නව යොවුන්වියේ රක්තහීනතාවය වළක්වා ගනිමු.

නව යොවුන්වියේ රක්තහීනතාවය වළක්වා ගනිමු

වයස අවුරුදු 10 ත් 19 ත් අතර නව යොවුන්වියේ පසුවන ඔබේ දරුවාට රක්තහීනතාවය හෙවත් නීරක්තිය (ලේ හිඟකම) ඇතිවුවහොත්, ඔහුගේ හෝ ඇයගේ එදිනෙදා කටයුතු වලට, ඉගෙනීමට, සහ අනාගත රැකියාවට එය අහිතකර ලෙස බලපාන්නට පුලුවන්. මේ අවදියේදී, ඔබේ දරුවාට තිබෙන්නේ ක්‍රියාශීලී ජීවන රටාවක්. ඔවුන් පාසලට, පංති වලට මෙන්ම, විවිධ පාඨමාලා වලටත් සහභාගී වෙනවා. ඒ වගේම, ඔවුන් ක්‍රීඩා වලටත් සක්‍රීයව සහභාගී වෙන්නෙ මෙම අවධියෙදී. ඔවුන්ගේ මස්පිඩු වර්ධනය, උස යාම, සහ කොණ්ඩය වැවීම ආදිය හොඳින් සිදුවන්නෙත් නව යොවුන්වියේ පසුවන විටදී. එම නිසා, ශරීරයේ යකඩ අවශ්‍යතාවය මෙම අවධියේදී තරමක් වැඩිවීම දක්නට ලැබෙන්නක්. නමුත්, ඇතැම් වැරදි ආහාර පුරුදු නිසා ඔබේ දරුවාගේ ශරීරයට ලැබෙන යකඩ ප්‍රමාණය අඩුවිය හැකියි. ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම දරුවන් තිදෙනෙක්ගෙන් එක් අයෙක් රක්තහීනතාවයෙන් පෙළෙන බව ඔබ දන්නවාද?

 

ලේ හිඟකම නිසා නව යොවුන්වියේ පසුවන ඔබේ දරුවාට ඇතිවිය හැකි ගැටළු මොනවාද?

  • ක්‍රියාශීලීභාවය අඩුවීම.
  • නිතර අසනීප වීම.
  • කුඩා කාර්යයකදී වුවත් වැඩිපුර මහන්සි දැනීම.
  • කම්මැලි ස්වභාවයක් දැනීම.
  • මතකය දුර්වල වීම.
  • නිතර තෙහෙට්ටුවක් ඇතිවීම.
  • ඇස් සුදුමැලි වීම.
  • නිතර කේන්ති යාම.
  • හිසකෙස් ගැලවී යාම.
  • කෑම අරුචිය.

 

මෙම පෝෂණ ගැටළුව මගහරවා ගැනීම සඳහා කුමක් කල හැකිද?

ඔබේ දරුවාගේ ප්‍රධාන ආහාර වේල් සඳහා සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේල් ගැනීම ඉතාම වැදගත් වේ. එමෙන්ම, දරුවාගේ ශරීරයේ ලේ වැඩීම සඳහා යකඩ, ෆෝලික් අම්ලය, සහ විටමින් C ගැනීමත් වැදගත් වේ.

මේ සඳහා, සතියකට එක දවසක් යකඩ පෙති 1 ක්, ෆෝලික් අම්ලය පෙති 1 ක්, සහ විටමින් C පෙති 1 ක් බැගින්, සති 24 ක් (මාස 6 ක්) ලබාදිය යුතු වේ. මෙම පෝෂණ අතිරේකය ගැනීමට පෙර, පණු ප්‍රතිකාර ලෙස මෙබැන්ඩසෝල් (Mebendazole) මිලිග්‍රෑම් 500 පෙත්තක් ගැනීම වඩා සුදුසු ය. මෙලෙස, මෙම පෝෂණ අතිරේකය සෑම වසරකම මාස 6 ක් ගැනීමෙන් රක්තහීනතාවය වළක්වාගත හැකිවේ.

 

මෙම පෙති ගතයුත්තේ කෙසේද?

