ස්වයං පියයුරු පරික්ෂාව සිදුකරන්නේ කොහොමද?

ස්වයං පියයුරු පරික්ෂාව සිදුකරන්නේ කොහොමද

සෑම කාන්තාවක්ම ඇයගේ වයස විසි ගණන් වනවිට ස්වයං පියයුරු පරික්ෂාව (Self breast examination) සිදුකිරීම ආරම්භ කල යුතුවේ. සාමාන්‍යයෙන්, තම පියයුරු වල පෙනුම සහ පියයුරු තම අතට දැනෙන ආකාරය පිළිබඳ මනා වැටහීමක් සෑම කාන්තාවකටම තිබීම වැදගත් වේ. එසේ ස්වයං පියයුරු පරික්ෂාව සිදුකිරීමේදී, ඔබගේ පියයුරු වල යම් වෙනසක් ඇතැයි හැඟුනොත්, ඉක්මනින් ඔබගේ වෛද්‍යවරයාට එය පැවසිය යුතුය. ඔබගේ පියයුරු වල ඇතිවන සෑම වෙනසක්ම, අනිවාර්යයෙන් පියයුරු පිළිකාවක් ලෙස සිතා අනිසි බියක් ඇති කරගැනීම ද අවශ්‍ය නැත. නමුත්, නිතර නිවැරදිව ස්වයං පියයුරු පරික්ෂාව සිදුකිරීමෙන්, පියයුරු පිළිකාවක් මූලික අවධියේදීම සොයාගැනීමට හැකිවන බව සිතට ගත යුතුවේ.

ස්වයං පියයුරු පරික්ෂාව පියවරෙන් පියවර නිවැරදිව කරන ආකාරය සෑම කාන්තාවක්ම දැනසිටීම වැදගත් ය. ඔබගේ පියයුරු ඉදිමී ඇත්නම් හෝ වේදනාකාරී නම් හෝ ස්වයං පියයුරු පරික්ෂාව සිදුකිරීමෙන් වළකින්න. ඔබ ගර්භණී මවක් හෝ කිරි දෙන මවක් වුවද ස්වයං පියයුරු පරික්ෂාව සිදුකල හැක.

ඔබගේ පියයුරු පරික්ෂා කරන්නේ කෙසේද?

පළමු පියවර:

උඩුබැලි අතට වැතිරී, දකුණු අත හිස පිටුපසින් තබාගන්න. මෙසේ වැතිරී සිටින ඉරියව්වෙන්ම පියයුරු පරික්ෂා කල යුතුවේ. උඩුබැලි අතට වැතිරී සිටින විට, පියයුරු වල පටක ඔබගේ පපුව මත සමානව විසිරී පැතලි ස්වභාවයක් ගනී. එවිට, පියයුරු වල පටක සියල්ල පහසුවෙන් ස්පර්ශ කිරීමට ඔබට හැකි වේ.

ස්වයං පියයුරු පරික්ෂාව සිදුකරන්නේ කොහොමද

(ඡායාරූප අනුග්‍රහය: wikipedia)

දකුණු පියයුර පරික්ෂා කිරීමට, වම් අතේ මැද ඇඟිලි තුනෙහි ඇඟිලි තුඩු භාවිතා කරන්න. පියයුරු පටක පරික්ෂා කිරීම සඳහා ඇඟිලි තුඩු වලින් කාසියක තරම් ප්‍රදේශයක වක්‍රාකාරව ස්පර්ශ කරන්න. මුලු පියයුරම පරික්ෂා කර අවසන් වන තෙක්, එකිනෙකට අතිපිහිත වනසේ කාසියක තරම් වූ වක්‍රාකාර ප්‍රදේශ වල ඇඟිලි තුඩු චලනය කරමින් පරික්ෂා කරන්න.

මෙහිදී, පියයුරෙහි පටක සියල්ල පරික්ෂා කිරීම සඳහා ඇඟිලි වලින් යොදන පීඩනය මට්ටම් තුනක පවත්වා ගත යුතුවේ.

  • මද පීඩනය – පියයුරෙහි සමට ආසන්න පටක ස්පර්ශ කිරීමට
  • මධ්‍යම ප්‍රමාණයේ පීඩනය – පියයුරෙහි තරමක් ගැඹුරෙහි ඇති පටක ස්පර්ශ කිරීමට
  • තද පීඩනය – පියයුරෙහි පපුවේ බිත්තියට සහ ඉළ ඇට වලට ආසන්නයේ ඇති පටක ස්පර්ශ කිරීමට

පියයුරෙහි පහළ වක්‍රය තද දාරයක් ලෙස ස්පර්ශ වීම සාමාන්‍ය දෙයකි.

ඊලඟට, වම් අතෙහි ඇඟිලි තුඩු වලින් දකුණු පියයුරෙහි පටක ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් පරික්ෂා කරන්න. ඔබගේ කිහිල්ල ආසන්නයේ පියයුරෙහි දාරය ඔස්සේ ඉහළ සිට පහළට සිතින් මවාගත් රේඛාවක් ඔස්සේ පියයුර ස්පර්ශ කිරීමට ආරම්භ කරන්න. පියයුරෙහි පිටත දාරයේ සිට මැද දාරය දක්වා, පියයුර හරහා ක්‍රමයෙන් යන පරිදි ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් පරික්ෂා කරන්න. පියයුරෙහි පටක සියල්ලම ආවරණය වනසේ, පියයුරෙහි ඉහළ සිට පහළට පරික්ෂා කරන විට, පියයුරට පහතින් ඉළ ඇට ස්පර්ශ වනතෙක් සහ පියයුරෙහි පහළ සිට ඉහළට පරික්ෂා කරන විට, පියයුරට ඉහළින් ගෙල හෝ අකු ඇටය (Collar bone) ස්පර්ශ වනතෙක් ස්පර්ශ කල යුතුවේ.

