හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු.

හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු

දැනට, පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස, ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන හෝමෝන කරල් තැන්පතුව (Sub-dermal implant) වන්නේ ජඩෙල් (Jadelle) නම් වූ වර්ගයයි. එහි, ලීවොනෝජෙස්ට්‍රල් (Levonorgestrel) නම් වූ ප්‍රොජෙස්ටොජන් හෝමෝන වර්ගය අඩංගු වන අතර, එක් තැන්පතුවක ලීවොනෝජෙස්ට්‍රල් මිලිග්‍රෑම් 75 ක් බැගින් වූ සිහින් කරල් දෙකක් පවතී. මෙම හෝමෝන කරල් දෙක, වෛද්‍යවරයෙකු විසින් අතේ උඩු බාහුවේ ඇතුල් පැත්තේ කුඩා කැපුමක් තුළින් සමට යටින් තැන්පත් කෙරේ. එය සිදුකරන්නේ හිරිවැට්ටවීමෙන් අනතුරුවය.

එක් හෝමෝන කරල් තැන්පතුවක් මගින්, වසර 5 කට ගැබ් ගැනීම වළක්වා ගත හැක. එම අවුරුදු 5 අවසානයේදී, පවත්නා කරල් ඉවත් කිරීම හෝ පවත්නා කරල් ඉවත්කර අලුත් හෝමෝන තැන්පතුවක් තැන්පත් කරගැනීම කල හැක. වසර 5 ක් ගතවීමට පෙර, නැවත ගැබ් ගැනීමක් අවශ්‍ය නම්, වෛද්‍යවරයෙක් මගින් හෝමෝන කරල් තැන්පතුව ඉවත් කරගත හැක. එය ඉවත් කල වහාම, ඉතා ඉක්මනින් සාපල්‍යතාවය නැවත ඇතිවේ. මෙම පවුල් සැලසුම් ක්‍රමය වඩා ඵලදායී වන අතර, වසරක කාලයක් භාවිතා කිරීමේදී ගැබ් ගැනීමට ඇති හැකියාව 1% ක් පමණ වේ.

ලීවොනෝජෙස්ට්‍රල් මගින් ඩිම්බ මෝචනය ද, වළක්වන අතර, ගැබ් ගෙලෙහි ශ්‍රාවයන් වල ඝනකම වැඩිකිරීම නිසා 40%-60% අවස්ථාවක ශුක්‍රාණු යෝනි මාර්ගයේ සිට ගර්භාෂය තුළට ගමන් කිරීම වැළකේ.

 

හොමෝන කරල් තැන්පත් කරගත යුතු කාලය කුමක්ද?

ඔසප්වීම ආරම්භ වී දින 7 ක් ගතවීමට පෙර හෝ දරු ප්‍රසූතියෙන් සති 6 කට පසු හෝමෝන කරල් තැන්පත් කිරීම වඩාත් සුදුසු වේ.

හෝමෝන නිදහස් කරන අන්තර් ගර්භාෂිත පද්ධතියක් (Hormone-releasing intrauterine system or IUS) හෝ අන්තර් ගර්භාෂිත තැන්පතුවක් (Intrauterine device or IUD) හෙවත් ලූපයක් දැනටමත් භාවිතා කරන කාන්තාවකට, තම පවුල් සැලසුම් ක්‍රමය හෝමෝන කරල් තැන්පතුවකට වෙනස් කරගැනීමට අවශ්‍ය නම්, හෝමෝන නිදහස් කරන අන්තර් ගර්භාෂිත පද්ධතිය හෝ ලූපය ඉවත් කල යුත්තේ, හෝමෝන කරල් තැන්පත් කිරීමෙන් දින 7 කට පසුවය.

යම් කාන්තාවකගේ ඔසප්වීම සිදුනොවේ නම් (ගැබ් නොගෙන) හෝ හෝමෝන කරල් තැන්පත් කිරීම සිදුකලේ ඔසප්වීම ආරම්භ වී දින 7 කට පසුව නම්, හෝමෝන කරල් තැන්පත් කර දින 7 ක් ගතවන තුරු කොන්ඩම් වැනි විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කල යුතුවේ.

වෛද්‍යමය හේතුවක් මත, පළමු හෝ දෙවන ත්‍රයිමාසික තුළ ගබ්සා කලේ නම්, හෝමෝන කරල් තැන්පත් කිරීම ඉක්මනින්ම කල හැක.

ගබ්සාවීමකට දින 7 කට පසුව, හෝමෝන කරල් තැන්පත් කලේ නම්, තවත් දින 7 ක් ගතවන තුරු කොන්ඩම් වැනි විකල්ප පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කල යුතුවේ.

 

හෝමෝන කරල් තැන්පතුවේ ඇති වාසි මොනවාද?

