ඔබටත් ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳුනාද?

ඔබටත් ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳුනාද?

ඇතැම් කාන්තාවන්ට ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳීම සිදුවේ. මෙය ගර්භණී සමයේ දියවැඩියාව (Gestational diabetes) ලෙස හැඳින්වේ. බොහෝවිට, දරුවා බිහිවීමෙන් අනතුරුව මෙම රෝග තත්ත්වය පහවී යයි. මෙසේ, ගර්භණී සමයේ දියවැඩියාව පහව ගියත්, එවැනි කාන්තාවකට ජීවිතයේ පසු කලකදී දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් පවතී. එමෙන්ම, එවැනි කාන්තාවක් බිහිකරන ලද දරුවාටද, අනාගතයේදී තරබාරු වීමට සහ දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) වැළඳීමට වැඩි අවදානමක් ඇත. එසේනම්, ගර්භණී සමයේ දියවැඩියාව වැළඳුනු ඔබ සහ ඔබේ දරුවා වෙනුවෙන් කුමක් කල හැකිදැයි මදක් විමසා බලමු.

 

ඔබ වෙනුවෙන් කලහැකි දේ කුමක්ද?

  • දියවැඩියාව ඇත්දැයි පරීක්ෂා කරගන්න.
    • ඔබේ දරුවා බිහිවී, සති 6 ත් 12 ත් අතර කාලයකදී දියවැඩියාව ඇත්දැයි පරීක්ෂා කරන්න. එම පරීක්ෂණය සාමාන්‍ය වුවත්, සෑම වසර තුනකටම වරක් නැවත දියවැඩියාව සඳහා පරීක්ෂා කිරීම කල යුතුවේ. එම පරීක්ෂා කිරීමේදී, ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය, සාමාන්‍ය මට්ටම ඉක්මවා ඇතිමුත්, දියවැඩියාව මට්ටමට වැඩිවී නැත්නම්, ඔබට පූර්ව-දියවැඩියා තත්ත්වය (Pre-diabetes) ඇති අතර, එවන් විටෙක සෑම වසරකටම වරක් දියවැඩියාව සඳහා පරීක්ෂා කල යුතුවේ.
    • එසේම, ඔබගේ පරීක්ෂණ ප්‍රතිඵල, ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර, සෞඛ්‍ය සම්පන්නව දිවි ගෙවීමට කුමක් කල යුතුදැයි විමසීමට අමතක කරන්න එපා.
    • ඔබේ පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව, ඔබට දියවැඩියාව වැළඳීමට දැඩි අවදානමක් සහ ශරීරයේ අධික බර (Over-weight) තත්ත්වය ඇත්නම්, ශරීරයේ බර අඩු කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. ඇතැම්විට, දියවැඩියාව වැළඳීම වැළැක්වීම සඳහා ඔබේ වෛද්‍යවරයා මෙට්ෆෝමින් (Metformin) නැමැති ඖෂධය නිර්දේශ කරනු ඇත.

 

  • ආහාර ගන්නා රටාව වෙනස් කරන්න. ශාරීරිකව ක්‍රියාශීලී වන්න.
    • එළවළු, පළා වර්ග, පළතුරු, මේදය රහිත මස් වර්ග (උදා: කුකුලු මස්), මාළු, මේදය-අඩු හෝ මේදය-රහිත කිරි ආහාර (කිරි, චීස්, සහ යෝගට්), කුරුට්ට සහිත සහල් හා ධාන්‍ය වර්ග වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගන්න.
    • පළතුරු බීම සහ පැණි බීම වෙනුවට ජලය පානය කරන්න.
    • කුඩා ප්‍රමාණයේ ආහාර වේල් ගැනීමට පුරුදු වන්න.
    • නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලෙන්න. දවසකට අවම වශයෙන් විනාඩි 30 ක් බැගින්, සතියකට අවම වශයෙන් දින පහක් වත්, මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකමක (හැල්මේ ඇවිදීම, සෙමෙන් දිවීම, බයිසිකල් පැදීම, පිහිනීම, ගෙවත්තේ වැඩකිරීම වැනි) නියැලෙන්න. වරකට විනාඩි 10 බැගින් දවසකට තුන්වරක් ශාරීරික ක්‍රියාකාරකම් කිරීමද කලහැක.
    • ඔබගේ උසට නියමිත සෞඛ්‍ය සම්පන්න බර පරාසය දක්වා ඔබේ බර සෙමෙන් අඩු කරගැනීමට උත්සාහ කරන්න. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමෙන්, දියවැඩියාව වැළඳීමට ඇති අවදානම බොහෝසෙයින් අඩුකරගත හැක.

 

ඔබේ පවුල වෙනුවෙන් කලහැකි දේ කුමක්ද?

  • ඔබේ දරුවන්ගේ වර්ධනය නිසි අයුරින් පවත්වා ගන්නා අතරතුර, ඔවුන්ගේ බර සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගත හැක්කේ කෙසේදැයි ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගැනීමට, දරුවන්ට සහාය වන්න.
  • ඔබේ දරුවන් දිනකට අවම වශයෙන් පැයක කාලයක් බැගින්, දිනපතාම ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලිය යුතුවේ.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර පිළියෙල කිරීම සහ ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලීම යන කාර්යයන් වලදී, පවුලේ සාමාජිකයන් එක්ව කටයුතු කිරීමට ක්‍රියාකරන්න.
  • ඔබේ දරුවා, රූපවාහිනිය, පරිගණකය, හෝ ජංගම දුරකථනයේ තිරය දෙස දෑස යොමාගෙන සිටින කාලය දිනකට පැය දෙකක උපරිමයකට සීමාකරන්න.

 

කලයුතු වෙනත් දේවල්,

  • වෛද්‍යවරයෙක් හමුවන සෑමවිටකම, ඔබට ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳුනු බව පැවසීමට අමතක කරන්න එපා.
  • ඔබට නැවතත් ගැබ්ගැනීමට අවශ්‍ය නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අමතක කරන්න එපා.
  • ඔබේ දරුවාට නිසි අයුරින් මව්කිරි ලබාදීමෙන්, ඔබේ බර අඩුකරගැනීමට මෙන්ම, ඔබේ දරුවාගේ නිසි වර්ධනය සහ සෞඛ්‍යය පවත්වා ගැනීමට හැකිවේ.
  • ඔබේ දරුවාගේ සෞඛ්‍ය සටහන් වල, ඔබට ගර්භණී සමයේදී දියවැඩියාව පැවති බව සඳහන්කර ඇත්දැයි තහවුරු කරගන්න.

 

අමතක නොකල යුතු දේවල්,

  • දරුවා බිහිවී සති 6 ත් 12 ත් අතර කාලයේදී, දියවැඩියාව සඳහා පරීක්ෂා කරගන්න.
  • සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවීම, දිනපතා ක්‍රියාශීලී වීම, සහ බර අඩුකරගැනීම මගින් දියවැඩියාව වැළඳීමට ඇති අවදානම අවම කරගන්න.
  • ඔබේ දරුවාගේ වර්ධනය සහ සෞඛ්‍ය තත්ත්වය නිසි අයුරින් පවත්වා ගන්නා අතරතුර, ඔහුට හෝ ඇයට දියවැඩියාව වැළඳීමට ඇති අවදානම අවම කරගැනීමට සහාය වන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Maria Grazia Montagnari)

 

සබැඳි ලිපි:

දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?
ඔබේ දරුවාට පූර්ව-දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබේද?
ඔබේ දරුවා පූර්ව-දියවැඩියා තත්ත්වයෙන් මුදාගන්නේ කෙසේද?
ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබටත් ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳුනාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*