කාන්තා ඔබගේ ශරීරයේ අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වෙලාද?

කාන්තා ඔබගේ ශරීරයේ අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වෙලාද

ශරීරයේ සාමාන්‍ය රෝම වර්ධනය, පුද්ගලයාගෙන් පුද්ගලයාට, පවුල් අතර, සහ ජනවර්ගය අනුව වෙනස් වේ. නමුත්, මධ්‍යධරණී සහ ආසියානු උප මහද්වීප ප්‍රදේශ වල වෙසෙන ජනතාවගේ මෙය තරමක් වැඩිපුර දක්නට ලැබේ. කාන්තාවකගේ මුහුණේ සහ ශරීරයේ වෙනත් ප්‍රදේශ වල රෝම වැඩිපුර වර්ධනය වීම, හර්සියුටිස්ම් (Hirsutism) ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය නිසා කාන්තාවන් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්වන අවස්ථාද පවතී. නමුත්, සාමාන්‍ය රෝම වර්ධනය සහ හර්සියුටිස්ම් තත්ත්වය අතර කඩඉමක් වෙන්කිරීම අපහසුය. කාන්තා ඔබගේ ශරීරයෙත් අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වෙලාද?

සාමාන්‍යයෙන්, මුහුණේ, පියයුරු වල, පපුවේ, කිහිලි වල, රහස් ප්‍රදේශයේ, කලවා වල, සහ උදරයේ මැද ප්‍රදේශයේ රෝම වර්ධනය වීමට ලිංගික හෝමෝන (Sex hormones) වල ක්‍රියාකාරීත්වය බලපායි. නමුත්, ශරීරය පුරා පවතින සියුම් රෝම (Vellus hair) වර්ධනය වීම සඳහා මෙම ලිංගික හෝමෝන ක්‍රියාකාරීත්වයේ බලපෑමක් නොමැත. කාන්තාවකගේ, ලිංගික හෝමෝන වල බලපෑම මත රෝම වර්ධනය වන ප්‍රදේශ වල වැඩිපුර රෝම වර්ධනය වන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ ඇයගේ ඩිම්බ කෝෂ (Ovaries) වලින් සහ වකුගඩු වල ඉහළ ප්‍රදේශයේ පවතින අධිවෘක්ක ග්‍රන්ථි (Adrenal glands) වලින් වැඩිපුර පුරුෂ හෝමෝන (Male hormones or andogens) නිපදවන බවයි. මෙම ක්‍රියාවලිය බහුලව සිද්ධ වන්නේ, බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය (Poly-cystic ovarian syndrome or PCOS) නිසා වුවත්, ඇතැම්විට වෙනත් දුර්ලභ හේතූන් මතද ඇතිවිය හැක. එවැනි දුර්ලභ හේතූන් ලෙස, අධිවෘක්ක ග්‍රන්ථි අසාමාන්‍ය ලෙස වැඩීම (Adrenal hyperplasia), කුෂින්ගේ සහලක්ෂණය (Cushing’s syndrome), සහ ඩිම්බකෝෂ හා අධිවෘක්ක ග්‍රන්ථි වල ඇතිවන ගැටිති දැක්විය හැක.

පුරුෂ හෝමෝන වැඩිපුර පවතින්නේ පිරිමි අයගේ වුවද, කාන්තාවන්ගේ ශරීර වලද යම් ප්‍රමාණයක් පවතී. පුරුෂ හෝමෝන කිහිපයක් පැවතියද, වැඩිපුර ප්‍රචලිත වර්ගය වන්නේ ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) ය. කාන්තාවකගේ ශරීරයේ පුරුෂ හෝමෝන වැඩිපුර නිපදවීම හෝ සාමාන්‍ය ප්‍රමාණයට පවතින පුරුෂ හෝමෝන වලට රෝමකූප වැඩි සංවේදීතාවයක් දැක්වීම නිසා හර්සියුටිස්ම් තත්ත්වය ඇතිවිය හැක.