  • එහි ක්‍රියාකාරීත්වය වසර 5 ක් පැවතීම.
  • වඩාත් ඵලදායී පවුල් සැලසුම් ක්‍රමයක් වීම.
  • හෝමෝන කරල් තැන්පතුව ඉවත් කිරීමෙන් අනතුරුව, ඉක්මනින්ම සාඵල්‍යතාවය නැවත ඇතිවීම.
  • දිනපතා පවුල් සැලසුම් පෙත්ත ගැනීමට අමතක වන කාන්තාවන්ට ඉතා සුදුසු වීම.
  • ඔසප් වීමට පෙර ඇතිවන රෝග ලක්ෂණ (Premenstrual syndrome) සමනය වීම.
  • ඔසප් රුධිර වහනය අඩුවීම.
  • ඔසප්වීමේදී වේදනාව අඩුවීම.
  • ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ (Progestogen injections) ගැනීමේදී මෙන්, ඔස්ටියොපොරෝසිස් (Osteoporosis) තත්ත්වය වාර්තා නොවීම.
  • ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම් (Ectopic pregnancies) ඇතිවීමට ඇති අවදානම අඩුවීම.
  • ඉරුවාරදය (Migraine), තරබාරුබව, දියවැඩියාව ඇති කාන්තාවන්ට මෙන්ම, මව්කිරි දෙන කාන්තාවන්ට ද, භාවිතා කල හැකි වීම.

 

හෝමෝන කරල් තැන්පතු වල ඇති අවාසි සහ අතුරු ආබාධ මොනවාද?

  • කොන්ඩම් භාවිතයේදී මෙන්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (Sexually transmitted diseases or STDs) වලින් ආරක්ෂා වීමට නොහැකි වීම.
  • හෝමෝන කරල් තැන්පත් කිරීමට හෝ ඉවත් කිරීමට, පුහුණුව ලත් වෛද්‍යවරයෙකු අවශ්‍ය වීම.
  • ඇතැම් විට, හෝමෝන කරල් තැන්පතුව හෝ කරලක කැඩුණු කොටස සොයාගැනීමට අපහසු වීම.
  • ඔසප් නොවීම.
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.
  • ඔසප් වීමේදී අධික රුධිර වහනය.
  • ඔක්කාරය සහ වමනය යෑම.
  • කරකැවිල්ල.
  • පියයුරු වල වේදනාව.
  • කුරුළෑ වැඩිවීම.
  • ඉතාම කලාතුරකින්, නොරුස්සනා සුලුබව සහ ලිංගික ආශාව අඩුවීම ඇතිවිය හැක.

 

හෝමෝන කරල් තැන්පතුව භාවිතා කල නොහැක්කේ කුමන අවස්ථා වලදීද?

  • හෝමෝන කරල් තැන්පතුව සඳහා අධිසංවේදීතාවයක් (Hypersensitivity) හෝ අසාත්මිකතාවයක් (Allergy) ඇතිවීම.
  • ගර්භණී මව්වරුන්ට.
  • ප්‍රොජෙස්ටොජන් මත රඳා පවතින පිළිකා ඇතිවිට.
  • තවම රෝග නිශ්චය නොකල, අධික ඔසප්වීමක් හෝ ඔසප් චක්‍රය අක්‍රමවත් වීමක් ඇතිවිට.
  • තීව්‍ර අක්මා රෝගයක් ඇතිවිට.
  • අක්මාවේ ඇඩිනෝමා (Adenoma) නැමැති පිළිකාමය නොවන ගෙඩියක් පැවතීම.
  • ගර්භණී අවධියේ මුල් කාලයේදී ගර්භාෂය තුළ ඇතිවන, හයිඩැටිඩ් මෝල් (Hydatid mole) නැමැති ගෙඩියක් පැවතීම.
  • ගර්භාෂයේ පිළිකාවක් ඇතිවිට.
  • හෘදයාබාධ වැනි ධමනි රෝග (Arterial diseases) වැළඳීමට වැඩි අවදානමක් පැවතීම.
  • හෘදයාබාධ වැනි ධමනි රෝගයක් වැළඳුණු රෝග ඉතිහාසයක් පැවතීම.
  • පියයුරු පිළිකා.

 

(ඡායාරූප අනුග්‍රහය: K4Health)

 

සබැඳි ලිපි:

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!
මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති භාවිතා කරන්නේ කොහොමද?
මිශ්‍ර හෝමෝන අලවනය ගැන දැනගනිමු.
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති පවුල් සැලසුම් ක්‍රම
ප්‍රොජෙස්ටොජන් පමණක් ඇති ගිලින පවුල් සැලසුම් පෙති
පවුල් සැලසුම් සඳහා ප්‍රොජෙස්ටොජන් නික්ෂේපණ
අන්තර් ගර්භාෂිත තැන්පතුව හෙවත් ලූපය ගැන දැනගනිමු.
පිරිමි කොන්ඩමය, පවුල් සැලසුම් කිරීම සඳහා භාවිතා කිරීම
හදිසි පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව දැනගනිමු.
ස්ත්‍රී වන්ධ්‍යාකරණය (එල්. ආර්. ටී. සැත්කම) ගැන දැනගනිමු.

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "හෝමෝන කරල් තැන්පතුව ගැන දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*