යකඩ, ෆෝලික් අම්ලය, සහ විටමින් C පෙති 1 බැගින් සතියකට එක් වරක්, සති 24 ක් (මාස 6 ක්) ලබාදිය යුතුවේ. මෙය සෑම වසරකදීම කල යුතුය. මෙම පෙති, උදය හෝ රාත්‍රී ආහාරය ගෙන පැයකට පමණ පසුව, ජලය සමග බීමට දෙන්න. එමෙන්ම, මෙම පෙති ගබඩා කර තැබීමේදී, වියලි බෝතලයක සුළං නොවදින සේ තැබීම ඉතා වැදගත් වේ. මක්නිසාද, සුලං වැදුනහොත් මෙම පෙතිවල ගුණය සම්පූර්ණයෙන්ම පාහේ නැතිවිය හැකියි. කිසිවිටෙක, මේවා පත්තර කොළ හෝ වෙනත් කඩදාසි වල ඔතා තබන්න එපා. එසේ කලහොත්, පෙතිවල ගුණය නැතිවේ.

 

මෙම පෙති ගන්නා විට අපහසුතා ඇති වෙනවාද?

මෙම පෙති ගන්නා විට, ඔක්කාරය, වමනය, හිසරදය, කලු පැහැයට මළපහ පිටවීම ආදී ගැටළු ඇතිවිය හැකියි. නමුත්, මෙවැනි අපහසුතා දින කිහිපයකින් මගහැරෙන බැවින්, කලබල වීමට හෝ බය වීමට අවශ්‍ය නැහැ.

 

නව යොවුන්වියේ සිටින දරුවන්ට පමණක් මෙම පෙති ලබාදෙන්නේ ඇයි?

නව යොවුන්වියේ සිටින දරුවන් සුවිශේෂයි. මක්නිසාද, ඔවුන්ගේ ශරීරය වර්ධනය වන්නෙත්, උස යාම සිදුවන්නෙත් මේ අවධියෙදී. එමෙන්ම, බොහෝවිට නව යොවුන් දරුවන්ට ප්‍රධාන ආහාර වේල් මගහැරෙන්නට තිබෙන ඉඩකඩත් වැඩි බැවින්, රක්තහීනතාවය වැළඳීමට ඇති අවදානමද වැඩිවේ. මෙම වයසේ පසුවන දරුවන් මාළු, මස්, පළා වර්ග වැනි යකඩ බහුල කෑමට මැලිකමක් දැක්වීමද මෙයට එක් හේතුවක් ලෙස හැඳින්විය හැකියි. රටේ අනාගතය භාරගැනීමට සිටින ඔබේ දරුවා නිරෝගීවීම රටටත්, ජාතියටත් වැදගත් කාරණයක් බැවින්, නව යොවුන්වියේ සිටින ඔබේ දරුවා රක්තහීනතාවයෙන් ගලවාගැනීමට ඔබට වගකීමක් ඇත. එමෙන්ම, ඔබේ දරුවාට දැනටමත් ලේ හිඟකම ඇත්නම්, එය සුවකර ගැනීමටත් මෙම පෝෂණ අතිරේකය ගැනීම වැදගත් වේ.

 

මෙම පෙති ගැනීමෙන් ඔබේ දරුවාට ලැබෙන වාසි මොනවාද?

  • නිරෝගී වීම.
  • කඩිසර වීම.
  • බුද්ධිමත් වීම.
  • මතකය වර්ධනය වීම.
  • ඔබේ දරුවා ගැහැණු දරුවෙක් නම්, අනාගතයේදී ගර්භණි වනවිට, මව්කිරි ලබාදෙන විට ඇතිවිය හැකි රක්තහීනතාවය වළක්වාගත හැකිවේ. එමෙන්ම, ගබ්සාවීමට ඇති අවදානමද අඩුවේ.

මේ පිළිබඳව ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් හෝ ඔබේ දරුවාට මෙම පෙතිවලට අසාත්මිකතාවයක් (Allergy) ඇතිවේ නම්, ඔබේ වෛද්‍යවරයාට, ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී (Medical Officer of Health or MOH) මහතාට, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය (Midwife) ට, හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) දැනුම් දෙන්න. නැතහොත්, දුරකථන අංක 011-2692746 අමතා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ (Family Health Bureau) පාසැල් හා නව යොවුන් සෞඛ්‍ය අංශයෙන් වැඩි විස්තර දැනගත හැකිය.

 

මූලාශ්‍රය: පවුල් සෞඛ්‍ය කාර්යාංශය

 

(ඡායාරූප අනුග්‍රහය: RIBI Image Library)

 

සබැඳි ලිපි:

සුවැති දිවියකට විවිධ වර්ගයේ ආහාර කෑමට ගන්න.
ඔබේ බත්පත කෙසේ සකස් විය යුතුද?
සෞඛ්‍ය සම්පන්න දිවියකට එළවළු සහ පළතුරු

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "නව යොවුන්වියේ රක්තහීනතාවය වළක්වා ගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*