කෙසේ වුවත්, හර්සියුටිස්ම් තත්ත්වය ඇති කාන්තාවන්ගෙන් වැඩිපුර පුරුෂ හෝමෝන නිපදවන්නේ සුළු ප්‍රමාණයක් පමණි. මෙසේ සිදුවන්නේ, බහුකෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය හෝ වෙනත් දුර්ලභ රෝග තත්ත්වයන් නිසාය. එයට අමතරව, ප්‍රොජෙස්ටොජන් (Progestogen) අඩංගු පවුල් සැලසුම් පෙති, ඇතැම් හෝමෝන, ඩැනසෝල් (Danazol), ෆෙනිටොයින් (Phenytoin), මිනොක්සිඩිල් (Minoxidil), ඩයසොක්සයිඩ් (Diazoxide), සයික්ලොස්පෝරින් (Ciclosporin), සහ ඇතැම් ස්ටෙරොයිඩ් වැනි ඖෂධ දිගුකාලීනව භාවිතා කිරීම නිසාද, හර්සියුටිස්ම් තත්ත්වය ඇතිවිය හැක. නමුත්, හර්සියුටිස්ම් තත්ත්වය ඇති බොහෝ කාන්තාවන්ගේ ශරීර වල හෝමෝන අසමතුලිතතාවයක් හෝ ඒ සඳහා හේතුවිය හැකි වෙනත් රෝග තත්ත්වයක් නොමැත. ඔවුන් හර්සියුටිස්ම් තත්ත්වයට ගොදුරුවන්නේ, සාමාන්‍ය ප්‍රමාණයට පවතින පුරුෂ හෝමෝන වලට, රෝමකූප වැඩි සංවේදීතාවයක් දැක්වීම නිසාය.

බොහොමයක් කාන්තාවන් ක්‍රමයෙන් වයස්ගත වීමේදී, මුහුණේ සහ ශරීරයේ වෙනත් ප්‍රදේශවල වැඩිපුර රෝම වර්ධනය වීම දැකිය හැක. විශේෂයෙන්, ආර්තවාභාවය හෙවත් ආර්තවහරණය වීමෙන් පසුව මෙසේ සිදුවේ. මේ නිසා, මැදිවියේ පසුවන කාන්තාවන්ගෙන් අවම වශයෙන් 25% ක් වත්, මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කරනු දැකිය හැක. සාමාන්‍යයෙන්, ජනවර්ගය අනුවද කාන්තාවන්ගේ ශරීරයේ රෝම විසිරී ඇති රටාව වෙනස් වේ. එමනිසා, මුහුණේ, තනපුඩු වල, සහ උදරයේ යම් රෝම ප්‍රමාණයක් පැවතීම සාමාන්‍ය දෙයක් විය හැක.

ඇතැම් විට, හර්සියුටිස්ම් තත්ත්වය පරම්පරාවෙන් පරම්පරාවට පැවතීම දැකිය හැක. මෙහිදී, පුරුෂ හෝමෝන වැඩිපුර නිපදවීමක් දක්නට නොලැබීම විශේෂ දෙයකි.

 

හර්සියුටිස්ම් තත්ත්වයේ රෝග ලක්ෂණ

ලජ්ජා සහගත තත්ත්වයක් සහ අපහසුතාවයක් ඇතිවන පරිදි, අසාමාන්‍ය සහ අධික ලෙස ශරීරයේ රෝම වර්ධනය වීම ප්‍රධාන රෝග ලක්ෂණයයි. මෙහිදී, පපුවේ, මුහුණේ, පිටේ ඉහළ ප්‍රදේශයේ, අත් පා වල, සහ උදරයේ අධිකව ඝනවූ, කලු පැහැති රෝම දක්නට ලැබේ.

 

රෝග නිශ්චය කිරීම

ක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකගේ මද වශයෙන් හර්සියුටිස්ම් තත්ත්වය ඇතිවිට, ඒ සඳහා හේතුවිය හැකි වෙනත් රෝගයක් සොයාගත හැක්කේ ඉතාමත් කලාතුරකිනි. ඔබට හර්සියුටිස්ම් තත්ත්වය ඇතිවිට, ඔබේ වෛද්‍යවරයා ඒ සඳහා හේතුවිය හැකි වෙනත් රෝග තත්ත්වයක් පැවතීමට ඉඩ ඇතැයි සැක කලහොත්, ඔහු හෝ ඇය ඔබෙන් තවදුරටත් විස්තර විමසා, අවශ්‍ය නම් රුධිර පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට නියම කරනු ඇත.

