ඔබේ දරුවා පූර්ව-දියවැඩියා තත්ත්වයෙන් මුදාගන්නේ කෙසේද?

ඔබේ දරුවා පූර්ව-දියවැඩියා තත්ත්වයෙන් මුදාගන්නේ කෙසේද?

පූර්ව-දියවැඩියාව (Pre-diabetes) යනු දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) වැළඳීම සඳහා හේතුවන අවදානම් සාධක අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා තත්ත්වයකි. එමෙන්ම, පූර්ව-දියවැඩියාව සහ දියවැඩියාව, ස්ථුලභාවය සමග දැඩිව සම්බන්ධව පැවතීම දක්නට ලැබේ. එමනිසා, මෙම තත්ත්ව දෙකම වළක්වා ගැනීම සඳහා ස්ථුලභාවය මගහරවා ගත යුතුවේ. එනම්, ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. වැඩිහිටියෙකුට පූර්ව-දියවැඩියාව ඇත්නම්, ජීවන රටාව වෙනස් කිරීම (Lifestyle modification) සහ දියවැඩියාව වැළඳීමෙන් වැලකීමට ඖෂධ ලබාගැනීම මගින්, දියවැඩියාව වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් අඩුවන බව සොයාගෙන ඇත. කෙසේ වුවත්, නවයොවුන් දරුවන් සහ කුඩා දරුවන් පූර්ව-දියවැඩියා තත්ත්වයේ සිට දියවැඩියාව දක්වා වර්ධනය වීම වැළැක්විය හැක්කේ කෙසේද යන්න තවමත් පර්යේෂණ මගින් මනාව පැහැදිලි නොවූ කරුණක් ව පවතී. ඔබේ දරුවාට පූර්ව-දියවැඩියා තත්ත්වය ඇත්නම්, දරුවාගේ ජීවන රටාවේ ඇතිකරන ඇතැම් වෙනස්කම්, රුධිර සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට සමත් වනු ඇත. එවැනි වෙනස්කම්, අවම වශයෙන් පූර්ව-දියවැඩියාවේ සිට දියවැඩියාව දක්වා වර්ධනය වීම වත් වළකනු ඇත. එසේනම්, ඔබේ දරුවා පූර්ව-දියවැඩියා තත්ත්වයෙන් මුදාගන්නේ කෙසේදැයි මදක් විමසා බලමු.

සෞඛ්‍ය සම්පන්න ආහාර

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට ඔබේ දරුවා ක්‍රමයෙන් හුරුකරන්න. ආහාර තෝරාගන්නා විට, කැලරි සහ මේදය අඩු, තන්තු සහ මේදය රහිත ප්‍රෝටීන් (Lean proteins) වැඩි ආහාර තෝරාගන්න. රසකැවිලි, සීනි අධික පානයන්, ක්ෂණික ආහාර, සහ කෘතිමව සකස්කරන ලද ආහාර ලබාදීමෙන් වළකින්න. එවැනි සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වලට ඔබේ දරුවා හුරුවී ඇත්නම්, ක්‍රමයෙන් ඒවා ලබාදීම අඩු කරන්න. පළතුරු, එළවළු, සහ කුරුට්ට සහිත ධාන්‍ය කේන්ද්‍ර කරගත් ආහාර වේලකට දරුවා යොමුකරවන්න. දිනකට එළවළු සහ පළතුරු නිර්දේශිත ප්‍රමාණ (Serving) වලින් 5 ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමට සලස්වන්න. නිර්දේශිත ප්‍රමාණයක් යනු කුමක්දැයි පහත සඳහන් ආහාර වලින් ඔබට වැටහෙනු ඇත.

  • පිසූ එළවළු මේස හැඳි 3 ක්
  • අමු සහ නැවුම් එළවළු හෝ සලාද කෝප්පයක්
  • දොඩම් ගෙඩියක්
  • අඹ ගෙඩියක්
  • සාමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක්
  • අඟලක් පමණ පළල ගස්ලබු කැබැල්ලක්
  • අඟල් භාගයක් පමණ පළල අන්නාසි කැබැල්ලක්
  • පළතුරු යුෂ වීදුරුවක්
  • කැපූ පළතුරු කෝප්ප භාගයක්
  • වියලි පළතුරු මේස හැඳි 2 ක්

