ක්ලෝරොජෙනික් අම්ලය (Chlorogenic acid) යනු කුමක්ද?

ක්ලෝරොජෙනික් අම්ලය (Chlorogenic acid) යනු කුමක්ද

ක්ලෝරොජෙනික් අම්ලය (Chlorogenic acid) යනු කෝපි, අර්තාපල්, පීච්, සහ වම්බටු වැනි ආහාර වල අඩංගු රසායනික ද්‍රව්‍යයකි. එය බහුලව කෝපි වල දක්නට ලැබෙන අතර හරිත කෝපි (Green coffee) වල 7% ක් දක්වා ප්‍රමාණයක් අන්තර්ගත වේ. සාමාන්‍ය කෝපි වල අඩංගු ක්ලෝරොජෙනික් අම්ල ප්‍රමාණය, ඒවා සකස් කිරීමට රත්කරන බැවින් මදක් අඩුවේ.

ක්ලෝරොජෙනික් අම්ලය, ආහාර ගැනීමෙන් පසු රුධිරයට සීනි නිදහස් වීම අඩුකරන අතර, අක්මාව තුළ මේද පරිවෘත්තිය (Metabolism) වැඩි කරයි. එමනිසා, ක්ලෝරොජෙනික් අම්ලයට දියවැඩියා රෝගීන්ගේ සීනි පාලනය, දියවැඩියාව ඇතිවීම වැලැක්වීම, සහ ශරීරයේ බර පාලනය සිදුකල හැක.

ක්ලෝරොජෙනික් අම්ලය ආහාර වල ඇති මේදය, ශරීරයට අවශෝෂණය කරගැනීම ද පාලනය කරයි. එය මේද පටක වලින් ශ්‍රාවය කරන ඇඩිපොනෙක්ටින් (Adiponectin) නැමැති හෝමෝනයේ ප්‍රමාණය වැඩිකිරීමට සමත් ය. එමගින්, තවදුරටත් මේද පටක ගොඩනැගීම වලකන අතර, අමතර මේද දහනය වීම වැඩිකරමින් ශරීරයේ ශක්ති පරිභෝජනය වැඩිකරයි. මේද පටක වලින් ශ්‍රාවය කරන ඇඩිපොනෙක්ටින් සහ ලෙප්ටින් (Leptin) නැමැති හෝමෝන එකතුව, ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට දායක වේ. ඉන්සියුලින් හෝමෝනය රුධිරයේ සීනි මට්ටම පාලනය කරන බැවින්, දියවැඩියා රෝගය පාලනය වන අතර, දියවැඩියාව හටගැනීම ද වැලකේ.

ක්ලෝරොජෙනික් අම්ලය මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක (Antioxidant) රසායනික ද්‍රව්‍යයක් ලෙසද ක්‍රියාකරයි. එය ශරීරයේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වලදී අතුරු ඵලයක් ලෙස සෑදෙන, ශරීරයේ සෛල වලට හානිකර මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අණු වල ක්‍රියාකාරීත්වය උදාසීන කිරීමට සමත් වේ. ක්ලෝරොජෙනික් අම්ලයට රුධිරයේ ඇති රුධිර පට්ටිකා (platelets) නැමැති සෛල වර්ගය අනවශ්‍ය ලෙස එකට ඇලීම වැලැක්වීමට ද හැකියාව ඇත. එමනිසා, රුධිරයේ අනිසි ලෙස ලේ කැටි ඇතිවීම වලකින බැවින්, හදවත් රෝග හා අංශභාගය වැළඳීමට ඇති අවදානම අඩුවේ.

රුධිරයේ, මේද පටක වල, සහ අක්මාවේ ඇති, ශරීරයට හානිකර කොලෙස්ටරෝල් වර්ගයක් වන ට්‍රයිග්ලිසරයිඩ (Triglyceride) මට්ටම පහළ දැමීමට ක්ලෝරොජෙනික් අම්ලයට හැකියාව ඇත. එය රුධිරයේ සහ මේද පටක වල ඇති අනෙකුත් කොලෙස්ටරෝල් වර්ග වල මට්ටම ද අඩුකරයි.

නිතර කෝපි පානය කරන කාන්තාවන්ගේ පිත්තාශයේ ගල් (Gallstones) ඇතිවීමට ඇති අවදානම අඩුවන බව සොයාගෙන ඇත. ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ (Harvard University) පර්යේෂකයන් පිරිසක් කාන්තාවන් 80,000 කට අධික ප්‍රමාණයක් යොදාගනිමින් කරන ලද පර්යේෂණයකින් මේ බව තහවුරු වී ඇත. දවසකට එක් කෝපි කෝප්පයක් පානය කිරීමෙන් කිසිඳු වෙනසක් සිදුවී නොතිබිණි. දවසකට කෝපි කෝප්ප 2 ක් පානය කිරීමෙන් පිත්තාශයේ ගල් ඇතිවීමේ අවදානම 9% කින් ද, කෝපි කෝප්ප 3 ක් පානය කිරීමෙන් 22% කින් ද, කෝපි කෝප්ප 4 ක් හෝ වැඩි සංඛ්‍යාවක් පානය කිරීමෙන් අවදානම 28% කින් ද අඩුවී ඇත.

එයට අමතරව, නිතර කෝපි පානය කිරීමෙන් අක්මාවේ පිළිකා සහ සිරෝසිස් ඇතුළු අක්මා රෝග ඇතිවීම අඩුවන බවද සොයාගෙන ඇත.

ඔබට ක්ලෝරොජෙනික් අම්ලය වැඩි ප්‍රමාණයක් ගැනීමට අවශ්‍ය නම්, හරිත කෝපි පානය කිරීම උචිත වේ. නමුත්, හරිත කෝපි තිත්ත රසයකින් යුතුවීම ගැටළුවකි.

 

(ඡායාරූප අනුග්‍රහය: Thangaraj Kumaravel)

 

සබැඳි ලිපි:

හරිත තේ (Green Tea) ගුණයිද?
ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ වලින් ඇති ප්‍රයෝජන

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ක්ලෝරොජෙනික් අම්ලය (Chlorogenic acid) යනු කුමක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*