කාන්තාවක් වන ඔබට, පහත ලක්ෂණ වලින් එකක් හෝ ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා මුණගැසීම කල යුතුවේ.

  • අධික ලෙස හර්සියුටිස්ම් තත්ත්වය පැවතීම.
  • හර්සියුටිස්ම් තත්ත්වය සමග ඔසප් චක්‍රයේ ගැටළු පැවතීම.
  • වැඩිවිය පැමිණීමට පෙර හර්සියුටිස්ම් තත්ත්වය පැවතීම.
  • වසර 1-2 ක් වැනි කෙටිකාලයක් තුළ හර්සියුටිස්ම් තත්ත්වය වර්ධනය වීම.
  • හර්සියුටිස්ම් තත්ත්වය සහ දියවැඩියාව පැවතීම.
  • හර්සියුටිස්ම් තත්ත්වය සහ ස්ථුලභාවය පැවතීම.
  • හර්සියුටිස්ම් තත්ත්වය සමග කටහඬ ගැඹුරුවීම, තට්ටය පෑදීම, හෝ හිසකෙස් තුනීවීම වැනි පුරුෂ හෝමෝන ක්‍රියාකාරීත්වය වැඩිවීමේදී ඇතිවන ලක්ෂණ පහලවීම.

 

හර්සියුටිස්ම් තත්ත්වය සඳහා ඇති ප්‍රතිකර්ම

සාමාන්‍යයෙන්, හර්සියුටිස්ම් තත්ත්වය සුවකල නොහැකිය. කෙසේ වුවත්, වැඩිපුර ඇති රෝම, ලේසර් ප්‍රතිකර්ම (Laser treatments) හෝ විද්‍යුත් ප්‍රතිකර්ම (Electrolysis) මගින් ඉවත්කල හැක. එයට අමතරව, විරංජන (Bleaching) ක්‍රමවේද, රෝම ගැලවීම, රෝම ඉවත්කරන ක්‍රීම් භාවිතය, රෝම රේසරයකින් කැපීම, හෝ වැක්ස් කිරීම වැනි උපක්‍රම නිතර භාවිතා කිරීමද කලහැක. එවැනි ක්‍රම මගින් හර්සියුටිස්ම් තත්ත්වය වර්ධනය වීමක් හෝ සුවවීමක් සිදුනොවේ. හර්සියුටිස්ම් තත්ත්වය ඇතිවීමට හේතුවිය හැකි වෙනත් රෝග තත්ත්වයක්, ඖෂධ භාවිතයක්, හෝ ඩිම්බකෝෂ හෝ අධිවෘක්ක ග්‍රන්ථි වල ගැටිති ඇත්නම්, ඒවා සඳහා නිසි ප්‍රතිකර්ම කිරීමෙන් හර්සියුටිස්ම් තත්ත්වය සුවකර ගැනීමට හැකියාව ඇත. හර්සියුටිස්ම් තත්ත්වය සමනය කිරීම සඳහා ඇතැම් ඖෂධ භාවිතා කලහැකි වුවද, ඒවා එතරම් සතුටුදායක නොවේ. මක්නිසාද, එවැනි ඖෂධ භාවිතය නැවැත්වූ විගස, හර්සියුටිස්ම් තත්ත්වය නැවත හටගැනීම නිතර දැකිය හැකිය. හර්සියුටිස්ම් තත්ත්වය සඳහා ඖෂධ භාවිතා කලද, උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා ඒවා අවුරුද්දක් හෝ එයට වැඩි කාලයක් භාවිතා කිරීම අවශ්‍ය වේ. බොහෝවිට, එවැනි ඖෂධ දිගටම භාවිතා කලයුතුවීම දැකිය හැක.

 

සබැඳි ලිපි:

පුරුෂාකාරයේ තට්ටය පෑදීම ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කාන්තා ඔබගේ ශරීරයේ අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වෙලාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*