හේතු මොනවාදැයි සොයා බලමු

ගැබ්ගැනීමක් සිදුවීමට නම් ඩිම්බ මෝචනය සහ සංසේචනය ආශ්‍රිත සියළු පියවර පිළිවෙලින් සහ නිවැරදිව සිදුවිය යුතුය. ඇතැම්විට, මද සරුභාවයෙන් පෙළෙන අඹු සැමියන් යුවලෙහි, ඒ සඳහා හේතුවන ගැටළු උපතේ සිටම පැවත එන ඒවා මෙන්ම, පසුකාලීනව වර්ධනය වන ඒවාද විය හැක. එමනිසා, මද සරුභාවය ඇතිවීමට හේතු පිළිබඳව මදක් විමසා බැලීම වැදගත් විය හැක. සාමාන්‍යයෙන්, මද සරුභාවය ඇතිවූ අයගෙන් තුනෙන් එකකට පුරුෂයාගේ ඇති ගැටළු නිසා එය ඇතිවන අතර, තවත් තුනෙන් එකකට කාන්තාවගේ ඇති ගැටළු නිසා එය ඇතිවනු දැකිය හැක. ඉතිරි තුනෙන් එක හටගන්නේ දෙදෙනාගේම ඇති ගැටළු නිසාවෙන් හෝ කිසිඳු ගැටළුවක් හඳුනාගැනීමට නොහැකිවය.

 

මද සරුභාවය ඇතිවීමට පුරුෂයන්ගේ දක්නට ලැබෙන හේතු මොනවාද?

  • අසාමාන්‍ය ශුක්‍රාණු නිපදවීම හෝ ශුක්‍රාණු වල අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය

වෘෂණ කෝෂයට පහත් නොවූ වෘෂණ පැවතීම (Undescended testicles), ඇතැම් ජාන විකෘති, දියවැඩියාව, හෝ ක්ලැමීඩියා (Chlamydia), ගොනෝරියා (Gonorrhoea), කම්මුල්ගාය (Mumps), HIV වැනි ආසාදන නිසා මෙය සිදුවිය හැක. එමෙන්ම, වෘෂණ වල ඇති ශිරා නැමැති රුධිර වාහිනී ඉදිමීම (Varicocele) මගින්ද, ශුක්‍රාණු වල ගුණාත්මකභාවය පහත වැටේ.

  • ශුක්‍ර තරලය විසර්ජනය වීමේදී මතුවන ගැටළු

අකාලයේ ශුක්‍ර විසර්ජනය වීම (Premature ejaculation), කෝෂ්ඨ තන්තුමතාව (Cystic fibrosis) නැමැති ජාන ආශ්‍රිත රෝගය, හෝ වෘෂණ තුළැති අවහිරතා, ලිංගේන්ද්‍රියයන් වලට හානි සිදුවීම වැනි ව්‍යුහාත්මක ගැටළු නිසා මෙය ඇතිවිය හැක.

  • ඇතැම් පාරිසරික සාධක වලට වැඩිපුර නිරාවරණය වීම

කෘමි නාශක හා වෙනත් රසායන ද්‍රව්‍ය, සහ විකිරණ වලට නිරාවරණය වීමෙන් මද සරුභාවය ඇතිවිය හැක. එමෙන්ම, දුම්පානය, මත්පැන් පානය, මරිජුවානා භාවිතය, ඇතැම් ප්‍රතිජීවක ඖෂධ, අධික රුධිර පීඩනයට ලබාදෙන ඇතැම් ඖෂධ, සහ ඇතැම් ස්ටෙරොයිඩ් ඖෂධ (Anabolic steroids) නිසාද මද සරුභාවය හටගැනීම සිදුවේ. නිතර තාපයට නිරාවරණය වීමද මද සරුභාවය ඇතිවීමට තවත් හේතුවක් ලෙස දැක්විය හැක. මක්නිසාද, හුමාල ස්නානය (Sauna) හෝ උණු ජලය ඔරුවක (Hot tub) ස්නානය කිරීමෙන් ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළයාම, ශුක්‍රාණු නිෂ්පාදනය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිකරයි.

  • පිළිකා සඳහා ලබාදෙන ප්‍රතිකාර

පිළිකා සඳහා ලබාදෙන රසායනික චිකිත්සාව (Chemotherapy) හෝ විකිරණ චිකිත්සාව (Radiotherapy) ශුක්‍රාණු නිෂ්පාදනය අඩාල කරයි. ඇතැම්විට, මෙය ඉතා දරුණු ලෙස සිදුවිය හැක.

 

මද සරුභාවය ඇතිවීමට කාන්තාවන්ගේ දක්නට ලැබෙන හේතු මොනවාද?

  • ඩිම්බ මෝචනය ආශ්‍රිත ගැටළු

ඩිම්බ කෝෂ වලින් නිසි පරිදි ඩිම්බ මෝචනය නොවුවහොත්, මද සරුභාවය ඇතිවේ. බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය (Polycystic ovary syndrome or PCOS), අධිකව ප්‍රොලැක්ටීන් හොමෝනය නිපදවීම (Hyperprolactinaemia) වැනි හෝමෝන ආශ්‍රිත රෝග මගින් ඩිම්බ මෝචනය අඩාලවීම සිදුවේ. එමෙන්ම, තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය (Hyperthyroidism) හෝ තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය (Hypothyroidism) වැනි හෝමෝන ආශ්‍රිත රෝගද, ඔසප් චක්‍රය අක්‍රමවත් කරන බැවින් මද සරුභාවයට හේතුවිය හැක. අධික තීව්‍රතාවයකින් යුතුව ව්‍යායාම කිරීම, අනතුරු, ශරීරයේ හටගන්නා ඇතැම් ගෙඩි, සහ ආහාර ගැනීම ආශ්‍රිත රෝග (Eating disorders) මගින්ද ඩිම්බ මෝචනය අඩාල වියහැක.

