ඔබේ කනට සතෙක් ඇතුළු වුවහොත් කුමක් කළ යුතුද?

ඔබේ කනට සතෙක් ඇතුළු වුවහොත් කුමක් කළ යුතුද?

කනට සතෙක් ඇතුළුවීම ඉතාම අමිහිරි සහ වේදනාකාරී අත්දැකීමක් බව එම අත්දැකීමට මුහුණ දුන් අයෙකුට කිසිවිටෙක අමතක නොවනු ඇත. දරුවන් පමණක් නොව වැඩිහිටියෙක් වුවද කනට සතෙක් ඇතුළු වූ විට නොසන්සුන් වනු දැකිය හැක. බොහෝ විට, කනට ඇතුළුවන්නේ කෘමි සතුන්ය. කනට සතෙක් ඇතුළු වූ පසු නිසි ප්‍රතිකර්මයක් නොකළහොත්, වේදනාව, ආසාදනය වීම, සහ කන ඇසීම අඩුවීම සිදුවිය හැක. සැබැවින්ම, කනට සතෙක් ඇතුළු වුවහොත් කුමක් කළ යුතුද?

කිසිවිටෙක, කොට්න් බඩ්, ගිණිකූරු, හෝ කොණ්ඩා කටු වැනි දිගැටි උපකරණ කිසිවකින් කනෙන් සතා ඉවතට ගැනීමට උත්සාහ කරන්න එපා. එසේ කිරීමෙන්, සතා තවත් කන තුළට තල්ලුවීම සහ කනට හානිවීම සිදුවිය හැක. නිසි පළපුරුද්දක් සහ පුහුණුවක් නොමැති අයෙක්, නිසි උපකරණ භාවිතා නොකර කනෙන් සතෙක් ඉවත්කිරීමට උත්සාහ දැරීම නිසා ඔබේ කනට දැඩි හානියක් සිදුවිය හැකි බව අමතක කරන්න එපා. විශේෂයෙන්ම, එවන් අයෙක් කුඩා දරුවෙකුගේ කනට ඇතුළු වූ සතෙක් ඉවත්කිරීමට උත්සාහ දැරීමෙන් අනතුරුව, දරුවා යලි වෛද්‍යවරයෙකුට කන පරීක්ෂා කිරීම සඳහා ඉඩ නොදීම සිදුවිය හැක.

මුලින්ම, සතා ඇතුළු වූ කන පහතට සිටින සේ හිස හරවා උත්සාහ කරන්න පුළුවන්. ඇතැම් විට, සතාගේ දැඟලීමත් සමග ගුරුත්වය මගින් සතා කනෙන් ඉවත්වීම සිදුවිය හැක.

කන උඩ අතට සිටින සේ හිස හරවා කන තුළට ජලය හෝ ඔලිව් තෙල් (Olive oil) ස්වල්පයක් දමන්න පුළුවන්. එමගින්, බොහෝ විට කනට ඇතුළු වූ කෘමියා මිය යයි. ඉන් පසුව, කන පහතට සිටින සේ හිස හැරවීමෙන්, කෘමියා සමග කනට ඇතුළු කරන ලද දියරය පිටතට ගලායාමට සැලැස්විය හැක. රාත්‍රියකදී, කනට සතෙක් ඇතුළු වූයේ නම්, කනට ජලය හෝ ඔලිව් තෙල් ස්වල්පයක් දමා සතාගේ දැඟලීම නතර වූ පසු නින්දට යන්න. පසුදින උදයේ උගුර, කන, නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් මුණගැසීම කළ හැක.

කනේ ඇතුළත තුවාල වී ඇති බවට සැකයක් ඇත්නම්, හෝ කනෙන් රුධිරය හෝ වෙනත් ශ්‍රාවයක් වහනය වේ නම්, සතා ඉවත්කිරීම සඳහා කන තුළට කිසිවක් දමන්න එපා. එවන් විටෙක, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවීම වැදගත් වේ. කන තුළින් වේදනාවක් ඇතිවේ නම්, පැරසිටමෝල් (Paracetamol) නියමිත මාත්‍රාවෙන් ගත හැකියි.

ඔබේ වෛද්‍යවරයාට ආලෝක ප්‍රභවයක් භාවිතා කරමින් කනේ අභ්‍යන්තරය පරීක්ෂා කළ හැකියි. කන තුළ තවමත් සතා සිටී නම්, වෛද්‍යවරයාට විශේෂිත සිහින් දිගටි උපකරණයක් භාවිතා කර ප්‍රවේශමෙන් සතා ඉවත්කිරීමට හැකියාව ඇත. සතා කර්ණ පටහ පටලය හෙවත් කන් බෙරයට (Ear drum) ඇලී හෝ සවි වී සිටී නම්, කන පරීක්ෂා කර කන් බෙරයට හානියක් නොවන පරිදි සතා ඉවත්කිරීම සඳහා සිහිනැති කිරීමට අවශ්‍ය විය හැකියි.

ඇතැම් විට, ඔබේ වෛද්‍යවරයා විශේෂිත සිරින්ජයක් යොදාගෙන බාහිර ශ්‍රවණ නාලය තුළින් ජලය ධාරාවක් ගලායාමට සලස්වා ප්‍රවේශමෙන් සතා ඉවත් කරනු ඇත.

කන තුළට කිණිතුල්ලෙක් ඇතුළු වුවහොත්, කිණිතුල්ලා මියයාමට සැලැස්වීම අපහසු විය හැක. එවන් විටෙක, කිණිතුල්ලා මැරීම සඳහා උකුණන් මර්ධනය කිරීම සඳහා යොදාගන්නා දියරයක් කනට ඇතුළු කර දවසක් පමණ තිබෙන්නට හැරීමෙන් පසුව, සතා ඉවත් කරනු ඇත. ඒ සඳහා ද සිහිනැති කිරීමට අවශ්‍ය විය හැක.

(ඡායාරූප අනුග්‍රහය: Kim Siever)

සබැඳි ලිපි:

ඔබේ දරුවාගේ කන් කලාඳුරු ගැටළුවක් වී ඇතිද?
දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

© 2018 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ කනට සතෙක් ඇතුළු වුවහොත් කුමක් කළ යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*