සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවිය හැකි සංකූලතා

සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවිය හැකි සංකූලතා

මිනිසාට වැළඳෙන රෝග අතරින් බහුලවම පවතින රෝගය සෙම්ප්‍රතිශ්‍යාව වේ. සාමාන්‍යයෙන් එය සතියක් හෝ දෙකක් තුළ කිසිඳු සංකූලතාවයකින් තොරව සුව වේ. නමුත්, ඇතැම්විට සමහර සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට බරපතළ සහ දිගුකල් පවත්නා සංකූලතාවයන් ඇතිවීම සිදුවේ. එමනිසා එම සංකූලතාවයන්ගේ ලක්ෂණ දැනගැනීම වැදගත් වියහැක. එවැනි රෝගීන්ට වැඩිදුර ප්‍රතිකාර මෙන්ම ප්‍රතිජීවක ඖෂධ ද අවශ්‍ය විය හැක.

කෝටර දාහය (sinusitis)

කෝටර යනු මුහුණේ අස්ථි තුළ පවත්නා වාතය පිරි කුහර විශේෂයකි. ඒවා නාස් කුහරය වටා පිහිටා ඇත. මෙම කුහර ශ්ලේෂ්මල පටලයකින් හෙවත් තුනී සෛල ස්ථරයකින් ආස්තරය වී ඇති අතර කුඩා සිදුරු මගින් නාස් කුහරය හා සම්බන්ධ වේ. කෝටර තුළ ඇතිවන ප්‍රදාහය කෝටර දාහය ලෙස හැඳින්වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු වැඩිහිටියන් සහ ළමුන් අතරින් 2% කට පමණ තීව්‍ර කෝටර දාහය ඇතිවේ. සෙම්ප්‍රතිශ්‍යාව නිසා නාස් කුහරයේ සහ කෝටරවල ශ්ලේෂ්මල පටල ඉදිමීම හෙවත් ප්‍රදාහයක් ඇතිවේ. එමනිසා ශ්ලේෂ්මල පටල ශ්ලේෂ්මලය හෙවත් සොටු දියර වැඩිපුර ස්‍රාවය කරයි. ශ්ලේෂ්මල පටලය ඉදිමීම නිසා කෝටර වල සිදුරු අවහිර වන අතර එමගින් සොටු දියර කෝටර තුළ එකතු වීම සිදුවේ. කෝටර දාහය ඇති රෝගීන්ට උණ, නාසය සිරවීම, සොටු දියර ගැලීම, කැස්ස, හිසරදය, මුහුණේ ඇතිවන වේදනාව සහ තද ගතිය, මුහුණ ඉදිමීම, සහ උඩු ඇන්දෙහි දත් කැක්කුම ඇතිවිය හැක. සාමාන්‍යයෙන් හිසරදය සහ මුහුණේ වේදනාව ඉදිරියට නැවීමේදී සහ හාන්සි වීමේදී වැඩිවේ.

මැද කණේ ආසාදනය හෙවත් මධ්‍ය ශ්‍රොත්‍රදාහය (Otitis media)

මැද කණ (කන්බෙරය හෙවත් කර්ණ පටහ පටලය පිටුපස ඇති අවකාශය) යුස්ටේකීය නාළය නැමැති කුඩා නාළයක් මගින් උගුර හා සම්බන්ධ වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු රෝගීන්ගේ උගුරෙහි ඇති බැක්ටීරියා හෝ වෛරස යුස්ටේකීය නාළය ඔස්සේ මැද කණට ඇතුල් විය හැක. මැද කණේ ආසාදන වලින් 80% ක් පමණ වෛරස නිසා ඇතිවේ. බැක්ටීරියා මගින් ඇතිවන ආසාදන වලින් වැඩි ප්‍රමාණයක් ස්ට්‍රෙප්ටොකොකස් (Streptococcus) බැක්ටීරියාව නිසා ඇතිවේ. වැඩිහිටියන්ට වඩා ළමුන්ගේ මැද කණේ ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු අවුරුදු 5 ට අඩු ළමුන්ගෙන් 20% කට මැද කණේ ආසාදන ඇතිවේ. සාමාන්‍යයෙන් මැද කණේ ආසාදන වලින් 80% ක් පමණ ප්‍රතිකාර නොමැතිවම දින 3 ක් තුළ සුවවේ. මැද කණේ ආසාදනයක් ඇතිවිට තද කන් කැක්කුම, නින්ද නොයාම, තද උණ, කහ හෝ කොළ පැහැති සොටු දියර ගැලීම, වමනය, අලස බව, කණෙන් දියර හෝ සැරව ගැලීම, සහ ඇතැම්විට කණ ඇසීම අඩුවීම සිදුවේ. කථා කිරීමට නොහැකි කුඩා දරුවන් දැඟලීම, කලබල කිරීම, නින්ද නොයාම, හෝ නොනවත්වාම ඇඬීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කලහැක.