  • ගර්භාෂය හෝ ගැබ්ගෙල ආශ්‍රිත අසාමාන්‍යතා

ගැබ්ගෙලෙහි විවරයේ ඇති අසාමාන්‍යතා, ගර්භාෂයේ හටගන්නා ගෙඩි, හෝ ගර්භාෂයේ හැඩයෙහි ඇති අසාමාන්‍යතා මද සරුභාවයට හේතුවිය හැක. එමෙන්ම, ගර්භාෂ බිත්තියෙහි හටගන්නා පිළිකාමය නොවන ගෙඩි වර්ගයක් වන තන්ත්වාභ හෙවත් ෆයිබ්‍රොයිඩ් (Fibroids) මගින් ෆැලෝපීය නාල අවහිර වුවහොත් කලාතුරකින් මද සරුභාවය ඇතිවේ. නමුත්, තන්ත්වාභ මගින් ගර්භාෂය තුළ සංසේචනය වූ ඩිම්බය අධිරෝපණය වීම වැළැක්වීම සිදුවිය හැකි බැවින් මද සරුභාවය ඇතිවේ.

  • ෆැලෝපීය නාල අවහිරවීම හෝ ඒවාට හානි සිදුවීම

ශ්‍රෝණි කුහරය තුළැති අවයව වල ඇලීම් (Adhesions), එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) තත්ත්වය, හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (Sexually transmitted diseases or STDs) නිසා ඇතැම්විට ශ්‍රෝණි ප්‍රදාහ රෝගය (Pelvic inflammatory disease or PID) ඇතිවේ. එමගින්, ෆැලෝපීය නාල වල ප්‍රදාහයක් (Salpingitis) ඇතිවිය හැකි අතර, එය ෆැලෝපීය නාල අවහිර කිරීමට හෝ ඒවාට හානිකිරීමට සමත් වේ. එමෙන්ම, ෆැලෝපීය නාල තුළ සිදුවිය හැකි ගර්භාෂයෙන් පිටත පිළිසිඳගැනීම් (Ectopic pregnancies) නිසාද, ෆැලෝපීය නාල වලට හානි සිදුවීමෙන් පසුකාලීනව මද සරුභාවය හටගත හැක.

  • එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය

ගර්භාෂයේ ආස්තරය (Endometrium) සාදන පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වීමෙන්, ඩිම්බ කෝෂවල, ගර්භාෂයේ, සහ ෆැලෝපීය නාලවල ක්‍රියාකාරීත්වය අඩාල වියහැක.

  • මූලික ඩිම්බාධාර අකර්මණ්‍යවීම (Primary ovarian insufficiency)

මෙය නියමිත කාලයට කලින් ආර්තවාභාවය සිදුවීම (Early menopause) ලෙසද හැඳින්වේ. මෙහිදී, වයස අවුරුදු 40 එළඹීමට පෙර ඩිම්බ කෝෂ අක්‍රීයවීම සිදුවේ. මෙම තත්ත්වය හටගැනීම සඳහා පැහැදිලි හේතුවක් බොහෝවිට සොයාගත නොහැක. නමුත්, ඇතැම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග, ටර්නර් සහලක්ෂණය (Turner syndrome) හෝ භංගුර X සහලක්ෂණයේ (Fragile X syndrome) වාහකයන් වීම, විකිරණ චිකිත්සාව, රසායනික චිකිත්සාව, සහ දුම්පානය මෙම තත්ත්වය හටගැනීම සඳහා හේතුවන බව සොයාගෙන ඇත.

  • ශ්‍රෝණියේ අවයව වල ඇලීම් (Adhesions) ඇතිවීම

ඇතැම්විට, උදර කුහරයේ හෝ ශ්‍රෝණි කුහරයේ සිදුකරන ශල්‍යකර්ම, උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය (Appendicitis), හෝ ශ්‍රෝණි කුහරයේ ඇතිවන ආසාදන වලට පසුව ශ්‍රෝණි කුහරයේ ඇති අවයව තන්තුමය පටක හෙවත් කැලැල් මගින් එකිනෙක ඇලීම සිදුවිය හැක. එමගින්, කාන්තා ප්‍රජනක අවයව වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය අඩාල වියහැක.

  • ඇතැම් පිළිකා සහ පිළිකා ප්‍රතිකාර

ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවන පිළිකා, රසායනික චිකිත්සාව, සහ විකිරණ චිකිත්සාව නිසා දරුණු ලෙස මද සරුභාවය ඇතිවිය හැක.

  • වෙනත් රෝග සහ තත්ත්ව

පිචණ්ඩික රෝගය (Celiac disease), පාලනය නොවන දියවැඩියාව, සහ ලූපසය (Lupus) වැනි ඇතැම් ස්ව-ප්‍රතිශක්ති රෝග (Autoimmune diseases) වැඩිවිය පැමිණීම ප්‍රමාද කරන අතර, ඔසප්වීම නැවැත්වීම (Amenorrhea) ද සිදුකරයි. එමෙන්ම, ඇතැම් ජාන විකෘතිද පිළිසිඳගැනීමට සහ ගර්භණීභාවයට අහිතකර ලෙස බලපායි.

 

(ඡායාරූප අනුග්‍රහය: Tina Franklin)

 

සබැඳි ලිපි:

මද සරුභාවය (Subfertility) ගැන මදක් දැනගනිමු.
මද සරුභාවය (Subfertility) සඳහා රෝග විනිශ්චය කරන්නේ කෙසේද?
මද සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "මද සරුභාවය ඇතිවීමට හේතු මොනවාදැයි සොයා බලමු."

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*