බර අඩුකරගෙන යනවිට යම් මට්ටමකදී සිරවුවහොත් කුමක් කල යුතුද?

බර අඩුකරගෙන යනවිට යම් මට්ටමකදී සිරවුවහොත් කුමක් කල යුතුද

ඔබ ක්‍රමයෙන් බර අඩුකරගෙන යනවිට යම් මට්ටමකදී, තවදුරටත් ඔබේ බර අඩුනොවී නතරවීමට පුලුවන. ඔබේ ඉලක්කය කරා යෑම සඳහා තදින් ව්‍යායාම කරමින් සහ ගන්නා කැලරි ප්‍රමාණය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරමින් සිටින විට පවා හදිසියේම ඔබ සිරවීමකට ලක්විය හැක. ඔබ කොතරම් උත්සාහ කලත්, ඔබේ තරාදියේ යම් අගයකින් එහාට ගමන් කිරීමට නොහැකිවිය හැක. මෙය, සාමාන්‍ය දෙයක්ද, නැතහොත් බර අඩුකරගැනීමට උත්සාහ කරන සැමදෙනාම අත්දකින තත්ත්වයක්ද? ඔබට මෙම ප්‍රශ්න සිතට නැගෙනවා ඇත.

බොහෝවිට, මෙම සිදුවීමට හේතුව වන්නේ ඔබේ ඉලක්කය කරා ගමන්කිරීමේදී, කාලය ගතවත්ම ඔබගේ වෑයම සහ උද්‍යෝගය ක්‍රමයෙන් හීනවී යාමයි. එනම්, යම් කාලයක් ගතවූ විට, ඔබ මුලින් කල උත්සාහය, 100% කින්ම කරගෙන යන්නේ නැත.

ඔබ මුලින්ම බර අඩුකරගැනීම සඳහා වැඩසටහනක් ආරම්භ කිරීමේදී, ජීවන රටාවේ වෙනස්කම් කරගැනීමට මහත් උද්‍යෝගයකින් කටයුතු කරයි. නමුත්, එම වැඩසටහන ආරම්භ කර සති 8 ක් පමණ ගතවන විට, ඔබේ සංයමය සහ උනන්දුව ක්‍රමයෙන් අඩුවන්නේ ඔබටත් නොදැනීමය. ඕනෑම අයෙක්ට, යම් ක්‍රියාවක් කිරීම සඳහා දිනපතාම එකම උනන්දුව පවත්වා ගැනීම අසීරු කාර්යයකි. ඒ සඳහා සැලකිය යුතු මානසික සහ කායික කැපකිරීමක් කලයුතුය.

තවදුරටත් ඔබේ තරාදිය යම් අගයකින් එහාට සෙලවෙන්නේ නැත්නම්, සැබැවින්ම ඔබ බර අඩුකරගැනීම සඳහා ඔබට කලහැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටින්නේ දැයි ඔබෙන්ම විමසන්න. ඔබට ව්‍යායාම කිරීම මගහැරෙනවාද? ව්‍යායාම වල ඔබ බලාපොරොත්තු වන තීව්‍රතාවය දිගටම පවත්වා ගන්නවාද? ඔබ සැලසුම් කරන ලද මට්ටමට වඩා ස්වල්පයක් හෝ වැඩියෙන් ආහාර ගන්නවාද? නැතහොත්, ඔබේ ශරීරයේ හැඩයට සහ උසට නොගැලපෙන තරම් අඩු බරක් ඔබේ ඉලක්කය කරගෙන ඇත්ද? මෙම ගැටළු වලට පිළිතුරු සෙවීම සඳහා නැවත විමර්ශනය කරන්න.

නැවත සාර්ථකව බර අඩුකරගැනීමේ මාවතට පිවිසීම සඳහා උද්‍යෝගය ඇතිකරගන්නේ කෙසේද? ඒ සඳහා පහත සඳහන් අදහස් ඔබට උපකාරී වනු ඇත.

 

  • ඔබේ ඉලක්කය නිර්වචනය කරගන්න.

සැබැවින්ම ඔබට ගැලපෙන බර අඩුකරගැනීමේ ඉලක්කය පැහැදිලිව කොලයක සටහන් කරගන්න. එය, ඔබේ දිවියට වැදගත් වන්නේ කෙසේද යන්න සරලව එහි ලියන්න. එම සටහන, දිනපතාම ඔබට ඇස ගැටෙන ස්ථානයක අලවා තැබීමෙන්, ඔබේ උද්‍යෝගය පවත්වා ගැනීම පහසු වනු ඇත.

 

  • වෙනස් වෙන්න.

දිනපතාම එකම ව්‍යායාම වැඩසටහන නොකර, එහි ඇති ව්‍යායාම වෙනස් කරමින් විවිධත්වයක් ඇතිකර ගන්න. එමගින්ද, ඔබේ උනන්දුව දිගටම පවත්වාගත හැක.

 

  • ඔබේ ඉලක්කය තුළ කෙටිකාලීන ඉලක්කයක් ඇතිකරගන්න.

උදාහරණ වශයෙන්, කුඩා මැරතන් ධාවන තරඟයකට සහභාගී වීම දැක්විය හැක. එම තරඟය සඳහා පුහුණුවීම මගින්, ශාරීරික යෝග්‍යතාවය වැඩිකරගැනීමට හොඳ ඉලක්කයක් ලැබෙන අතර, ශාරීරික ක්‍රියාකාරකම් වල මට්ටම ඉහළ තලයක පවත්වා ගැනීමටද හැකියාව ලැබේ.

 

  • ඔබ ගන්නා කැලරි ප්‍රමාණය නැවත විමසා බලන්න.

ඔබේ ශරීරයට ගැලපෙන කැලරි ප්‍රමාණය ගන්නේ දැයි මදක් සොයාබලන්න. ඇතැම් විට, ඔබ කලින් සිතන ලද කැලරි ප්‍රමාණයට වඩා අඩු අගයක් ගැනීමට අවශ්‍ය වියහැක. ඇතැම් විට, ඔබ ප්‍රමාණවත් තරම් කැලරි ප්‍රමාණයක් නොගන්නවාද වියහැක. එවිට, ඔබේ ශරීරය නිරාහාර අවධිය (Starvation mode) කට පත්වන අතර, එමගින් තවදුරටත් බර අඩුවීම නැවතීම සිදුවේ.

ඔබ බර අඩුකරගෙන යනවිට යම් මට්ටමකදී සිරවුවහොත්, මෙම ඉඟි අනුගමනය කිරීමට උත්සාහ කරන්න. වැදගත් වන්නේ, තරාදියේ ඉලක්කම් වලින් පමණක් ඔබේ උත්සාහය හෝ ඔබව නිර්වචනය නොවන බව වටහා ගැනීමයි. කෙසේ බර අඩුකර ගත්තත්, එම ක්‍රියාවලිය සහ අවසානයේදී එයින් ලැබෙන ප්‍රතිඵලය සෞඛ්‍ය සම්පන්න විය යුතුමය.

 

(ඡායාරූප අනුග්‍රහය: David Mulder)

 

සබැඳි ලිපි:

කොතරම් ව්‍යායාම කලත් බඩ අඩුවෙන්නේ නැත්තේ ඇයි?
බර අඩුකරගැනීම පිළිබඳ වැරදි මත 10 ක්
බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි?
ව්‍යායාම සහ කෑම පාලනය කරන විටදීත් ඔබේ බර වැඩිවෙනවාද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "බර අඩුකරගෙන යනවිට යම් මට්ටමකදී සිරවුවහොත් කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*