ඇදුම රෝගය උත්සන්න වීම

ඔබ ඇදුම රෝගියෙක් නම්, සෙම්ප්‍රතිශ්‍යාවට ඔබගේ ඇදුම රෝගය තීව්‍ර කිරීමේ හැකියාව ඇත. ඇදුම රෝගය උග්‍ර වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය, පපුවේ තදගතිය, කැස්ස, සහ පපුවේ රාං රූං ශබ්දය ඇතිවිය හැක. මෙම තත්ත්වය වඩාත් බහුල ළමුන් අතරය.

තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය (Acute bronchitis)

ශරීරයේ ප්‍රතිශක්තිය අඩු සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය ඇතිවිය හැක. බැක්ටීරියා හෝ වෛරස මගින් ශ්වාසනාලිකා ආසාදනය වීමෙන් මෙම තත්ත්වය ඇතිවේ. තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහයේ රෝග ලක්ෂණ ලෙස කැස්ස, කහ පැහැති ඝණ සෙම පිටවීම (ඇතැම්විට රුධිරය තැවරී තිබිය හැක), පපුවේ තදගතිය හෝ අපහසුතාවය, වෙවුලා ඇතිවන මද උණ, තෙහෙට්ටුව, හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ රාං රූං ශබ්දය, හිසරදය, උගුරේ වේදනාව, සහ නාසය අවහිර වීම දැක්විය හැක. තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහය වැළඳුනු බොහොමයක් රෝගීන් කිසිදු ප්‍රතිකාරයකින් තොරව සති කිහිපයක් තුළ සුවය ලබයි. තීව්‍ර ශ්වාසනාලිකා ප්‍රදාහයේ රෝග ලක්ෂණ හෝ හුස්ම ගැනීමේ අපහසුතාවය සතියකට වඩා පවතී නම් ඔබගේ වෛද්‍යවරයා හමුවීම අත්‍යාවශ්‍ය වේ.

නියුමෝනියාව (Pneumonia)

ඉතාමත් කලාතුරකින් අඩු ප්‍රතිශක්තියක් ඇති සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට ශ්වසන පද්ධතියේ පහළ කොටසේ ඇතිවන උග්‍ර ආසාදනයක් වන නියුමෝනියාව වැළඳිය හැක. නියුමෝනියාව ඇතිවිට දිගුකල් පවත්නා කැස්ස, ඝණ සෙම පිටවීම, හුස්ම ගැනීමේ අපහසුතාවය, වෙවුලා තද උණ ගැනීම, වයස්ගත අයගේ හෝ ප්‍රතිශක්තිය අඩු අයගේ ශරීර උෂ්ණත්වය අඩුවීම, කහින විට හෝ හුස්ම ගන්නා විට පපුවේ වේදනාවක් ඇතිවීම, අධික දහඩිය දැමීම, ශරීරයේ වේදනාව, සහ හිසරදය ඇතිවිය හැක. ඇතැම් අයට පාචනය, ඔක්කාරය, සහ වමනය ද ඇතිවේ. සමහර වයස්ගත අයට නියුමෝනියාව වැළඳුනු විට සිහිමද ගතියක් හටගැනීම සිදුවේ. නවජ දරුවන් සහ ළදරුවන් නියුමෝනියාව ඇතිවිට වමනය, උණ, කැස්ස, නොසන්සුන් වීම, විඩාපත් විලාසයක් ගැනීම, හුස්ම ගැනීමේ අපහසුව, සහ කිරි බීම හෝ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම වැනි රෝග ලක්ෂණ පෙන්විය හැක.

