ව්‍යායාම කරන විට ආහාරපාන ගතයුත්තේ කෙසේද?

ව්‍යායාම කරන විට ආහාරපාන ගතයුත්තේ කෙසේද

අපගේ ශරීරයේ වැඩිපුරම ඇත්තේ ජලයයි. එය ශරීරයේ බරෙන් 60% ක් පමණ වේ. එනම්, රුධිරයේ සහ සෛල වල වැඩි පරිමාවක් අඩංගු වන්නේ ජලයයි. මිනිස් ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයට ජලය අත්‍යාවශ්‍ය සංඝටකයක් වන අතර ශරීරයේ ඇති ජලය ප්‍රමාණයෙන් 2% ක් පමණ අඩුවන විට පිපාසය දැනීම සිදුවේ. මෙම මට්ටමේදී, ව්‍යායාම හෝ ක්‍රීඩා කිරීමේ කාර්යක්ෂමතාවය 25% ක් දක්වා අඩුවන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එමනිසා, ව්‍යායාම කරන විට පිපාසය දැනෙන තෙක් නොසිට, නිතර ජලය පානය කිරීම වැදගත් වේ. එමගින්, ශරීරයේ ජලය ප්‍රමාණය නිසි පරිදි පවත්වාගැනීමට හැකියාව ලැබේ.

ව්‍යායාම කරන පුද්ගලයෙක්ගේ ජල අවශ්‍යතාවය මූලික වශයෙන් සාධක කිහිපයක් මත රඳා පවතී.

  • පරිසරයේ උෂ්ණත්වය
  • පරිසරයේ ආර්ද්‍රතාවය හෙවත් තෙතමනය
  • සුළඟ
  • ව්‍යායාම වල තීව්‍රතාවය සහ ව්‍යායාම කරන කාලය

එමනිසා, පුද්ගලයාගෙන් පුද්ගලයාට ගතයුතු ජලය ප්‍රමාණය වෙනස්ය. ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට පැයකට හෝ දෙකකට පමණ පෙර ජලය මිලිලීටර් 400-500 ක් පමණ පානය කිරීම සහ ව්‍යායාම වලට විනාඩි 30 කට පමණ පෙර ජලය මිලිලීටර් 200-300 ක් පමණ පානය කිරීම වඩා උචිත වේ. එමෙන්ම, ව්‍යායාම කරන අතරතුර සෑම විනාඩි 15 කට වරක්ම ජලය මිලිලීටර් 200 ක් පමණ පානය කරන්න. ව්‍යායාම කිරීමෙන් අනතුරුවද ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය කාරණයකි. දළ වශයෙන්, ව්‍යායාම කරන අතරතුර, දහඩිය දැමීම නිසා ශරීරයේ බරෙන් අඩුවන සෑම කිලෝග්‍රෑමයකටම ජලය මිලිලීටර් 1000-1300 ක් පමණ පානය කල යුතුය. ඒ සඳහා ව්‍යායාම කිරීමට පෙර සහ පසුව ශරීරයේ බර මැනීම නිර්දේශ කෙරේ. ඔබගේ ව්‍යායාම වැඩසටහන පැය 2 කට වඩා පවතී නම්, ජීවනී වැනි ලුණු අඩංගු පානයක් ගැනීම වැදගත් වේ.

කුසගින්නේ සිටින විට හෝ හිස්බඩ ව්‍යායාම නොකල යුතුය. ව්‍යායාම වැඩසටහනකට පැය 4 කට පමණ පෙර ප්‍රධාන ආහාර වේලක් ගැනීම කල යුතුවේ. ව්‍යායාම කිරීමට පැයකට පමණ පෙර, කෙසෙල් ගෙඩි 1-2 ක් හෝ සැන්ඩ්විච් 1 ක් වැනි කෙටි ආහාරයක් ගන්න. එමගින්, ව්‍යායාම කිරීමට අවශ්‍ය ශක්තිය ලබාගත හැක. ව්‍යායාම කිරීමට පෙර, පැයක කාලයක් ඇතුළත ආහාර ගැනීමෙන් වැළකී සිටීම වඩා උචිත වේ. ව්‍යායාම වැඩසටහනෙන් පසුවද, එවැනි කෙටි ආහාරයක් ගත හැක. කෙසේ වුවත්, බදින ලද ආහාර (Fried foods) සහ සීනි අධික ආහාරපාන ගැනීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ. ව්‍යායාම කිරීමෙන් අනතුරුව ප්‍රෝටීන් අඩංගු චොකලට් කිරි (Chocolate milk) වීදුරුවක්, තැම්බූ බිත්තරයක්, හෝ කිරි මෝරු අඩංගු ප්‍රෝටීන් පානයක් (Whey protein) ආහාරයට ගැනීම උචිත වේ. මාංශ පේශි වර්ධනයට සහ අලුත්වැඩියා කිරීමට, දිනකට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 10-20 ක් පමණ ගැනීම වැදගත් ය.

 

(ඡායාරූප අනුග්‍රහය: Foxcroft Academy)

 

සබැඳි ලිපි:

ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?
සෞඛ්‍ය සම්පන්නව ව්‍යායාම කරන්නේ කොහොමද?
දිනපතා ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?
ශාරීරික යෝග්‍යතාවය සඳහා ඉඟි කිහිපයක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ව්‍යායාම කරන විට ආහාරපාන ගතයුත්තේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*