ඔබ කොපමණ ඉක්මනින් බර අඩුකරගත යුතුද?

ඔබ කොපමණ ඉක්මනින් බර අඩුකරගත යුතුද

ශරීරයේ බර අඩුකරගැනීමට බළාපොරොත්තු වන බොහෝ දෙනාගේ ඉලක්කය වන්නේ හැකිතරම් ඉක්මනින් සහ පහසුවෙන් බර අඩුකර ගැනීමයි. නමුත්, ඉක්මනින් බර අඩුකරගැනීමෙන් පසුව එය පවත්වා ගැනීම අපහසු වෙනවා මෙන්ම, සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රියාවලියක් ලෙසද එය හඳුන්වන්න පුළුවන්. ඔබ කොපමණ ඉක්මනින් බර අඩුකරගත යුතුදැයි මදක් පැහැදිළි කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

බර අඩුකරගැනීමට ඔබ උත්සාහ කරනවා නම්, එහි ප්‍රතිඵල දැකීමට සහ වෙනස විඳීමට ඔබේ සිත ඉක්මන් වීම සාමාන්‍ය දෙයක්. එමනිසා, පහසුවෙන් සහ වේගයෙන් බර අඩුකරගැනීමට ප්‍රචලිත ක්‍රමවේදයන් කෙරෙහි විශ්වාසය තැබීම අරුමයක් නොවේ. අවාසනාවකට මෙන්, එවැනි ක්ෂණික ආහාර සැලසුම් මගින් බර අඩුකරගත හැකි වුවද, එය දිගටම පවත්වා ගැනීම ඉතා අපහසු කාර්යයක් වේ. මාස ගණනකට හෝ අවුරුදු කිහිපයකට වඩා, එවැනි ක්‍රමවේදයන් අනුගමනය කිරීම අපහසු වීම සුලභ දෙයකි.

බර අඩුකරගැනීමට සහ එය පවත්වා ගැනීමට වඩාත්ම ඵලදායී ක්‍රමය වන්නේ ශරීරයේ බර කාලයක් තිස්සේ ක්‍රමයෙන් අඩුකර ගැනීමයි. මේ සඳහා ඔබේ බර අඩුකරගැනීමේ සැලසුම තුළ, ආහාර ගන්නා රටාවේ සහ ශාරීරික ක්‍රියාකාරකම් වල කුඩා වෙනස්කම් ඇතුළත් විය යුතු අතර, ඒවා දිගුකාලයක් තිස්සේ අනුගමනය කිරීමට අපහසු නොවන ඒවා වීමද වැදගත් වේ. එමෙන්ම, කාලයක් ගතවන විට ශරීරයේ බර අඩුවී තවදුරටත් වෙනස් නොවන අවධියකට පත්වීම සිදුවේ. එවිට, ආහාර රටාවේ සහ ශාරීරික ක්‍රියාකාරකම් වල තවදුරටත් වෙනස්කම් ඇතිකරගැනීමට අවශ්‍යතාවයක් උද්ගත විය හැක. බර අඩුකරගැනීමට යම් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටින විට, මාස 6-9 ක කාලයකට පසුවත් සෞඛ්‍ය සම්පන්න බරකට ලඟාවීමට නොහැකි වූයේ නම්, ඉදිරියට ගතහැකි පියවර පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම කල යුතුය.

ඔබේ බර අඩුකරගැනීමට කුමන ක්‍රමවේදයක් අනුගමනය කලත්, සෞඛ්‍ය සම්පන්නව අඩුකරගත හැකි බර ප්‍රමාණය වන්නේ සතියකට ග්‍රෑම් 500 ක සිට කිලෝග්‍රෑම් 1 ක් දක්වා පමණි. මෙම අගයට වඩා වැඩි වේගයකින් බර අඩුකරගැනීම කිසිසේත්ම සෞඛ්‍ය සම්පන්න නොවන අතර, එය ඌණ පෝෂණය (Malnutrition), පිත්තාශයේ ගල් හටගැනීම, සහ වෙහෙසකර බවක් හෝ රෝගී බවක් දැනීම වැනි සෞඛ්‍ය ගැටළු ඇතිකරයි.

සති කිහිපයක් තුළ ආහාර ගන්නා රටාවේ වෙනස්කම් කරමින්, කෙටි කාලයකදී ඉක්මනින් බර අඩුකරන ආහාර සැලසුම්, දිගුකාලීනව සෞඛ්‍ය සම්පන්න බරක් ඇතිකිරීමට අපොහොසත් වේ. එමනිසා, සෞඛ්‍ය සම්පන්නව බර අඩුකරගැනීමට නම්, ඔබේ බර අඩුකරගැනීමට අදහස් කරන ඉලක්කය, දිනකට ආහාර මගින් ගතයුතු කැලරි ප්‍රමාණය, සහ ශාරීරික ක්‍රියාකාරකම් වලින් දහනය කලයුතු කැලරි ප්‍රමාණය පිළිබඳව යම් අදහසක් ඔබ තුළ පැවතීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා ඔබේ වෛද්‍යවරයා හෝ පෝෂණවේදියෙකු සමග සාකච්ඡා කිරීම වඩාත් උචිත වේ.

 

(ඡායාරූප අනුග්‍රහය: Dennis Hamilton)

 

සබැඳි ලිපි:

බර අඩුවීම සඳහා දවසකට කොපමණ ව්‍යායාම කල යුතුද?
ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…
ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්
බර අඩුකරගැනීම පහසු කරවන ඉඟි 10 ක්
බර අඩුකරගැනීම පිළිබඳ වැරදි මත 10 ක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබ කොපමණ ඉක්මනින් බර අඩුකරගත යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*