දරුවන් තරබාරුවීම වැඩිවන ලකුණු!

දරුවන් තරබාරුවීම වැඩිවන ලකුණු!

දරුවන් තරබාරුවීම ගැන සැලකිය යුත්තේ ඇයි? පසුගිය වසර 30 ඇතුළත, කුඩා දරුවන් තරබාරු වන ප්‍රමාණය දෙගුණයකින් ද, නව යොවුන් වියේ දරුවන් තරබාරු වන ප්‍රමාණය තුන්ගුණයකින්ද ඉහළ ගොස් ඇත. දරුවන් තරබාරු වන ප්‍රමාණය තවදුරටත් ඉහළ යමින් පවතින බව පෙනේ. මෙම ප්‍රතිඵල වලට මූලික වශයෙන් හේතුවන්නේ, කැලරි පරිභෝජනය සහ කැලරි දහනය අතර ඇති අසමතුලිතතාවයයි. දරුවන් අධික බරකින් යුක්ත වීමට සහ තරබාරුවීමට ඔවුන්ගේ ජීවන රටාව, ජාන, ආහාර, සහ පාරිසරික සාධක හේතුවේ.

දරුවන් අතර තරබාරුකම ඇතිවීමට හේතු

  • උදෑසන ආහාර වේල මගහැරීම

ඇතැම් දරුවන් ඔවුන්ගේ උදෑසන ආහාර වේල මගහැරීමට පුරුදුව සිටිනවා. විශේෂයෙන්, මව රැකියාවක් කරනවා නම් හෝ කාර්යබහුල නම් මෙය සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි. නමුත්, එය හොඳ පුරුද්දක් නොවේ. මක්නිසාද, ඔබේ දරුවා උදෑසන ආහාර වේල මගහැරීමට පුරුදුව සිටිනවා නම්, ඔහු හෝ ඇය තරබාරු වීමට ඇති අවදානම ඉහළයි. සාමාන්‍යයෙන්, දිනපතා උදෑසන ආහාර වේල ගැනීමට හුරුවී ඇති දරුවන් අධික බරකින් යුක්තවීමට හෝ තරබාරු වීමට ඇති ඉඩකඩ අඩුයි. උදෑසන ආහාරය ගැනීමෙන් කුසගිනි ඇතිවීම අඩුවන අතර, එමගින් දිවා කාලයේදී සීනි, තෙල්, සහ පිෂ්ඨය අධික කෙටි කෑම වර්ග සහ පානයන් වෙත යොමුවීම අඩුවන බව පෙනේ. එමනිසා, දිනපතා උදෑසන ආහාරය ගැනීම, දිවා කාලයේදී කැලරි පරිභෝජනය අඩුවීමට හේතුවේ.

  • ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම

විභාග වලට සහ පාසලේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවේ යැයි සිතා බොහොමයක් දෙමව්පියන් තම දරුවන් ක්‍රීඩා වලට යොමුකිරීමෙන් වලකිනවා දකින්න පුලුවන්. එවැනි දෙමව්පියන් තම දරුවා සෙල්ලම් කරන කාලය පවා සීමා කරනවා. ක්‍රියාශීලී නොවන දරුවෙකුට වඩා ක්‍රියාශීලී දරුවෙක් දිනපතා වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරයි. එමනිසා, ක්‍රියාශීලී නොවන දරුවෙක් අමතරව ලබාගන්නා කැලරි ප්‍රමාණය, ශරීරය තුළ මේදය ලෙස තැන්පත් වේ. එවැනි දරුවන් අධික බරකින් යුක්ත වීමට හෝ තරබාරු වීමට වැඩි අවදානමක් ඇතිවන්නේ මේ නිසයි. ඇතැම් පාසල් වල ශාරීරික ක්‍රියාකාරකම් වලට වෙන්කර ඇති කාලය ප්‍රමාණවත් නොවන අවස්ථා ද දක්නට ලැබෙනවා. සමහර තරබාරු දරුවන් නිතර වීඩියෝ ක්‍රීඩා කිරීමට හෝ රූපවාහිනිය නැරඹීමට යොමු වුන අය වීමත් විශේෂත්වයක්.

  • සීනි අධික පාන වර්ග

බොහොමයක් පාන වර්ග වල සරළ සීනි බහුලව ඇත. එමනිසා, ඒවා තුළ අඩංගු කැලරි ප්‍රමාණය වැඩිය. එමෙන්ම, ආහාර ජීර්ණ පද්ධතිය තුළදී සරළ සීනි වේගයෙන් ශරීරයට අවශෝෂණය වේ. ඔබේ දරුවාත් මෙවැනි පානයන් නිතර පරිභෝජනය කරන්නේ නම්, ඔහු හෝ ඇය ලබාගන්නා අමතර කැලරි ප්‍රමාණය වැඩිවේ. ඝන ආහාර ගන්නා විට කුස පිරෙන තරම්, යම් පානයක් ගැනීමේදී කුස පිරෙන්නේ නැතිබව ඔබ අත්දැකීමෙන් දන්නවා විය හැක. එමනිසා, ඔබේ දරුවා යම් පානයක් පරිභෝජනය කලද, ඝන ආහාර පරිභෝජනයේ සැලකිය යුතු වෙනසක් සිදුනොවේ. උදාහරණයක් වශයෙන්, ඔබේ දරුවා දිනපතා සිසිල් බීම වීදුරුවක් බැගින් වසරක් පානය කලහොත් සහ එම කාලයේදී ලබාගත් අමතර කැලරි ප්‍රමාණය යම් ශාරීරික ක්‍රියාකාරකම් මගින් දහනය නොකලහොත්, ඔහුගේ හෝ ඇයගේ බර කිලෝග්‍රෑම් හතකින් වැඩිවේ.

  • සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර

බොහෝ තරබාරු දරුවන් දවසකට වැයකරන ශක්ති ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ආහාර මගින් ගනී. සාමාන්‍යයෙන්, ඔවුන්ගේ ආහාර වේල සමබර, සෞඛ්‍ය සම්පන්න එකක් නොවේ. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්, තන්තු, විටමින්, සහ ප්‍රෝටීන් අඩංගු සමබර, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වෙනුවට, අධික බර ඇති සහ තරබාරු දරුවන් සරළ සීනි බහුල ඝන ආහාර සහ පානයන් ගැනීමට පුරුදුව සිටිති.

 

තරබාරුකම නිසා දරුවන් තුළ ඇතිවිය හැකි සංකූලතා

තරබාරුකම දරුවන් තුළ කෙටිකාලීන සහ දිගුකාලීන සංකූලතා ඇතිකරන අතර, ඒවා දරුවාගේ දිවි පෙවෙතට සැලකිය යුතු හානියක් සිදුකරයි.

කෙටිකාලීන සංකූලතා

  • අධික රුධිර පීඩනය හෝ අධික කොලෙස්ටරෝල් මට්ටම, ඒවා හදවත් රෝග සඳහා අවදානම් සාධක ලෙස ක්‍රියා කරයි.
  • දරුවන් තුළ පෙර-දියවැඩියාව (Pre-diabetes) නැමැති තත්ත්වය ඇතිවීම. මෙය ඇති වූ පසු දියවැඩියාව ඇතිවීමට විශාල අවදානමක් ඇතිවේ.
  • නිදාගන්නා විට ඇතිවන අවරෝධක නිදි ඇප්නියාව/නෛරානය (Obstructive sleep apnoea)
  • සන්ධි සහ අස්ථි වල සංකූලතා.
  • ආත්ම විශ්වාසය අඩුවීම සහ සමාජයේ අපකීර්තියට පත්වීම වැනි මානසික සහ සමාජීය සංකූලතා.

දිගුකාලීන සංකූලතා

  • වැඩිහිටි කාලයේදීත් තරබාරුකම ඇතිවීම.
  • හදවත් රෝග.
  • අංශභාගය.
  • අත් පා වල ඇතිවන පර්යන්ත වාහිනික රෝගය (Peripheral Vascular Disease/PVD).
  • දියවැඩියාව.
  • සන්ධි වල ඇතිවන ආත්‍රයිටිස් වර්ගයකි.’>සන්ධිපර්වදාහය (Osteoarthritis).
  • ඇතැම් පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිවීම (බඩවැල්, පියයුරු, ගලනාලය, ගර්භාෂය, ගැබ් ගෙල, ඩිම්බ කෝෂ, වකුගඩු, ඇලදිව, තයිරොයිඩ් ග්‍රන්ථිය, පිත්තාශය, සහ පුරස්ථි ග්‍රන්ථිය වැනි ස්ථාන වල).

 

දරුවන් තරබාරු වීම වලකන්නේ කෙසේද?

මෙහිදී දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට සැලකිය යුතු වගකීමක් පවතී. ඔවුන් දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව සහ ශාරීරික ක්‍රියාකාරකම් හුරුකල යුතුවේ. එමගින්, දරුවන් අතර තරබාරුකම අඩුකිරීමට හැකියාව ලැබෙන අතර, තරබාරුකම නිසා ඇතිවන සංකූලතා ද අඩුවේ. තරබාරුකම දුරලීමට පවුලේ සාමාජිකයන්ට, පාසල් වලට, සමාජයට, සෞඛ්‍ය සේවයේ නිලධාරීන්ට, රාජ්‍ය ආයතන වලට, ආහාර පාන නිපදවන සමාගම් වලට, සහ ජනමාධ්‍ය වලට විශාල වගකීමක් ඇත. දරුවන්ට ශාරීරික ක්‍රියාකාරකම් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳ ඉගෙනීමට සහ පුහුණුවීමට හැකි ආරක්ෂිත සහ පහසුකම් සපිරි පරිසරයක් පාසල් වල තිබීම ඉතා වැදගත් වේ. දෙමව්පියන් ද තමන්ට හැකි අයුරින් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව සහ ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳව දරුවන්ට උපදෙස් දීම සහ නිවසේ එවැනි වටපිටාවක් නිර්මාණය කිරීම කල යුතුවේ. පවුලේ සියළු සාමාජිකයන් එකතු වී ව්‍යායාම හෝ ශාරීරික ක්‍රියාකාරකම් කිරීමෙන්, දරුවන්ට මෙන්ම, වැඩිහිටියන්ට ද නිරෝගීව සිටීමට ඉඩ සැලසෙන බව මතක තබාගන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: U.S. Department of Agriculture)

 

සබැඳි ලිපි:

ඔබේ දරුවා නිතර පැණිරස කනවාද?
ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…
ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්
එළවලු සමග සුවැති දිවියක්…
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා ඉඟි කිහිපයක්

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවන් තරබාරුවීම වැඩිවන ලකුණු!" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*