තොල් සායම් (Lipstick) භාවිතය හානිකරද?

තොල් සායම් (Lipstick) භාවිතය හානිකරද?

තොල් සායම් (Lipstick) කාන්තාවන් අතර ජනප්‍රිය රූපලාවන්‍ය නිෂ්පාදනයක් වන අතර, එහි තෙල්, සම මෘදු කරන රසායන ද්‍රව්‍ය (Emollients), මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක (Antioxidants), ඉටි, සහ වර්ණක අඩංගු වේ. තොල් සායම් මගින් ඔබේ තොල් වලට හැඩයක්, වර්ණයක්, සහ ආරක්ෂාවක් ලබාදීම සිදුකරයි. නමුත්, නිතර තොල් සායම් භාවිතා කරන සාමාන්‍ය කාන්තාවක් ඇයගේ ජීවිත කාලය තුළදී නොදැනුවත්ම ඒවා කිලෝග්‍රෑම් 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් ගිලින බව ඔබ දන්නවාද?

2004 වසරේදී කරන ලද පර්යේෂණයක් මගින්, තොල් සායම් වර්ග වලින් 28% ක පිළිකා කාරක රසායන ද්‍රව්‍ය ඇති බව සොයාගෙන ඇත. 2010 වසරේදී ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් පවත්වන ලද තවත් පර්යේෂණයක් මගින්, ඔවුන් පරීක්ෂා කල තොල් සායම් වර්ග 400 න් සියල්ලගේම කුඩා ප්‍රමාණ වලින් ඊයම් ලෝහය අඩංගු බව සොයාගන්නා ලදි. එහිදී සොයාගත් තවත් වැදගත් කරුණක් වූයේ රතු පැහැති තොල් සායම් වල වැඩිපුර ඊයම් ලෝහය අන්තර්ගත වන බවයි. තොල් සායම් වල ඊයම් අඩංගු වන ප්‍රමාණය, කොටස් මිලියනයකට ඊයම් කොටස් (Parts per million/ppm) 0.026 සිට 7.19 දක්වා වෙනස් විය. එහි සාමාන්‍ය අගය කොටස් මිලියනයකට ඊයම් කොටස් 1.11 ක් විය. කෙසේ වුවත්, ඇමරිකා එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනය (The US Food and drug administration/FDA) එය සෞඛ්‍යයට තර්ජනයක් ලෙස හඳුන්වන්නේ නැහැ. මක්නිසාද, පරික්ෂා කරන ලද තොල් සායම් වර්ග වල අඩංගු ඊයම් ප්‍රමාණය, මහජන සෞඛ්‍ය අධිකාරීන් මගින් නිර්දේශ කරන ලද සීමාවන් තුළ පැවතීම එයට හේතුවයි. මේ සියලු පර්යේෂණ සිදුකර ඇත්තේ,  ආහාර, ඖෂධ, සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය වල තත්ත්වය ඉතා තදින්ම පරීක්ෂා කරන සහ පාලනය කරන ඇමරිකා එක්සත් ජනපදයේදී. නමුත්, ශ්‍රී ලංකාවේ වෙළඳපොලෙහි ඇති තොල් සායම් වර්ග වල පිළිකා කාරක රසායන අඩංගු වන්නේද සහ ඊයම් ලෝහය කොතරම් ප්‍රමාණ වලින් අඩංගු වන්නේද යන්න තවමත් අපි නොදන්නා කරුණක්.

බොස්ටන් නගරයේ ටෆ්ට්ස් වෛද්‍ය මධ්‍යස්ථානය (Tufts Medical Centre in Boston) මගින් 2008 වසරේදී කරන ලද පර්යේෂණයක් මගින් තොල් සායම් ආශ්‍රිතව තවත් වැදගත් කරුණක් සොයාගන්නා ලදි. සතියකට අවම වශයෙන් දින තුනක්වත් තොල් සායම් භාවිතා කිරීමෙන්, දිගුකාලීන සහ දරුණු සන්ධිප්‍රදාහයක් (Arthritis) සහිතව ඇතිවන ස්ව-ප්‍රතිශක්ති රෝගයක් (Auto-immune disease) වන සංස්ථෙමක රක්තිමා ලියුපසය (Systemic lupus erythematosus/SLE) වැළඳීමට ඇති අවදානම වැඩිවන බව ඔවුන් සොයාගෙන තිබේ. වයස අවුරුදු 16 කට පෙර සිටම තොල් සායම් භාවිතා කරන කාන්තාවන්ට සංස්ථෙමක රක්තිමා ලියුපසය වැළඳීමට ඇති අවදානම, තොල් සායම් දිනපතා භාවිතා කරන වැඩිහිටි කාන්තාවන්ට එම රෝගය වැළඳීමට තිබෙන අවදානම තරම්ම ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක්.

අන්තරායකර ද්‍රව්‍ය පිළිබඳ සඟරාවේ (The journal of hazardous materials) 2010 වසරේ පළ කරන ලද පර්යේෂණයක් මගින්, ඇතැම් තොල් සායම් වර්ග වල සැලකිය යුතු ප්‍රමාණ වලින් කැඩ්මියම් සහ ක්‍රෝමියම් යන බැර ලෝහ අඩංගු වන බව සොයාගෙන තිබේ. මෙම බැර ලෝහ දිගුකාලීනව ශරීරගත වීමෙන්, සමේ ප්‍රදාහයන් (දැවිල්ල, වේදනාව, සහ කැසිල්ල) සහ වකුගඩු රෝග ඇතිවන බව සොයාගෙන ඇත. මෙහි වැදගත්ම කරුණ වන්නේ මෙම බැර ලෝහ ශරීරගත වීමෙන් පසු, ශරීරයෙන් ඉවත්වීමට වසර 40 කට වඩා වැඩි කලක් ගතවීමයි.

මේ අනුව සලකා බලන විට, ස්වභාවික සහ ඓන්ද්‍රිය ද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරන ලද සහ තත්ත්ව සහතික සහිත වෙළඳ නාම වලින් යුතු තොල් සායම් භාවිතයට ගැනීම වැදගත් වේ. එසේ නැත්නම්, වඩාත්ම සුදුසු වන්නේ ඒවා භාවිතය අවම කිරීමයි.

 

(ඡායාරූප අනුග්‍රහය: borosjuli)

 

© 2016, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "තොල් සායම් (Lipstick) භාවිතය හානිකරද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*