යම් රෝගියෙකුට සෙම්ප්‍රතිශ්‍යාව සමග තද උණ, මානසික ව්‍යාකූලතාවය හෝ සිහිමද බව, පපුවේ තියුණු වේදනාව, රුධිරය තැවරුණු ඝණ සෙම පිටවීම, හෝ සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ සති 3 කට වඩා පවතීනම් එම රෝගියා වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්යයෙන්ම කල යුතුවේ.

ටොන්සිල් ප්‍රදාහය (ගල මූල ග්‍රන්ථි ප්‍රදාහය) සහ උගුරේ වේදනාව

ටොන්සිල් යනු උගුරේ පිටුපස කොටසේ ඇති වසා ග්‍රන්ථි දෙකකි. එම ග්‍රන්ථිවල ඇතිවන ඉදිමීම සහ ප්‍රදාහයක් ටොන්සිල් ප්‍රදාහය (Tonsillitis) ලෙස හැඳින්වේ. එවිට උගුරේ වේදනාවක් ඇතිවේ. ටොන්සිල් ප්‍රදාහය වෛරස හෝ බැක්ටීරියා ආසාදනයක් නිසා හටගනී. බැක්ටීරියා නිසා හටගන්නා ටොන්සිල් ප්‍රදාහයට ප්‍රධාන වශයෙන් ස්ට්‍රෙප්ටොකොකස් පයෝජන්ස් (Streptococcus pyogenes) බැක්ටීරියාව හේතු වේ. උගුරේ වේදනාව සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් අතර පවතින බහුල සංකූලතාවයකි. සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හා සබැඳි උගුරේ වේදනාවට හේතුවන්නේ වෛරසයක් මගින් ආසාදනය වීමයි. බැක්ටීරියා ආසාදන මගින් ඇතිවන උගුරේ වේදනාවට ස්ට්‍රෙප්ටොකොකස් (Streptococcus) බැක්ටීරියාව ප්‍රධාන හේතුවක් වේ. ඔබට අධික උගුර රිදීමක් හෝ සුව නොවන උගුරේ වේදනාවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩා උචිත වේ. සාමාන්‍යයෙන් ටොන්සිල් ප්‍රදාහය සහ උගුරේ වේදනාව ගිලීමේ අපහසුතාවයක් ඇතිකරයි.

වැඩිහිටියෙකුට හෝ දරුවෙකුට පහත ලක්ෂණ වලින් අවම වශයෙන් එකක් හෝ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වේ. ඇතැම්විට ඔවුන්ට ප්‍රතිජීවක ඖෂධ සහ වෙනත් ප්‍රතිකාර අවශ්‍යවීම එයට හේතුව වේ.

  • හුස්ම ගැනීමේ අපහසුව
  • කන් කැක්කුම
  • සති 2 කට වඩා පවතින සෙම්ප්‍රතිශ්‍යාව
  • සතියකට වඩා පවතින සෙම පිටවන කැස්ස
  • සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ උග්‍ර වීම
  • සතියකට වැඩි කාලයක් පවතින කෝටර ප්‍රදාහයේ රෝග ලක්ෂණ (නළල, ඇස්, සහ නාසය වටා ඇති වේදනාව)
  • 102°F (39°C) ට වඩා උණ පැවතීම
  • වයස අවුරුදු 2 ක් හෝ එයට වඩා වැඩි දරුවන්ට උණ දවස් 3 කට වඩා පැවතීම
  • වයස අවුරුදු 2 ට වඩා අඩු දරුවන්ට උණ දවසකට වඩා පැවතීම
  • වයස සති 12 කට (මාස 3 කට) වඩා අඩු දරුවෙකුට 100.4°F (38°C) කට හෝ එයට වැඩියෙන් උණ පැවතීම (වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුවේ.)

 

(ඡායාරූප අනුග්‍රහය: William Brawley)

 

සබැඳි ලිපි:
සැවොම දන්නා සෙම්ප්‍රතිශ්‍යාව

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවිය හැකි සංකූලතා" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*