පළතුරු සහ එළවළු දරුවාට නිතර දකින්නට ලැබෙන සේ තැබීම, ඔබේ දරුවා ඒවා ආහාරයට ගැනීම සඳහා පෙළඹවිය හැකි හොඳ උපක්‍රමයක් වේ. දරුවාගේ ආහාර වල විවිධත්වයක් ඇතිකිරීමෙන්, පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයේ හෝ රසයේ වෙනසක් නොකර ඔබේ ඉලක්කය සපුරාගත හැක. දරුවාගේ ආහාර රටාව පමණක් නොව, මුළු පවුලේම ආහාර රටාව මෙසේ සකස්කර ගන්න. සැමවිටම, පවුලේ සියළු දෙනා එකවිට, එකම කෑම මේසයේ ආහාර ගැනීමට උත්සාහ කරන්න. තම ආහාර වේල් වලින් වැඩි ප්‍රමාණයක් පවුලේ අනෙක් සාමාජිකයන් සමග ගන්නා දරුවන්ගේ ශරීරයේ බර අධික වීමට ඇති හැකියාව අඩුබව ඇතැම් පර්යේෂණ මගින් ද තහවුරු වී ඇත. බොහෝ දරුවන් උදෑසන ආහාර වේල මගහැරීමට හුරුව ඇත. එය එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන දෙයකි. එමනිසා, දිනපතා උදෑසන ආහාරය ගැනීමට දරුවා පොළඹවන්න. මක්නිසාද, උදෑසන ආහාර ගැනීම මගින්, දවස පුරා ගන්නා කැලරි ප්‍රමාණය සීමාවීම සිදුවේ.

ව්‍යායාම

දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීමට ඔබේ දරුවා පෙළඹවීම වැදගත් ය. දරුවෙක් දිනකට අවම වශයෙන් පැයක් වත් බැගින් දිනපතා ශාරීරික ක්‍රියාකාරකම් කල යුතුවේ. මුලින් ආරම්භ කරන විට, දවසකට විනාඩි 15-20 කින් ආරම්භ කර ක්‍රමයෙන් ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන කාලය වැඩිකරන්න. වැඩිහිටි ඔබත් දරුවන් සමග එක්ව ක්‍රීඩා කිරීමෙන් ඔබේත්, දරුවාගේත් සෞඛ්‍යය වැඩිදියුණු වන අතරම, දරුවා ව්‍යායාම කිරීමට වැඩි උනන්දුවක් දක්වනු ඇත. කෙසේ වුවත්, දරුවාට ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලිය හැකි ප්‍රමාණය පිළිබඳව අදහසක් ද ඔබ තුළ පැවතිය යුතුවේ.

ශරීරයේ බර පාලනය කිරීම

ඔබේ දරුවා අධික බරකින් හෝ ස්ථුලභාවයෙන් යුතු නම්, එකවරම බර අඩු කරගැනීමට උත්සාහ දරනවාට වඩා, ශරීරයේ බර එම මට්ටමේම පවත්වා ගැනීම වඩාත් උචිත වේ. එවිට, දරුවා වයසෙන් වැඩිවත්ම සෞඛ්‍ය සම්පන්න බර පරාසයට ක්‍රමයෙන් පැමිණෙනු ඇත. කෙසේ වුවත්, ඔබේ දරුවාගේ සෞඛ්‍ය සම්පන්න බර පරාසය සහ බර පාලනය පිළිබඳ වැඩිපුර විස්තර දැනගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා හෝ පෝෂණවේදියෙකු මුණගැසීම වඩා සුදුසු වේ. වෛද්‍යවරයෙකු නිර්දේශ කලහොත් හැර, වැඩෙන දරුවකුගේ ආහාර වල කැලරි ප්‍රමාණය අඩුකිරීම එතරම් සුදුසු නැත. ඔබේ දරුවා රූපවාහිනිය සහ පරිගණකය නරඹන මුළු කාලය දිනකට උපරිම වශයෙන් පැය දෙකකට සීමා කරන්න. එමගින්, ඔබේ දරුවා ශාරීරිකව අක්‍රීයව සිටින කාලය අඩු කරගත හැක.

ඖෂධ

නවයොවුන් දරුවන්ගේ හෝ කුඩා දරුවන්ගේ පූර්ව-දියවැඩියාව සුවකිරීමට ඖෂධ යොදාගැනීම සාර්ථක බවට ප්‍රමාණවත් පර්යේෂණාත්මක සාක්ෂි නොමැත.

 

(ඡායාරූප අනුග්‍රහය: Pedro Ribeiro Simões)

 

සබැඳි ලිපි:

ඔබේ දරුවාට පූර්ව-දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබේද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ දරුවා පූර්ව-දියවැඩියා තත්ත්වයෙන් මුදාගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*