ස්වයං පියයුරු පරික්ෂාව 2

(ඡායාරූප අනුග්‍රහය: Blausen Medical Communications, Inc.)

පියයුරෙහි පටක සියල්ල මග නොහැරෙන පරිදි, මුලු පියයුරම ආවරණය වනසේ පරික්ෂා කිරීමට ඇති හොඳම ක්‍රමය, මෙම ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් පරික්ෂා කිරීම බව සඳහන් වේ. එය සිරස් මාදිලිය (Vertical pattern) ලෙසද හැඳින්වේ.

මෙලෙස දකුණු පියයුර පරික්ෂා කිරීමෙන් අනතුරුව වම් පියයුර ද මේ ආකාරයටම පරික්ෂා කරන්න. මෙහිදී උඩුබැලි අතට වැතිර, ඔබගේ වම් අත හිසට පිටුපසින් තබාගෙන, දකුණු අතෙහි මැද ඇඟිලි තුනෙහි තුඩුවලින් වම් පියයුර පරික්ෂා කරන්න.

දෙවන පියවර:

කණ්ණාඩියක් ඉදිරිපිට සිටගෙන, ඔබගේ අත්වලින් ඉණ තෙරපෙන පරිදි, තදින් අල්ලා ගන්න. මෙම ඉරියව්වෙහි සිටිමින්, කණ්ණාඩියෙන් ඔබගේ පියයුරු වල ප්‍රමාණයේ, හැඩයේ, බාහිර ස්වරූපයේ වෙනසක්, වළ ගැසීමක්, රතු වීමක්, තනපුඩුවෙහි හෝ සමෙහි පොතු ගැලවීමක් ඇතිදැයි පරික්ෂා කරන්න. මෙම ඉරියව්ව මගින් ඔබගේ පපුවෙහි මාංශ පේශි සංකෝචනය වන අතර පියයුරෙහි ඇතිවන ඕනෑම වෙනසක් පැහැදිලිව දර්ශනය වේ.

ස්වයං පියයුරු පරික්ෂාව 3

(ඡායාරූප අනුග්‍රහය: wikipedia)

නැවත අත් දෙකම ඔසවා හිස පිටුපසට වනසේ තබාගෙන කණ්ණාඩියෙන් ඔබගේ පියයුරු වල ප්‍රමාණයේ, හැඩයේ, බාහිර ස්වරූපයේ වෙනසක්, වළ ගැසීමක්, රතු වීමක්, තනපුඩුවෙහි හෝ සමෙහි පොතු ගැලවීමක් ඇතිදැයි පරික්ෂා කරන්න.

ස්වයං පියයුරු පරික්ෂාව 6

(ඡායාරූප අනුග්‍රහය: wikipedia)

අත් දෙක පහත දමා සැහැල්ලුවෙන් සිටිමින්, කණ්ණාඩියෙන් ඔබගේ පියයුරු වල ප්‍රමාණයේ, හැඩයේ, බාහිර ස්වරූපයේ වෙනසක්, වළ ගැසීමක්, රතු වීමක්, තනපුඩුවෙහි හෝ සමෙහි පොතු ගැලවීමක් ඇතිදැයි යලි පරික්ෂා කරන්න.

ස්වයං පියයුරු පරික්ෂාව 7

(ඡායාරූප අනුග්‍රහය: wikipedia)

තෙවන පියවර:

සිටගෙන හෝ ඉඳගෙන සිටිමින්, ඔබගේ එක් එක් කිහිල්ල හොඳින් පරික්ෂා කරන්න. මෙහිදී අත මදක් ඔසවා පරික්ෂා කිරීමෙන්, අදාළ කිහිල්ලෙහි පටක හොඳින් ස්පර්ශ කල හැක. අත කෙලින්ම ඉහලට ඔසවා පරික්ෂා කිරීමෙන්, කිහිල්ල අවට මාංශ පේශි තදවන බැවින් පරික්ෂා කිරීම අපහසු වේ.

ස්වයං පියයුරු පරික්ෂාව 4

(ඡායාරූප අනුග්‍රහය: wikipedia)

සිව්වන පියවර:

එක් එක් තනපුඩුව සෙමින් මිරිකා ලේ හෝ වෙනත් අසාමාන්‍ය ශ්‍රාවයක් පිට වේදැයි බලන්න.

ස්වයං පියයුරු පරික්ෂාව 5

(ඡායාරූප අනුග්‍රහය: wikipedia)

ස්වයං පියයුරු පරික්ෂාවේදී, ඔබගේ පියයුරක හඳුනාගන්නා ඕනෑම වෙනසක්, ඉක්මනින්ම ඔබගේ වෛද්‍යවරයාගේ අවධානයට යොමුකිරීම වැදගත් වේ.

 

සබැඳි ලිපි:

පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න.
පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!
ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?
මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ස්වයං පියයුරු පරික්ෂාව සිදුකරන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*